ඇමෙරිකාවේ යළි පැතිරෙන ගිනි අවි වසංගතය

213

ඇමෙරිකාවේ යළි පැතිරෙන ගිනි අවි වසංගතය පාසල්වල සිදුවන වෙඩි තැබීම් ඇමෙරිකා එක්සත් ජනපදයට ආගන්තුක අත්දැකීමක් නොවේ. එවැනි වෙඩි තැබීම් එරට තුළ විරල වෙන්නේද නැත. 2021 නොවැම්බර් 30 වෙනි දින, එනම් අඟහරුවාදා දිනයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිචිගන් ප‍්‍රාන්තයේ, ඔක්ස්ෆර්ඞ් උසස් විද්‍යාලය තුළ තවත් එවැනි වෙඩි තැබීමක් සිදුවිය.

ඇමෙරිකාවේ යළි පැතිරෙන ගිනි අවි වසංගතය

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම උසස් විද්‍යාලයේම දෙවැනි වසරේ ඉගෙනුම ලබන, පහළොස් හැවිරිදි සිසුවකු විසිනි. වෙඩි තැබීම නිසා තවත් සිසුන් තිදෙනකු මියගොස් ඇති අතර, තවත් සිසුන් හත් දෙනකුත්, එක් ගුරුවරියකත් බරපතළ තුවාල සහිතව රෝහල්ගත කොට තිබේ. 2018 වසරේ මැයි මාසයේදී, ටෙක්සාස් හි සැන්ටා ෆෙ උසස් විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමට පසුව සිදුවුණු බිහිසුණුම හා මාරාන්තිකම වෙඩි තැබීම මෙය බව වාර්තා වෙයි.

වෙඩි තැබීම පිළිබඳව දැනුම් දුන් වහාම එම ප‍්‍රාන්තයේ ආරක්ෂක අංශ පාසලට පැමිණ තිබුණු අතර, වෙඩි තැබූ සිසුවා වැඩි කලබලයක් නොකොට පොලිස් නිලධාරීන්ට භාර වී ඇත. ඔහු අත තිබුණු මිලි මීටර් නවයේ Sauer SP2022 වර්ගයේ පිස්තෝලයද ඔහු විසින් පොලිසියට භාරදී තිබේ. ඒ පිස්තෝලය මෙම සිසුවාගේ පියා විසින් පසුගිය සිකුරාදා දිනයේදී මිලදී ගත් ගිනි අවියක් බව පැවසෙයි. පොලිස් අත්අඩංගුවට පත් වන විටත් එම පිස්තෝලය තුළ උණ්ඩ තිබුණු බව ඕක්ලන්ඞ් ප‍්‍රාන්ත ශෙරිෆ්වරයා වන මයිකල් බෝචාර්ඞ් පවසයි.

ඇමෙරිකාවේ යළි පැතිරෙන ගිනි අවි වසංගතය

”පොලිස් නිලධාරීන් ප‍්‍රධාන ශාලාවට ඇතුල් වෙලා ඉදිරියට යනකොට කොරිඩෝවක් දිගේ ඔහු ඉදිරියට එමින් සිටියා. ඔහුගේ අතේ පිස්තෝලය තිබුණා. ඔහු දෑත් ඔසවා යටත් වුණා.” ප‍්‍රාන්ත ශෙරිෆ්වරයා සී එන් එන් පුවත් අඩවියට පවසා සිටියේ එසේය. ”වෙඩි තැබූ සිසුවා භාර වුණත්, වෙඩි තැබීමට හේතුව නම් තවමත් හෙළිදරව් වී නැහැ. ඒ සිසුවා වෙනුවෙන් ඔහුගේ දෙමාපියන් නීත්‍යඥවරයකු යොමු කර තිබෙනවා. ඒ නිසා සිසුවා පොලිසියට අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා. ඒත් මේ වෙඩි තැබීමට හේතුව ඔහුව අනෙක් සිසුන් විසින් හිරිහැරවලට ලක් කිරීම (Bullying) විය හැකි බව අනුමාන කෙරෙනවා. ඔහු මේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ සිසුන් දෙදෙනකු ඉලක්ක කරගෙන බව එහි සිටි සිසුන්ගේ සාක්ෂි වලින් පැහැදිළි වෙනවා.”

මෙම සැකකාර සිසුවාව මේ වන විට ඕක්ලන්ඞ් ප‍්‍රාන්ත ළමා ගම්මානයේ – තරුණ වරදකරුවන්ගේ නිවාසයේ- රඳවා තබා ඇති අතර, ඔහු තම ජීවිතයට හානියක් කරගනු ඇතිදැයි එහි ආරක්ෂක අංශ නිරන්තරයෙන්ම ඔහු ගැන ඇස ගසාගෙන සිටිති. මෙම සිසුවාට වයස අවුරුදු පහළොවක් වුවත්, නඩු පැවරීමේදී ඔහුව වැඩිහිටියකු ලෙස සලකා කටයුතු කරන්නට ඉඩ ඇතැයිද, එය ප‍්‍රාන්ත නීතිවලට අනුව තීරණය වනු ඇතැයිද ශෙරිෆ්වරයා පවසයි.

”පාසල් යන වයසේ දරුවකු සිටින දෙමාපියන් හැමෝම වගේ ඉතාමත් බියෙන් සිටින කාරණයක් මේක..” ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන ග්‍රෙචෙන් විට්මර් පවසයි. ”පාසල් තුළ සිදුවෙන මෙවැනි වෙඩි තැබීම් ඇමෙරිකාව තුළ වසංගතයක් වාගේ පැතිරුණු ප‍්‍රශ්නයක් වෙලා. අප මේ ගැන මීට වැඩි පුළුල් කථිකාවතක් ඇති කළ යුතුයි..”

ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන මේ කරුණ සත්‍යයකි. ගිනි අවි ප‍්‍රචණ්ඩත්වය මුළු එක්සත් ජනපදය පුරාම පැතිර ඇත්තේ කෙමෙන් වැඩිවෙන වසංගතයක් පරිද්දෙනි. Education Week සඟරාවට අනුව, මෙම වෙඩිතැබීම් සිද්ධිය, 2021 වසර තුළ පාසලක් තුළ සිදුවුණු 28 වෙනි වෙඩි තැබීමය. මෙම සිදුවීම් විසි අටෙනුත් විස්සක්ම සිදුව ඇත්තේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය අතරතුරය. කොරෝනා වසංගතය සඳහා 2020 වසරේත්, 2021 මුල් භාගයේත් පාසල් වසා තැබීමෙන් පසුව සිසුන් පාසල් එන්නට පටන් ගත්තේ අගෝස්තු මාසයෙන් පසුවය. 2018 වසරේ සිට මේ දක්වා පාසල් තුළ සිදුවූ වෙඩි තැබීම් ගණන 86 කි. එයින් සිදුවීම් 48ක්ම සිදුව ඇත්තේ 2018 හා 2019 වසර වලදීය. 2020 වසර තුළ ඇමෙරිකාවේ සිදුව ඇති පාසල් තුළ වෙඩි තැබීම් සංඛ්‍යාව 10 කි. මෙකී දත්ත සලකා බලන කල, කොරෝනා වසංගතය විසින් පාසල් සිසුන්ගේ ගිනි අවි වසංගතය යම් තරමකට පාලනය කොට තිබුණු බව පෙනී යයි. එහෙත් කොරෝනා වසංගතය යම් තරමකට පාලනයෙන් අනතුරුව රට විවෘත වූ පසුව, එම ගිනි අවි ප‍්‍රචණ්ඩත්වය නොසිතූ අයුරින් ඉහළ ගොස් ඇති බව විශේෂඥයෝ පවසති.

ඇමෙරිකාවේ යළි පැතිරෙන ගිනි අවි වසංගතය

Education Week හි මාධ්‍යවේදීන් විසින් පාසල් තුළ සිදුවන වෙඩි තැබීම්, එහිදී තුවාල ලැබීම් හා සිදුවන මරණ ගැන දත්ත ඒකරාශී කරන්නට පටන් ගත්තේ මෙය පුළුල් කථිකාවතක් ඇති කළ යුතු කාරණාවක් වන හෙයිනි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ, ගිනි අවි සම්බන්ධයෙන් පවතින ලිහිල් නීති රීති, පාසල් සිසුන් විසින් ගිනි අවි භාවිතයටද, ඒ නිසාම පාසල් තුළ මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවීමටද හේතුවක් වන බව ඔවුහු පවසති. ශිෂ්‍යයන්, ගුරුවරුන්, හා එම දරුවන්ගේ දෙමාපියන් පමණක් නොව, මුළු මහත් සමාජයේම භීතියට හේතු වන මෙම පාසල් තුළ ඇති වන ගිනි අවි ප‍්‍රචණ්ඩත්වය පාලනය කරන්නට නම්, එක්සත් ජනපදය තුළ ගිනි අවි සම්බන්ධයෙන් ඇති ලිහිල් ප‍්‍රතිපත්තියද වෙනස් විය යුතු බවත්, එසේ නොවන තාක් කල් පාසල දරුවන්ට ආරක්ෂිත ස්ථානයක් නොවන බවත් ඔවුහු පවසති.

නිම්මි මුදිතා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment