ඇමැති චමල් සහ ගුවන් හමුදාපති ප‍්‍රතිකාර ලබන රෝහලේ වැසිකිළියක අත්බෝම්බයක් ද්‍රවිඩ තරුණයකු සැකපිට අල්ලයි

197

කොළඹ පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිළියක තිබී ජීව අත් බෝම්බයක් නාරාහේන්පිට පොලිසිය මගින් ඊයේ (14 වැනිදා* සවස සොයා ගනු ලැබීය.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී මෙය සොයාගෙන ඇති අතර යම් කිසි අයකු රෝහල තුළ මෙය සූක්‍ෂමව පුපුරවා හැරීමට උත්සාහ දැරුවේදැයි පොලිසියට සැක මතුවී ඇත.

බෝම්බය හමුවන මොහොත වන විට වාරිමාර්ග ඇමැති චමල් රාජපක්‍ෂ මහතා කොවිඞ් ආසාදිතව මෙම පෞද්ගලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද විමර්ශන කණ්ඩායම් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විමර්ශන කණ්ඩායම් රෝහලේ සී.සී.ටී.වී. පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම බෝම්බය රෝහල වෙත රැුගෙන ආ බවට සැකපිට ද්‍රවිඩ ජාතික තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තරුණයා ති‍්‍රකුණාමලයේ උප්පවේලි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවද හඳුනාගෙන ඇත.

බෝම්බය සොයා ගන්නා අවස්ථාවේදී එහි ආරක්‍ෂිත පින් එක ගලවා මදුරු කොයිල් කොටසක් එයට දමා රබර් පටිවලින් ඔතා එය විසි කිරීමෙන් ක්‍ෂණිකව පුපුරා යන පරිදි සකස් කර තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විමර්ශන නිලධාරීහු පවසති.

මේ වන විට ගුවන් හමුදාපති එයාර්මාෂල් සුදර්ශන පතිරණ මහතාද කොවිඞ් ආසාදිතව මෙම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු රෝහල ආසන්නයේ ඉදිකිරීම් වැඩ බිමක සේවය සඳහා මීට සති දෙකකට පෙර පැමිණ ඇති බවද සොයාගෙන ඇත.

වැඩිදුර පරීක්‍ෂණ සඳහා අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන ආ බවද විමර්ශන නිලධාරීහු පවසති.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment