ඇමැති සමග කතා ඵල නැති වුණොත් යළිත් දුම්රිය වර්ජනයක් – ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති

77

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැතිවරයා සමග ලබන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා ඊයේ (11දා) පැවසීය.

කෙසේ වෙතත් ඇමැතිවරයා සමග පැවැත්වෙන එම සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එහිදී හෙතෙම මෙසේද කීය- අපේ සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථකව ඊයේ රාත්‍රී 12.00ට අවසන් කළා. දැන්වත් අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් වෙලා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දීලා කටයුතු කරයි කියන විශ්වාසය තියෙනවා. අමාත්‍යවරයා අපිට නිල සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා අඟහරුවාදා දිනයේ දී. විසඳුම් නොලැබුණොත් ඕනෑම මොහොතක දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න නැවත අපි සූදානම්. එහෙත් අපි විශ්වාස කරන්නේ, ඒ තැනට අපිව තල්ලු නොකරයි කියලා. සතියක වැඩ වර්ජනය දුම්රිය දෙපාර්තමේන්තුවේ අනාගතය වෙනුවෙන් නම් අපේ සාමාජිකයාගේ අනාගතය වෙනුවෙන් නම් අපි ඒ සතිය ඒ විදියට ගත කරන්න පැකිලෙන්නේ නෑ.

දුම්රිය වානිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධුරයට නුසුදුසු නිලධාරියකු පත්කළ බවට චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පසුගිය 09 දා මධ්‍යම රාත්‍රි 12.00ට සංකේත වර්ජනයක් ආරම්භ කළ අතර එම සංගමය ආරම්භ කර තිබූ සංකේත වැඩවර්ජනය පෙරේදා (10දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment