ඇමැති ධුරය නැතුවත් නාමල් නිල නිවාසයේ ඉන්නවා

272

මට මඩ ගහන්නැතුව පියවරක් ගන්න මම ලයිට් බිල් ගෙවලා තියෙන්නේ – දයාසිරි

මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති සේම ඔහු ඇමැති නිල නිවාසයක මාස හයක් තිස්සේ තවමත් රැඳීසිටින්නේ යැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20දා) චෝදනා කළේය.

‘දයාසිරිගෙනුත් ලංවිමට ලක්ෂ 06ක පොල්ලක්’ යනුවෙන් ඊයේ (06) දින ‘දිවයින’ මුල් පිටුවෙහි පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් දයාසිරි මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ ඇමැතිවරයා මෙම චෝදනාව කළේය. එහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය.

එහිදී ඇතිවූ කතා බහ මෙසේය.

කංචන විජේසේකර මහතා – ඔබතුමා විපක්ෂයේ වාඩි වෙලා මඩ ගහන එකනේ කරන්නේ. දැන් මාස හයක් වෙනවා විපක්ෂයේ වාඩි වෙලා. විපක්ෂයේ ඉන්නේ ආණ්ඩුවේ නිල නිවසේ තාම ඉන්නේ.

දයාසිරි ජයසේකර මහතා – මම ලිපියක් ඉදිරිපත් කරලා තිබෙනවා පාර්ලිමේන්තුවට මට නිවසක් දෙන්න කියලා. මට කොළඹ ගෙදරක් නෑ. ඒ නිසා ඒක දෙන්නේ හෙට උදේ ද මම ඒකට යනවා. ඒ වන තුරු ලයිට් බිල්, වතුර බිල් සියල්ල මම ගෙවලා තිබෙනවා.

අනෙක අද දිවයින පත්තරේත් දාලා තිබෙනවා බිලක් ගෙවන්න තිබෙනවා කියලා.

නියෝජ්‍ය කථානායක – ඒ ගැන පසුව කියන්න

ඇමැති කංචන විජේසේකර මහතා – රාජ්‍ය මුදල් අවභාවිතා කරනවා කියලානේ මේ චෝදනා කරන්නේ. අප්‍රේල් මාසයේදී ඔබතුමා ඇමැති ධුරයෙන් ඉවත් වුණාම මාස 03යි නිල නිවසක ඉන්න පුළුවන්. රාජ්‍ය මුදල් අවභාවිත කරන ඔබතුමා පසුගිය මාස හයේ නිල නිවසක ඉඳගෙන අපට චෝදනා කරනවා. ඔබතුමා විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒත් ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක. විපක්ෂයේ කාර්ය භාරය කරනවා නම් ඒ ගෙදරින් යන්න. වරප්‍රසාද අතහරින්න.

මට ඇමැති විදිහට තීරණය කරන්න බෑ කාගෙ ගෙදරද විදුලිය විසන්ධි කරන්නේ කියලා. හැබැයි මැගසින් එකේ ලයිට් කැපුවම මම ඒක යළි දුන්නා. රෝහල්වල, කේඩීයූ එකේ යළි දෙනවා. ඔබතුමාලට එහෙම දෙන්න නෑ. නීතිය කාටත් පොදුයි. දිගින් දිගටම ලිපි යැව්වා. මම දන්නෑ ඔබතුමා ඒ නිවසේ පදිංචි වෙලා හිටියා ද කියලා.

මේ පාර්ලිමේන්තුවේ තවත් එහෙම අය ඉන්නවාද කියලා ප්‍රශ්න අහලා තිබුණා. නමුත් එහෙම කව්රුවත් නෑ. සියලු දෙනා ගෙවීම් කරලා තිබෙනවා. මේක විතරයි ගෙවන්න තිබෙන්නේ.

දයාසිරි ජයසේකර මහතා – මම ඊයේ ගහපු එකට කංචන ඇමැතිතුමා කළේ ඒක සියලුම පත්තරවලට, ටීවීවලට යැව්වා. මට ලයිට් බිල ගෙවන්න කියන්නේ සැප්තැම්බර් 29. ගෙවන්න තිබෙන ගණන 11 ලක්ෂ ගණනක් කියලා උඩ තිබෙනවා. පසුව ලක්ෂ 06යි කියලා යට තිබෙනවා. මම ගෙවීම කරලා තිබෙනවා. හැබැයි නාමල් රාජපක්ෂ මහතා ඇමැති ධුරය නැතුවත් නිල නිවසේ ඉන්නවා. තවත් එවැනි අය ගණනාවක් ඉන්නවා. කරුණාකරලා ලංවිම සාමාන්‍යාධිකාරිවරයා වරප්‍රසාද කමිටුවට කැඳවලා මේ ගැන අහන්න. තවත් ඇමැතිවරුන් ගණනාවකගේ බිල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. කරුණාකරලා මඩ ගහන්නැතුව පියවරක් ගන්න. අපි මංකොල්ල කාපු අය නොවෙයි.

ඇමැති කංචන විජේසේකර මහතා – මම පළමු ලිපිය මැයි මාසේ යවලා තිබෙනවා. එතුමා කිව්වේ සැප්තැම්බර් මාසේ කියලා ඒක නිවැරදි වෙන්න ඕනා. මේ බිල කරුණාකරලා ගෙවන්න.

advertistmentadvertistment
advertistmentadvertistment