ඇමෙරිකාවේ පෙර පාසල් ළමුන් 19ක් මැරූ ඝාතකයා එවැන්නක් කරන බවට පණිවුඩ යවලා

354

පෙර පාසල් ළමුන් 19 දෙනකු ඇතුළු 21 දෙනකුට මරු කැඳවමින් ඉකුත් අඟහරුවාදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීම සිදු කළ තැනැත්තා එම වෙඩි තැබීම සිදු කිරීමට විනාඩි 15කට පමණ පෙර තමා පෙර පාසලක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන බවට සඳහන් කරමින් සිය ෆේස්බුක් ගිණුම හරහා ජර්මනියේ වෙසෙන යෙහෙළියකට පුද්ගලික පණිවිඩයක් යවා ඇති බව ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පවසයි.

අදාළ වෙඩි තැබීම සිදු කළ සැල්වදෝර් රාමෝස් නමැති ඝාතකයා ටෙක්සාස් ප්‍රාන්තයේ උවල්ඩේ නගරයේ පිහිටි රොබ් පෙර පාසලට කඩා වැදීමට විනාඩි 30කට පමණ පෙර ජර්මනියේ වෙසෙන අන්තර්ජාලය ඔස්සේ මිත්‍රවූ සිය 15 හැවිරිදි යෙහෙළියට ෆේස් බුක් ගිණුම හරහා පුද්ගලික පණිවිඩයක් යවමින් තමා විසින් සිය මිත්තනිය මරා දැමීමට සැළසුම් කර ඇති බව සඳහන් කර තිබී ඇතැයි ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා තිබේ. එම සටහන තබා සුළු වේලාවක් ගත වූ පසු තමා එම කාර්යය ඉටු කළ බවට ඔහු විසින් නැවතත් ෆේස් බුක් පණිවුඩයක් යවා ඇති බව ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා තිබේ. මෙම ඝාතකයා පෙර පාසලට එල්ල කළ අමානුෂීය ප්‍රහාරය සිදු කිරීමට විනාඩි 15කට පෙර තමා පෙර පාසලක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන බවටද සිය යෙහෙළියට ෆේස් බුක් පණිවුඩයක් යවා ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. පෙර පාසලට කඩා වැදීමෙන් පසු ඝාතකයා විනාඩි 40 ක පමණ කාලයක් පාසල් භූමියේ රැඳී ඇති අතර ඔහු විසින් පාසලේ ළමුන් 19 දෙනකු හා ගුරුවරුන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබේ. 18 හැවිරිදි වියෙහි පසු වූ ඝාතකයා ටෙක්සාස් ප්‍රාන්තයේ පවතින නීතිය යටතේ ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය නීත්‍යනුකූල ලෙස මිලදී ගෙන ඇති බව හෙළි වී තිබේ.ිඝාතකයා මානසික ව්‍යාකූලතාවයකින් පෙළුණු අයකු බව හඳුනාගෙන ඇති අතර මෙම අමානුෂීය ප්‍රහාරය එල්ල කිරීමට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

සංස්කරණය : ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment