ඇමැති කැමැති අකැමැති විමසූ ජාතික ක්‍රීඩා සභාව

453

රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබාදීම පිණිස පත් කෙරෙන ක්‍රීඩා සභාව ජාතික ක්‍රීඩා සභාව නම් වේ. ක්‍රීඩා පනත ප්‍රකාරව බිහි කෙරෙන ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීම හෝ නොපිහිටුවීම ක්‍රීඩා ඇමැතිවරයාගේ කාර්යයකි. අවශ්‍ය නම් ක්‍රීඩා ඇමැතිවරයාට ජාතික ක්‍රීඩා සභාවක් නැතුව වුව ද ගමන් කළ හැක. ඇමැතිවරයා සතු ඒ අයිතියට කිසිවකුටත් බලපෑම් කළ නොහැක.

රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබා දීම පිණිස ඇමැතිවරයා පත් කර ගන්නේ ද තමන්ට විශ්වාස, හිතවත් සහ ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව මනා දැක්මකින් යුත් ඇතැම් විට එම ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයෝ වෙති. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද ජාතික ක්‍රීඩා සභාවට කමිටු සාමාජිකයෝ 15 දෙනෙක් වූහ. එහි සභාපතිවරයා වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එහි සාමාජිකයෙක් වූයේය. එමෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ද ජාතික ක්‍රීඩා සභාවට එක් වූයේය. එම කමිටුවට ජුලියන් බෝලිං, ඩිලන්ත මාලගමුව, කස්තුරි චෙල්ලරාජා විල්සන්, සුපුන් වීරසිංහ, රොහාන් ප්‍රනාන්දු, රුවන් කෑරගල, සංජීව වික්‍රමනායක, මේජර් ජෙනරාල් පාලිත අම්පෙ මොහොට්ටි, රොවේනා සමරසිංහ, යශ්වන්ත් මුත්තෙට්ටුවේගම, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ තියුමි අබේසිංහ යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ ලෙස එක් වූහ. ක්‍රීඩා පනතට අනුව ජාතික ක්‍රීඩා සභාවේ නිල කාලය වසර 3 කි. එහෙත් නිල කාලය වසර 3 ක් වුව ද ඊට පෙර ක්‍රීඩා ඇමැතිවරයා එම ධුරයෙන් ඉවත් වුවහොත් හෝ වෙනත් අයකු එම ධුරය සඳහා පත් කළහොත් හෝ ජාතික ක්‍රීඩා සභාවේ නිල කාලය ඉන් අවසන් වන බවක් පනතේ සඳහන් නොවේ.

එහෙත් පනතේ සඳහන් කාලයටත් පෙර ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෝ සිය තනතුරුවලින් ඉවත් වූහ. එයට හේතුව වූයේ ඊට පෙර නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවත්වීමය. ඇමැතිට උපදෙස් දෙන්න පත්කළ කමිටුවකින් ඇමැති නැතිව ඇති ඵලය කුමක්දැයි සිතූ අදාළ සාමාජිකයෝ එම ධුරවලින් ඉවත්වීමට පොදු තීරණයක් ගත්හ.

ඇමැති ඉවත් වුණ පුරප්පාඩුව පිරවීම පිණිස නව ඇමැතිවරයෙක් පත් කෙරිණි. හේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේ ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන හිටපු රාජ්‍ය ඇමැතිවරයා වූ තේනුක විදානගමගේ ය. ජාතික ක්‍රීඩා සභාව රැස්වන අවස්ථාවල රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඊට සාමාන්‍යයෙන් සහභාගි වීමට තේනුක ඇමැතිවරයා ද එකල වග බලාගෙන තිබිණි. එහෙත් රාජ්‍ය ඇමැති තේනුක, ක්‍රීඩාව භාර කැබිනට් ඇමැති වීමට පෙර ජාතික ක්‍රීඩා සභා සාමාජිකයෝ සිය සාමාජිකත්වයෙන් ඉවත් වී තිබිණි. ඒ අනුව නව ක්‍රීඩා ඇමැතිවරයා ද ජාතික ක්‍රීඩා සභාවක් පත් කර ගැනීමට අරමුණු කර ගත්තේය. එය තමන්ගේ අභිමතයට පත්කර නොගෙන ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයන් වන සභාපති මහේල ජයවර්ධන මහතා ප්‍රමුඛ සාමාජිකයන් සමග සාකච්ඡා කර පත් කිරීමට තේනුක ඇමැතිවරයා ක්‍රියා කළේය. ඒ අනුව පසුගිය 22 වැනිදා ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයන් සියලු දෙනා ක්‍රීඩා අමාත්‍යාංශයට රැස්කර ඔවුන් සමග සාකච්ඡා කිරීමට කටයුතු යෙදිණි. එහෙත් ඇමැතිවරයාගේ ඇරයුම පෙරදැරිව ඊට පැමිණ සිටියේ සාමාජිකයන් තිදෙනකු පමණි. තවත් සාමාජිකයෝ තිදෙනෙක් අන්තර්ජාලය ඔස්සේ ඊට සම්බන්ධව සිටියහ. පැමිණ සිටියේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසුරිය, යශ්වන්ත් මුත්තෙට්ටුවේගම සහ රොහාන් ප්‍රනාන්දු යන සාමාජිකයන් පමණි. මේජර් ජෙනරාල් රාජිත අම්පෙ මොහොට්ටි, රුවන් කෑරගල සහ රොවේනා සමරසිංහ යන සාමාජිකයෝ අන්තර්ජාලයෙන් එක් වූහ.

හිටපු සභාපති මහේල මහතා ඒ වනවිට සිටියේ ඉන්දියාවේය. එමෙන්ම කුමාර් සංගක්කාර මහතා ද මහේල මහතා මෙන්ම සිටියේ ඉන්දියාවේ අයිපීඑල් තරගාවලියට සම්බන්ධවය. ඒ නිසා ඔවුන් දෙදෙනාගේ පැමිණීමක් කොහෙත්ම බලාපොරොත්තු වූයේ නැත. එහෙත් අන්තර්ජාල පහසුකම් ඔස්සේ සූම් තාක්ෂණය මගින් අදාළ රැස්වීමට සහභාගි වන ලෙසට ඔවුන්ට දැනුම් දී තිබිණි. අවසානයේ අදාළ රැස්වීමේදී එකඟ වූයේ අනෙක් සාමාජිකයන්ගේ මතය පසුව පෞද්ගලිකව විමසීමටය.

ඒ අනුව ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයන්ගෙන් කිහිප දෙනකු නැවත ඒ සඳහා පත්වීමට නියමිතව ඇති බව ද වාර්තා වේ. එහෙත් හිටපු සභාපති මහේල මහතා ඒ සඳහා කැමැති වූ බවක් වාර්තා නොවේ. කවුරු කැමැති වුව ද අකැමැති වුව ද ජාතික ක්‍රීඩා සභාව මේ සතියේදී පත්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment