ඇමැති රමේෂ්ගේ නිවසට ගිනි තැබූ දා අල්මාරියෙන් කෝටියක් සොරා ගත් 3ක් දැලේ

242

රට පුරා ප්‍රචණ්ඩත්වය විසිරී ගිය ඉකුත් මැයි මස 9 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතාගේ ගාල්ලේ පිහිටි නිවසට ගිනි තබා එහි අල්මාරියක තිබූ රුපියල් කෝටියක මුදලක් කොල්ලකා රැගෙන ගිය තිදෙනකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන, වලහන්දූව සහ පෝද්දල හපුගල ප්‍රදේශවල පදිංචි තරුණයන් තිදෙනෙකි.

සැකකරුවන් තිදෙනා අතරින් එක් අයකු සිය බිරිඳගේ මව සමග ඇතිකරගත් ආරවුලකින් පසු ඇය විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව ඔවුන් කොටු කරගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 55 ක් සොයා ගැනීමට ද ගාල්ල පොලිසිය කටයුතු කර තිබේ.

රමේෂ් පතිරණ මහතාගේ නිවසේ අල්මාරියෙන් ඔවුන් රුපියල් කෝටිය ලබාගෙන දෙදෙනකු ලක්ෂ 30 බැගින් හා අනෙක් පුද්ගලයාට රුපියල් ලක්ෂ හතළිහක් වශයෙන් බෙදාගෙන ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රමේෂ් පතිරණ මහතාගේ නිවසේ අල්මාරියෙන් තමන් මුදල් ලබාගන්නා අවස්ථාවේ ඒ තුළ තවත් මුදල් නෝට්ටු මිටි රැසක් තිබුණ බවත්, නිවසට ගිනි තැබීමට පැමිණි පිරිසේ සිටි පුද්ගලයන් එම මුදල් රැගෙන ගිය බවත් ඔවුන් අනාවරණය කර ඇත.

ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment