ඇමැති මණ්ඩල සංයුතිය ගැන පෙත්සම සලකා බැලීම කල් යයි

116


වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත්කර තිබෙන වාර්තා දෙකකට අදාළව විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත්සම්කාර පාර්ශ්වයට කල් ලබාදුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත්කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට මෙම කල් ලබා දීම සිදුකර ලදි.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දුල යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහිදී අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය පිළිබඳ වාර්තා දෙකක් තමන් විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති බවය.

එම වාර්තා සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා තමන්ට දින ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වාර්තාවලට අදාළ සීමිත විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 11 වැනිදා ට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම මාර්තු මස 23 වනදා සිදුකිරීමටත් අධිකරණය දින නියම කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment