ඇමැති තර්ජනය කළ කොටි රැඳවියා ඇතුළු 8 කගේ රැකවල් තර කරන්න උසාවියෙන් නීතිපතිට උපදෙස්

158

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පසුගිය 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරය තුළදී පිස්තෝලයක් එල්ලකර මරණීය තර්ජනය කළ බව කියන එල්ටීටීඊ රැුඳවියා ඇතුළු පෙත්සම්කරුවන් අටදෙනාට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබාදෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05 දා) නීතිපතිවරයාට උපදෙස් ලබාදුන්නේය.

එල්ටීටීඊ කි‍්‍රයා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින පුබාලසිංගම් සූරියපාලන් ඇතුළු පෙත්සම්කරුවන්ගෙන් පෙත්සමට අදාළ උපදෙස් ලබා ගැනීම සඳහා නීතිඥවරුන්ට ඔවුන් හමුවීමට අවශ්‍ය අවසරය හා පහසුකම් සපයන ලෙසටද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප‍්‍රනාන්දු හා එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල එහිදී නීතිපතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය 12 වැනිදා පස්වරු 6.05 ට පමණ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ තමන් ඇතුළු රැුඳවියන් පිරිසක් සිරමැදිරිවලින් පිටතට ගෙන දණ ගැස්වූ බවත් තමාගේ හිසට පිස්තෝලයක් එල්ල කළ රාජ්‍ය අමාත්‍යවරයා මරණීය තර්ජනය කළ බවත් පුබාලසිංගම් සූරියපාලන් නමැත්තා එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පෙන්වාදී තිබිණි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ එම කි‍්‍රයාව නිසා තමන් ඇතුළු එල්ටීටීඊ සැකකරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බැවින් වහාම තමන් ඇතුළු පිරිස යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරනා ලෙසටද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ එම අයුතු කි‍්‍රයාව සිය සේවාදායකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බැවින් වහාම ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමට නිසි පියවර ගන්නා ලෙසට බලධාරීන්ට නියෝගයක් කරන්නැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඊයේ (05 දා) විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

එම පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ලබන 14 වැනිදා ගොනු කරන ලෙසට එහිදී සියලූ පාර්ශ්වවලට නියෝග කළ විනිසුරු මඬුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ඒ. එච්. ආර්. අජිත් හා නීතිපතිවරයා නම්කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment