ඇයට සම තැන නොව නිසි තැන දෙන්න!

392

ජාත්‍යන්තර කාන්තා දිනය ඊයේ (08දා) යෙදී තිබිණි. ඊට සමගාමීව අප රටේ ද ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිණි. බොහෝ තැන්වල කාන්තා සැමරුම්, රැස්වීම්, දේශන මෙන්ම විවිධ වැඩසටහන් පැවැත්විණි. සාම්ප්‍රදායිකව කාලයක් තිස්සේ මෙය සිදුවන්නකි. නමුත් අප රටේ කාන්තාවට අවැසි සැබෑ විමුක්තිය ලැබී තිබේද? ඇය ඇත්තෙන්ම නිදහස්ද ඇයට අප සමාජයේ සම තැන නොව නිසි තැනවත් ලැබී තිබේද? මේ ඒ පිළිබඳව තබන සටහනකි.

අප රටේ කාන්තාව උපතේ සිටම සිය අවසන් ගමන තෙක්ම මුහුණ දෙන අභියෝග රාශියකි. විශේෂයෙන් ශ්‍රී ලාංකික අපි අප රටේ කාන්තාවන්ට නිසි තැන ලබාදීමට වඩා ඇය කවුරුන් හෝ යටතේ රැකවරණය ආරක්‍ෂාව යටතේ සිටිය යුතු යැයි කල්පනා කරති. කුඩා කාලයේදී දෙමාපියන් යටතේ ද, තරුණ කාලයේ ස්වාමිපුරුෂයා යටතේ ද මහලු අවදියේදී තම දරුවන් යටතේ ඇය රැකවරණය ලැබිය යුතු යැයි යන ආකල්පය අප සමාජය තුළ මුල්බැසගෙන තිබේ. එහි බැලූ බැල්මට වරදක් නැත. නමුත් සැබෑ ලෙසම එහි යථාර්ථය ගෙන බැලුවොත් පෙනී යන්නේ අපි ඇයට තවමත් නිදහසේ ජීවත්වීමට අවැසි වටපිටාව නිර්මාණය කර නොමැති බව නොවේද?

අද අප රටේ වැඩිහිටි කාන්තාවට පමණක් නොව කුඩා ගැහැනු දරුවන්ටත් නිදහසේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. කාන්තා නිදහස ගැන කතා කරන අප සමාජයේම පිරිමි අප රටේ ගැහැනුන්ව කෙලසන්නේ ඉතාමත් තුච්ඡ අයුරිනි. ඊට හොඳම උදාහරණය කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ කාන්තා ඝාතන වැලයි. ප්‍රශ්නයක් වූ තැන පෙම්වතියගේ හිස සිඳ වීසිකර ඉතිරි කොටස් ගමන් බෑගයේ රැගෙන ගමට යන පිරිමි සිටින්නේ ද අප රටේය. කාන්තා දිනය සමරන මේ මොහොතේදීත් රටේ කොතැනක හෝ කාන්තාවක දූෂණයට, අගතියට ලක්වන තරමට අප සමාජය පිරිහී තිබේ. කාන්තාවට සිදුවන කායික සහ මානසික වධ හිංසා සැබෑ ලෙසම නැවැත්වීමට නම් අප රටේ මූලිකවම සිදුවිය යුත්තේ ආකල්පමය වෙනසකි. ඒ ආකල්ප වෙනස සිදුවිය යුත්තේ පුරුෂ පාර්ශ්වය තුළය. අප රටේ කාන්තාවන් වෙලාගෙන තිබෙන පුරුෂාධිපත්‍යයේ යදම් බිඳින තුරු අප රටේ කාන්තාවට හිමි විමුක්තිය ලැබීම සිහිනයක් පමණක් බව සඳහන් කළ යුතුය.

අතීත කතන්දරයේ ඇත්තේ අප රටේ කන්කට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වුවද රනින් සැරසී ගමන් කළ හැකි ආරක්‍ෂිත වටපිටාවක් තිබූ බවයි. අද දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නොව පොදු ප්‍රවාහන සේවයක පවා කාන්තාවට නිදහසේ ගමන් කිරීමත් දුෂ්කරය. මේවා නතර විය යුතුය. නතර නොවේ නම් අවශ්‍ය අණපනත් ගෙනත් හෝ කාන්තාවට අප රටේ නිදහසේ සැරිසැරීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය.

අනෙක් අතට පිරිමි පාර්ශ්වය තේරුම් ගත යුතු තවත් ප්‍රධාන කාරණයක් වන්නේ අප රටේ කාන්තාවන් අප රට සංවර්ධනයෙහිලා කෙතරම් සුවිශේෂී භූමිකාවක් කරන්නේ ද යන්නයි. ගැහැනිය අප රටේ ගෘහයේදී කරන කාර්යභාරයට නිසි මිලක් නියම කළ නොහැක. නිසි මිලක් තියා ඒ සම්බන්ධව නිසි ඇගයීමක්වත් සිදුවන්නේ නැත. ගේදොර වැඩපළ කරමින්, දරුවන් පෝෂණය කරමින්, නෑදෑ වර්ගයා බලා ගනිමින් ඇය ගෘහයේදී කරනා කාර්යභාරය අතිශය විශාලය. නමුත් බොහෝ පිරිමි ඒ පිළිබඳව ඇගයීමක් නොකරන්නේ සාම්ප්‍රදායික රාමුව තුළ ඇය රඳවා තබා ගැනීමට හෝ ඇය සිර කර තැබීමට වුවමනා නිසාය.

කෙතරම් බාධක කම්කටොලු තිබුණ ද ඒ සියලු දේ ජයග්‍රහණය කරමින් අප රටේ කන්තාවන් ඉදිරියට ආ අවස්ථා ද නැත්තේ නොවේ. ඊට හොඳම උදාහරණය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. තම සැමියා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයෙන් පසු නැගී සිටි ඇය ලොව ප්‍රථම අගමැතිනිය ලෙස අභිෂේක ලබන්නේ ලොව සියලු කාන්තාවන්ට ආදර්ශයක් සපයමිනි. අදටත් අප රටේ සමහර කාන්තාවෝ මේ වන විට සමාජයේ ඉහළ පුටුවල සිටිති. නමුත් ඒ ප්‍රමාණය අතළොස්සකි. කාන්තාවන්ට පාර්ලිමේන්තුවේ හිමිවිය යුතු නියෝජනයේ පංගුව පිළිබඳ විවිධ සමාජ කතිකා ඇති වුවද එම ප්‍රමාණය ලබාදීමට අප රටේ දේශපාලනඥයෝ ඉඩදී ඇති බවක් නොපෙනේ. අප රටේ ජනගහනයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන්ය. සමාජයේ ඉදිරි ගමනට වැඩි බරක් ද අදිනුයේ ඔවුන්ය. එනිසාම අප සමාජයේ දියණියක, මිතුරියක, සහෝදරියක, බිරිඳක සහ මවක ලෙස ක්‍රියාශීලී වන කාන්තාවන්ට සමාජයේ සම තැන නොව ඇයට හිමි නිසි තැන ලබාදීමට පිරිමි පාර්ශ්වය ඉඩදිය යුතුය. එය සිදුවන්නේ සමස්තයක් ලෙස අප රට තුළ සිදුවන සැබෑ සමාජ ආකල්ප දියුණුවකින් බව සඳහන් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment