ඇමැති විජයදාස වැලිකඩට

118

බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (28 දා) වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී සිරකරුවන් මුහණ දී සිටින ගැටලු පිළිබඳව මෙන්ම බන්ධනාගාරය තුළ පවතින පහසුකම් පිළිබඳව විශේෂ සොයා බැලීමක් සිදු කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාවෙහි විශේෂත්වය වූයේ අධිකරණ ඇමැතිවරයා සහ නිලධාරීන් බන්ධනාගාරය වෙත පැමිණෙන බවට පූර්ව දැනුම්දීමක් සිදු කර නොතිබීමයි.

මරණ දඬුවම නියමව සිටින හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින සිරකරුවන් ඇතුළු සිරකරුවන් හමුවූ ඇමැතිවරයා ඔවුන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර බන්ධනාගාරයේ මුළුතැන්ගෙයෙහි කටයුතු හා කර්මාන්ත ශාලා පරිශ්‍රයන් ද විශේෂ නිරීක්ෂණයට ලක් කළේය.

බන්ධනාගාරගත රැඳවියන් මුහුණ දෙන ප්‍රායෝගික හා නීතිමය ගැටලු පිළිබඳව අවධානය යොමු කළ බවත්, විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිර දඬුවම් විඳින රැඳවියන් පිළිබඳව සොයා බලා සුදුසු පියවර ගැනීමට පත් කරන ලද සමාලෝචන කමිටුවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බවත්, ඒ හේතුවෙන් නව සමාලෝචන කමිටු පත් කිරීමට පියවර ගන්නා බවත් බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිර දඬුවම් විඳින රැඳවියන්, අසනීප තත්ත්වයේ සිටින රැඳවියන් හා මහලු රැඳවියන් පිළිබඳව සානුකම්පිතව සලකා බලා ඔවුන්ට සහනයක් ලබාදීමට දැනට පවතින නීති සහ රීති වෙනස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා වූ පනත් මේ වන විටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවසීය.

පවතින ආර්ථික ආර්බුදය හමුවේ මූල්‍යමය අපහසුතාවන් මධ්‍යයේ වුව ද බන්ධනාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා බන්ධනාගාර නිලධාරීන් විශාල වෙහෙසක් ගන්නා බවත්, විශේෂයෙන් මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන දැනට පවතින තත්ත්වයටත් වඩා තවදුරටත් පවිත්‍රව තබා ගන්නා ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් වැඩිදුරටත් හෙතෙම සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment