ඇඹිලිපිටියේ ඉඩම් බද්දෙ සද්දේ

179

ඇඹිලිපිටිය ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබෙන ප්‍රදේශයකි. එමෙන්ම ඇඹිලිපිටිය නගරය පළාත් තුනක් සහ දිස්ත්‍රික් හතරක් නියෝජනය කරන වෙළෙඳ මධ්‍යස්ථානයකි. සබරගමුව, ඌව, දකුණු පළාත් සහ මොණරාගල, මාතර, රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පොදු වෙළෙඳ මධ්‍යස්ථානයයි. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි ඇඹිලිපිටිය නගරය අන්‍ය ආගමික ව්‍යාපාර ස්ථාන නොමැති පිරිසිදු සිංහල බෞද්ධ නගරයකි. එම නගරවාසීන්ට මෙන්ම ඇඹිලිපිටිය සෙසු ප්‍රදේශවාසීන්ට මේ වනවිට ඇති ප්‍රධානතම ගැටලුව ඉඩම්වලට නිරවුල් බවක් නැතිකමය.

මහවැලියට අයිති ඉඩම් සහ විහාරස්ථානවලට අයිති යැයි කියන ඉඩම්වල පදිංචි වී සිටින, ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යන ඇඹිලිපිටියේ මිනිසුන්ට අනේකවිධ ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බව එම ප්‍රදේශවාසීහු අපට කීහ. ඒ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අපට කරුණු ඉදිරිපත් කළේ අනුර කුමාරය. හේ පෞද්ගලික ආයතනක රැකියාවක් කරගෙන යන ප්‍රදේශයේ දැන, උගත් වැඩිහිටියෙකි. එමෙන්ම ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටි කාවන්තිස්ස රජමහ විහාරය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයා ය. මේ ඔහු කියන කතාවය.

“ඇඹිලිපිටිය ප්‍රදේශය දියුණු වෙන්න පටන් ගත්තේ 1956 වර්ෂයේ චන්ද්‍රිකා වැව ඉදිකර, චන්ද්‍රිකා ජනපදය බිහි කිරීමත්, එම වර්ෂයේදීම උඩවලව යෝජනා ක්‍රමය ඇති කර එම ජනපදවල ජනතාව පදිංචි කිරීමත් සමඟ. ඒ වෙනකොටත් ඇඹිලිපිටියේ පදිංචිකරුවො ඉඳලා තියෙනවා. එම පැරැණි පදිංචිකරුවන්ට හැර පිට පළාත්වලින් පැමිණ පදිංචි වෙච්ච අයට සින්නක්කර ඔප්පු නෑ. ඇඹිලිපිටිය නගරයේ ඉඩම්වල අයිතිය තියෙන්නෙත් මහවැලියට. සින්නක්කර ඔප්පු තියෙන තිදෙනකුත් ඉන්න බව කියනවා. කාවන්තිස්ස රජමහ විහාරයට අයිති ඉඩම් තියෙනවා කියනවා. ඒ පාර්ශව තුන එකිනෙකාට ඉඩම්වල අයිතිය තහවුරු කරගන්න හදනවා. ඒ අයිතිවාසිකම්කීමත් සමඟ දැන් මහා පටලැවිල්ලක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මහවැලියේ ඉඩම්වලට, කාවන්තිස්ස රජමහ විහාරයේ යැයි කියන ඉඩම්වලට කිසිදු බදු ගෙවීමක් සිද්ධ වුණේ නෑ. නගරයේ පන්සලේ අභිවෘද්ධිය වෙනුවෙන් විහාරස්ථානයේ ඉඩම් යැයි කියන ඉඩම්වල පදිංචිකරුවන් මාසිකව පුංචි ආධාරයක් කළා…”

“පන්සල නඩත්තු කරන්නෙ අපේ දායකයො. අපිට දානය දෙන්නෙ ගමේ මිනිස්සු. මට මොකටද මුදල්. ඔය දරුවට තියෙන විදිහට ආධාරයක් කරලා යන්න…’ කාවන්තිස්ස රජමහ විහාරයේ වැඩසිටි අපවත් වූ මිද්දෙණියේ ඉන්ද්‍රරතන නායක හාමුදුරුවෝ ගමේ ජනතාවට පුදුමාකාර කරුණාවක් දැක්වූවා. උන්වහන්සේගේ ඒ වචන ටිකම මේ නගරයේ දියුණුවට ආශීර්වාදයක් වුණා. උන්වහන්සේගේ බෝධිසත්ව ගුණය නිසා අපේ මිනිස්සු රජමහ විහාරයට පුදුමාකාර භක්තියක් දැක්වූවා. අදටත් අපි විහාරස්ථානය දියුණු කරන්න ආධාර කරන්න, පන්සලේ ඉඩම්වලට බදු ගෙවන්න සූදානම්. ඒත් චණ්ඩි පාට් දාලා, මැරයො තියාගෙන බදු එකතු කරන්න හැදුවොත් ලොකු ගැටලුවක් මතු වෙනවා…” කාවන්තිස්ස රජමහ විහාරය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර පෙළගැසෙන කතාවට එසේ ප්‍රවේශයක් ලබාගත්තේ මේ වනවිට ඇඹිලිපිටියේ ඉඩම් ආරවුල උච්චත්වයටම පැමිණ ඇති බව ඒත්තු ගන්වමිනි.

ඇඹිලිපිටියේ ඉඩම් බද්දෙ සද්දේ

ඇඹිලිපිටියේ නොවිසිඳෙන ඉඩම් ගැටලුව ගැන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන ද පසුගිය දිනෙක පාර්ලිමේන්තුව තුළ හඬ නඟන අයුරු අපි දුටුවෙමු. එහෙත් අදට ද එම ගැටලුව විසඳීමට අදාළ බලධාරීන් ක්‍රියාත්මක නොවන පසුබිමක නොවිසිඳෙන ගැටලුවෙන් පීඩාවිඳින කාන්තාවක් අපට කතා කළාය. ඇය දිනේෂා දමයන්තිය. දැන් අපි ඇය කියන කතාවට සවන් දී සිටිමු.

“අපි ඇඹිලිපිටිය මොරකැටිය පාරේ තේ කඩයක් කරගෙන ගියා. හාට් ඇටෑක් එකක් හැදිලා මහත්තයා නැති වුණාට පස්සෙ කඩේ කරගෙන යන්න වෙන කෙනෙකුට දුන්නා. මටයි, දුවලා දෙන්නටයි ජීවත් වෙන්න ඒ මල්ලි මාසෙකට රුපියල් තිස්දාහක් දුන්නා. මෑතක ඉඳලා පොඩි දුවත් අසනීප වෙලා. බඩේ ගෙඩි දාලා. මේ ළඟදි දවසක පරීක්‍ෂණ කිහිපයකට මහරගම පිළිකා රෝහලට දුව එක්කරගෙන ගිහින් ඉන්නකොට ගුණරතන හාමුදුරුවෝ මගේ ජංගම දුරකථනයට කතා කරලා කඩේ බදු කුලී ඉල්ලුවා. ‘දැන් අපි ඉන්නෙ මහරගම පිළිකා රෝහලේ ගෙදර ඇවිත් පන්සලට එන්නම්’ කියලා මම කිව්වා…”

‘කොහේ හිටියත් ප්‍රශ්නයක් නෑ. වෙලාවට බදු මුදල් ලැබුණා නම් මට ඇති…’ බලන්න මහත්තයො… හාමුදුරුනමක් කියන කතාවක්ද? දැන් අපේ හාමුදුරුවෝ කළු කඩ මුදලාලි කෙනෙක් වගෙයි. කිසිම අනුකම්පාවකින් තොරව මුදල් උපයනවා. තිස් අවුරුදු බදු ඔප්පු ලියන්න එන්න කියලා නිතර කෝල් කරනවා. වධ කරනකොට මම තාත්තා එක්ක ගිහින් තිස් අවුරුදු බදු ඔප්පුව ලිව්වා. ඊට පස්සෙ රුපියල් හයසීයක්ව තිබුණු බදු මුදල දසදහසක් දක්වා වැඩි කළා. අපි බදු සල්ලි දුන්නට රිසිට්පතක්වත් දෙන්නේ නෑ. ඒ වගේම අපි අමාරුවෙන් හදාගත්ත ගොඩනැඟිල්ලෙ උඩ තට්ටුව උන්වහන්සේ බලහත්කාරයෙන් වෙන කෙනෙකුට බදු දුන්නා. එහෙම කරන්න පුළුවන්ද? මේ අවනඩු කාට නම් කියන්නද? බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ. අපි අන්ත අසරණයි මහත්තයෝ…”

“මේ බය තමයි අපේ මිනිස්සුන්ගේ හේනෙට හිටියේ…” තවත් කාන්තාවක් ආවේගශීලී ස්වරයෙන් ගලාගෙන යන කතාවට එකතු විය. ඇය රේණුකා දමයන්තිය. ප්‍රදේශයේ උපන් පදිංචිකාරිණියක් වූ ඇය ඇඹිලිපිටියේ ඉතිහාසය හොඳින් දැන සිටින්නීය.

“මම පදිංචි වෙලා ඉන්නෙ ඇඹිලිපිටිය නගර මාධ්‍යයේ. දැන් මටත් අවුරුදු පනස් ගානක් වෙනවා. අපි ඉපදෙන්නත් ඉස්සර තමයි තාත්තා අපේ ගේ හදලා, මේ ටවුන් එකේ ව්‍යාපාර කරගෙන ගියේ. අපේ තාත්තා නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයො එකතු කරගෙන පන්සලේ නඩත්තුවට මාසෙකට ශත කීයක් හරි දෙන්න කථිකා කරගෙන තියෙනවා. ඒ කථිකාව අදටත් කෙරෙනවා. ගුණරතන හාමුදුරුවෝ පිනට දුන්න මුදල ඉඩම්වලට අය කරන බද්දක් කරගෙන. මම නම් බදු ගෙවන්නෙ නෑ. බදු ගෙවන්න විහාරයේ ඉඩම් කියලා සනාථ කරන්න ඔප්පුවක් තියෙන්න ඕනෑ. ඇඹිලිපිටියේ පරණ ඉඩම්වලට තියෙන්නේ පස්වන ජෝර්ජ් රජුගේ ඉඩම් ඔප්පු. මා දන්නා තරමින් පන්සලට ඉඩම් අක්කර පහක් අයිති කියලා අදිකාරි පත්‍රයක් තියෙනවා. ඊට එහාට ගිය ඉඩම් අක්කර ගානක අයිතිය තහවුරු කිරීමට කාවන්තිස්ස රජමහ විහාරයට ඔප්පුවක් නෑ. සන්නස් පත්‍රයක්වත් නෑ. එහෙම දෙයක් තිබුණා නම් රජය විසින් එම ලියැකියවිලි ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කරනවා. මේ නගරයේ ව්‍යාපාරිකයො, පන්සල වටේ පදිංචිකරුවො හාමුදුරුවන්ට බයේ ඉල්ලන ගණන් බදු ගෙවනවා. මේවා හාමුදුරුවන්ගේ වැරැදි නෙමෙයි. අපේ මිනිස්සුන්ගේ වැරැදියි. බදු ගෙවනකොට ඉඩම්වල අයිතිය තහවුරු කරන ලියැවිල්ලක කොපියක් ඉල්ලගන්න බැරිද? අපේ මිනිස්සු කොන්ද කෙළින් තියාගෙන වැඩ කළා නම් අද මෙහෙම ප්‍රශ්න නෑ…” පෙළගැසෙන කතාව අප්‍රභංශයකි. අයිතිය තහවුරු කිරීමට ඔප්පුවක් නැති ඉඩම්වලට බදු ගෙවන මිනිසුන් කවරහුද? ඔවුන් එසේ කිරීමට හේතුවක් ඇත. ඒ ගැන විමසා බැලීමට ඇඹිලිපිටිය වෙළෙඳ සංගමයේ සභාපති ලලින්ද කිත්සිරි මහතාව අපි හමුවීමු. මේ ඔහු කියන කතාවය.

“අවුරුදු දහනවයකට පෙර ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරියකුගෙන් මම කඩ කාමරය ගත්තෙ රුපියල් ලක්‍ෂ විසිනවයකට. ඒ කාලෙ රජමහ විහාරයේ වැඩිසිටිය නායක හාමුදුරුවන්ට රුපියල් පනස්දහසක් දුන්නා. ඒ මුදල ලොකු හාමුදුරුවො ගත්තේ පන්සලට ආධාරයක් විදිහට. නිත්‍යානුකූල ගනුදෙනුවක් නෙමෙයි. සෑම මාසයකම රුපියල් හයසීයක් විහාරයට දුන්නා. ඒකටවත් රිසිට් පතක් නෑ. මිද්දෙණියේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ අපවත් වෙලා තණමල්විල ගුණරතන හාමුදුරුවෝ රජමහ විහාරයේ විහාරාධිපති වෙලා 2018 අවුරුද්දෙ කඩ කුලිය කියලා රුපියල් පන්දහසක් ඉල්ලුවා. ඒ මුදලත් ගෙවාගෙන යද්දී, අවුරුද්දකට රුපියල් ලක්‍ෂ පහක බදු මුදලක් දෙන මෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අත්සනින් යුක්තව ලිපියක් එව්වා. මෙච්චර කාලයක් මාසෙකට සැරයක් විහාරස්ථානයට මුදලක් දුන්නෙ බෞද්ධයන් විදිහට පිනට. විහාරස්ථානයේ නඩත්තුවට. එහෙම නැතිව අයිතියක් තහවුරු කරන්න ඔප්පුවක් නැති ඉඩම්වලට බදු ගෙවන්න අපිට වැඩි සල්ලි නෑ…”

ඇඹිලිපිටියේ ඉඩම් බද්දෙ සද්දේ
තණමල්විල ගුණරතන හිමි

“මේ නගරයේ බොහෝ ව්‍යාපාරිකයො මේ කඩ කාමර තවත් ව්‍යාපාරිකයකුගෙන් මුදලට අරගෙන තියෙන්නේ. දැන් රජමහ විහාරයේ නායක හාමුදුරුවො සමහර කඩ හිමියන්ව බලහත්කාරයෙන් ව්‍යාපාරික ස්ථානවලින් එළියට ඇදලා දානවා. ඒ වගේම නායක හාමුදුරුවෝ කඩ බදු කියලා මාසෙකට විශාල මුදලක් එකතු කර ගන්නවා. පන්සලට බදු ගෙවන වෙළෙඳසැල් සීයකට වැඩියි. ඉඩම්, ගොඩනැඟිලි විකුණලා ලක්‍ෂ ගණන් මුදල් උපයනවා. ඒ මුදල් නගර සභාවට, පළාත් සභාවට හෝ කිසිදු රාජ්‍ය ආයතනයකට යන්නේ නෑ. මාසිකව කොපමණ මුදලක් ලැබෙනවද? ඒ මුදල්වලට වෙන දෙයක් ගැන කිසිම විගණනයක් නෑ. පන්සලට ලැබෙන මුදල් ගිහි තරුණයෙක් වගේ නායක හාමුදුරුවො වියදම් කරනවා. විහාරස්ථානය පහළින් ගලා යන ඇලේ ඉවුර කපලා මැණික් ගරනවා. විහාරස්ථානයට අයිති යැයි කියලා එකම ඉඩම දෙතුන් දෙනකුට විකුණලා මිනිස්සු ඇන කොටා ගන්න තත්ත්වයට පත් කරනවා. මේ වෙනකොට රජමහ විහාරය ව්‍යාපාරික ස්ථානයක් බවට පත්වෙලා. නායක හාමුදුරුවෝ ගමේ දායකයෙක්ගේ පාංශකූලයකට, පිරිතකට, බණකට වඩින්නෙ නෑ. අඩුම තරමින් දානයක්වත් භාර ගන්නෙ නෑ. නගර මාධ්‍යයේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ගේ මේ හැසිරීම සිංහල බෞද්ධ ඇඹිලිපිටිය නගරයට මහා කැළලක්. උන්වහන්සේ සම්බන්ධයෙන් තව චෝදනා තියෙනවා. ඒවා කියන්න බෑ. උඩ බලාගෙන කෙළගහගන්න අපි කැමැති නෑ. අපි හොඳ බෞද්ධයො. අපේ හදවතේ බෞද්ධකම තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නයේදී ඇඹිලිපිටියේ මිනිස්සු අදටත් ඉවසන්නේ…” ඇඹිලිපිටිය වෙළෙඳ සංගමයේ සභාපතිවරයාගේ දීර්ඝ කතාව ද අවසානය. විවිධ අයුරින් අසාධාරණයට, හිරිහැරයට ලක් වූ ඇඹිලිපිටිය නරගවාසීහු, විහාරස්ථානය අවට පදිංචිකරුවන් විශාල පිරිසක් උවහන්සේට එරෙහිව විවිධාකාර චෝදනා ඉදිරිපත් කළහ. ඒ සියලු චෝදනා අපි උන්වහන්සේට ඉදිරිපත් කළෙමු. මේ පෙළගැසෙනුයේ ඇඹිලිපිටිය නගර මධ්‍යයේ කාවන්තිස්ස රජමහ විහාරයේ විහාරාධිපති තණමල්විල ගුණරතන හාමුදුරුවන් කියන කතාවය.

ඔය බදු මුදල් සම්බන්ධ ගැටලුව මට අදාළ නෑ. මේකට වගකියන්න ඕන බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා. තිස් අවුරුදු බදු ඉල්ලුම් පත්‍රයක් බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත යොමු කළ විට එතුමා විසින් එම දේපළ සම්බන්ධයෙන් තක්සේරු කැඳවීමක් කරනවා. ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් එක වාර්තාවක් ලබා ගන්නවා. තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තවත් වාර්තාවක් ලබාගන්නවා. අවසානයේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දැනට අය කරන බදු මුදල තක්සේරු වටිනාකමට වැඩි කරනවා. ව්‍යාපාරික මහත්වරු හිතා ඉන්නෙ මම බදු වැඩි කරනවා කියලා. ඒක වැරැදි අදහසක්. ඒ නිසා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා විසින් මේ ගැටලුව ඉක්මණින් විසඳිය යුතුයි. හිටි, හැටියේ බදු මුදල දහස් ගණනින් වැඩි කළාම සමහර ව්‍යාපාරිකයන්ට දරාගන්න අමාරුයි තමයි. ඒක මට තේරෙනවා…”

එක ඉඩම දෙතුන්දෙනකුට විකුණනවා කියලා ඔබවහන්සේට තව චෝදනාවක් තියෙනවා…?

“ඇතැම් ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරගෙන යන්න බැරිව ව්‍යාපාර ස්ථාන විකුණන්න සූදානම් වෙනවා. එහෙම අවස්ථාවල වෙළෙඳසැල විකුණා ගන්න මුදලෙන් හතරෙන් එකක් විහාරස්ථානයට ලබාගන්නවා. ඒකත් මගේ යෝජනාවක් නෙමෙයි. ඒ කාලේ ඉඳලා නායක හාමුදුරුවො කරගෙන ආපු විදිහ. මමත් ඒ විදිහට වැඩ කරගෙන යනවා. ඒක අපි කරන්නෙ අන්‍යෝන්‍ය සුහදතාවය මතයි. අපිට පන්සලේ ඉඩම් විකුණන්නත් බෑ. ව්‍යාපාරිකයන්ට පන්සලේ ඉඩම්වල තියෙන වෙළෙඳසැල් විකුණන්නත් බෑ. පනතේ හැටියට අපිට පුළුවන් කඩ වෙන්දේසි කර වැඩිම ලංසුවට ලබාදෙන්න. ගමේ ව්‍යාපාරිකයන් ගැන හිතලා ඒක අපි කරන්නෙත් නෑ…”

කාවන්තිස්ස රජමහ විහාරයට අයිති ඉඩම් අක්කර කොපමණ තියෙනවද?

“අක්කර හැටකට වැඩි භූමි ප්‍රමාණයක් විහාරස්ථානය අවට තියෙනවා. මාපැලැස්සේ තව අක්කර දෙසීය තිහක් තියෙනවා. තවත් තැන් කිහිපයක ඉඩම් තියෙනවා…”

විහාරස්ථානයට අයත් ඉඩම්වල අයිතිය තහවුරු කරන්න ඔප්පු තියෙනවද?

“1935 වර්ෂයේ ඉඳලා විහාරස්ථානයට ලැබුණු දේපළවල භාරකාරත්වය සනාථ කරන්න ලියකියවිලි තියෙනවා. නායක හාමුදුරුවෝ ඉන්න කාලේ නඩු කියලා ගත්ත නඩු තීන්දු තියෙනවා. බදු ඔප්පු ලියපුවා තියෙනවා. රුපියල් පන්සීය, දාහ, එක්දාස් පන්සීය, දෙදහා, තුන්දහස බදු ගෙවන ඒවා තාම තියෙනවා. පසුගිය දවසක පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරපු හේෂා විතාන මහතාට පන්සලේ වෙළෙඳසැල් දෙකක් තිබුණා. එක වෙළෙඳසැලක් අපිට හොරා විකුණලා තිබුණා. ඒ වෙළෙඳසැල ගත්ත අයට මම බදු ඔප්පුවක් ලියලා දුන්නා. සමහර වෙළෙඳසැල් අවුරුදු ගණන් බදු ගෙවලා නෑ. බදු නොගෙවීම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුත් බර ගානක් තියෙනවා. සමහර නඩු අවුරුදු හතළිස් ගණන් පරණයි. මටත් වඩා නඩුවලට වයසයි. අපිට ලැබෙන සොච්චම් බදු මුදල වියදම් කරගෙන ඒ ව්‍යාපාරිකයන් එක්ක නඩු කියන්න ඕනෑ…”

ඔබවහන්සේ දායකයන්ගේ දානයට, පිරිතට, බණට, පාංශුකූලයට වඩින්නෙ නෑ කියලා තවත් චෝදනාවක් තියෙනවා…?

“විහාරස්ථානයක නායක හාමුදුරුවන්ට වැඩ රාජකාරි බොහෝමයක් තියෙනවා. සමහර අවස්ථාවලදී දානයට, පාංශුකූලයට වඩින්න බැරි වෙනවා. ඒ වගේම පන්සල එක්ක නඩු කියන දායකයන්ගේ දානයට වඩින්න මට බෑ. විරුද්ධවාදීන් දානය ගෙනාවත් වළඳන්න බෑ…”

ඔබවහන්සේ විහාර භූමියේ මැණික් ගරනවද?

“පන්සලේ වැඩ කරන දෙතුන් දෙනෙක් ඇළට හෝදගෙන ගිය වැලි ටික හෝදලා තිබුණා. ඒක තමයි ඔය ගරනවා කියන්නේ…”

මාසිකව ලැබෙන බදු මුදල්වලට මොකද වෙන්නේ…?

“අතීතයේ ඉඳලා විහාරස්ථානවල නායක හාමුදුරුවෝ විහාරයට අයත් ඉඩම්වලට බදු ඔප්පු ලියා දීලා ගිහි පාර්ශවය සමඟ සුහදත්වයෙන් වැඩ කරගෙන ගියා. ඒ ලැබෙන බදු මුදල් විහාරස්ථාන නඩත්තු කටයුතුවලට යොදාගත්තා. මේ විහාරස්ථානය ගරා වැටෙමින් තිබුණේ. මේ තත්ත්වයට පන්සල දියුණු කරන්න රුපියල් කෝටි ගානක් වියදම් කළා. කඩ විකිණීමේදී ලැබුණු මුදල්, බදු මුදල් වියදම් කලේ පන්සලේ දියුණුවට තමයි…” කාවන්තිස්ස රජමහ විහාරයේ විහාරාධිපති තණමල්විල ගුණරතන හාමුදුරුවෝ අපේ සියලුම පැනයන්ට එසේ පිළිතුරු ලබා දුන්නාහ.

සිංහල සමාජය මෙතරම් හෝ ශක්තිමත්ව පවතිනුයේ බෞද්ධ ආගම නිසාය. මහා සංඝරත්නය නිසාය. ආගම, ජාතියට පැන නැගුණු ගැටලු හමුවේ අපේ හාමුදුරුවෝ නිර්භයව, සෘජුව බෞද්ධ ජනතාවට ශක්තියක් වූ නිසාය. එහෙත් අද වෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් දෙයකි. සට, කපට හොර ගෑනු ළඟ භික්‍ෂූන්වහන්සේ මුදල් ආයෝජනය කර ඇති බවට චෝදනා නැඟෙන්නේය. අති සුඛෝපභෝගී වාහන බෙදාගැනීමට නොහැකිව කාන්තාවන් සමඟ නාහිමියන් පැටලෙන්නාහ. ඇතැම් භික්‍ෂූන්වහන්සේ ශාසනික දේපළ වෙන්දේසියේ දමා මුදල් උපයන්නාහ. පන්සල්, ඉඩකඩම් බෙදාගැනීමට නොහැකිව භික්‍ෂූන්වහන්සේ ඇන කොටාගෙන මාරගන්නාහ. ශාසනික දේපළ යැයි කියා ජනතාව පදිංචි ගම්, නියගම් හාමුදුරුවෝ අත්පත් කරගැනීමට නඩු යන්නාහ. ශාසනික ඉඩකඩම් යැයි කියාගෙන මැරයන්, මිනීමරුවන් ලවා තලා පෙලා අසරණ මිනිසුන්ව ගෙවල් දොරවල්වලින් පන්නා දැමීමට භික්‍ෂුන්වහන්සේ කටයුතු කරන්නාහ. සියල්ල අතහැර විමුක්තිය සොයාගෙන බුදුමඟ යන භික්‍ෂූන්වහන්සේ තෘෂ්ණාවෙන් බදාගැනීමට වලිකන සමාජයක බෞද්ධ ජනතාවට කාගේ පිහිටක් ද අපේ හාමුදුරුවනේ. එමෙන්ම කිසිදු අන්‍ය ආගමික ව්‍යාපාර ස්ථානයක් නොමැති සිංහල බෞද්ධ ව්‍යාපාර පදනමක් සහිත ඇඹිලිපිටියට භික්‍ෂූන්වහන්සේ අකුල් හෙළන්නේ නම් එම නගරයට කාගේ පිහිටක්ද?

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment