ඇය වෙනුවෙන් හෙළන අපේ කඳුළයි මේ

938

මේ රටේ මෑත ඉතිහාසයේ තැවරුණු කළු පැල්ලම් දෙකක් බඳු කාන්තා ඝාතන දෙකක් තිබේ. මෙහි පළමුවැන්න 1971 අප්‍රේල් කැරැල්ලේදී කතරගම සිංහල අවුරුදු රූප සුන්දරිය වූ ප්‍රේමවතී මනම්පේරි දූෂණය කරනු ලැබ නිරුවතින් පාර දිගේ ඇවිද්දවා වෙඩි තබා මරා දැමීමය. මනම්පේරි ඝාතනය සිදු කළේ යුද හමුදාවේ කැප්ටන් කෙනකු හා සාමාන්‍ය සෙබළෙකි. කැප්ටන් වෙඩි තබන්නැයි අණ දුන්විට සාමාන්‍ය සෙබළා ඩෝං ගා වෙඩිල්ලක් තැබුවේය. එහෙත් ප්‍රේමවතී මළේ නැත. ඇය පණපිටින්ම වළ දමන ලදි. මෙයින් පසු කැප්ටන් සහ සෙබළා ජීවිතාන්තය තෙක් හිරේ ගියහ. හිරේදී කැප්ටන් මළේය. දීර්ඝ කාලයක් සිරදඬුවම් විඳි සාමාන්‍ය සෙබළා නිදහස් වී එළියට පැමිණි පසු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔහුට වැඩේ දුන්නේය. ඒ කාරණය සම්බන්ධයෙන් විතරක් අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ජය පතමු. ඊළඟ කළු පැල්ලම ලෙස සැලකෙන ඝාතනය වූ කලී 2015 මැයි 13 වැනිදා යාපනයේ පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝකනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි දැරිය කැලෑ රොදකට ඇදගෙන ගොස් දූෂණය කර මැරීමය. විද්‍යා යනු 2009දී කොළඹ පාසලක උගත් දැරියකි. යුද්ධයෙන් පසු ඇයත් ඇගේ පවුලේ අයත් යාපනයේ පුන්කුඩුතිව් ගම්මානයේ පදිංචියට ගියහ. මියයන අවස්ථාවේදී ඇය පුන්කුඩුතිව් මහ විදුහලේ උසස් පෙළ පංතියේ උගත්තාය. මේ ඝාතනය සංවිධානය කරන්නේ රස්සාවට බ්ලූ ෆිල්ම් හැදූ ස්විස් කුමාර් නමැති කෙනෙකි. ඔහු යාපනයේ තරුණියන් සහ නව යොවුන් දැරියන් යොදවා බ්ලූ ෆිල්ම් තනා ප්‍රෝන් හබ් නමැති අන්තර්ජාල කුණුහරුප වෙබ් සයිට් එකට වික්කේය. මේ විද්‍යා දැරිය පැහැරගෙන ගොස් එකොළොස් දෙනකු සමග දූෂණය කරන ලදි. මේ සමූහ දූෂණ ක්‍රියාවලිය වීඩියෝ කළ අතර එය ලොකු මිලකට ප්‍රෝන් හබ් එකට විකිණීමට ස්විස් කුමාර් කල්පනා කළේය. දැරියගේ මළසිරුර සොයා ගැනීමෙන් පසු යාපනයේ ජනතාවත්, පොලිසියත් එකතු වී සැකකරුවන් ද ස්විස් කුමාර් ද අල්ලා ගත්හ. ස්විස් කුමාර් යනු දේශපාලන ගොට්ටෙක් වශයෙන් ද කටයුතු කළ කෙනෙකි. ඒ නිසා එකල පැවැති රජයේ ඇමැතිවරියක් සහ විශ්වවිද්‍යාලයක එවක ඉහළ පදවියක් දැරුවකු යන දෙදෙනා ස්විස් කුමාර් බේරා ගැනීම සඳහා උපරිම ගේමක් ගසන ලද බව දැනගන්නට තිබේ. එහෙත් පසුව මේ දෙදෙනා එම චෝදනාව ප්‍රතික්‍ෂේප කළහ. ඒ නිසා අප ඒ ගැන තවදුරටත් කතා කරන්නේ නැත.

ඉහත සඳහන් පූර්විකාව අප විසින් ලියන ලද්දේ ලංකාවේ කාන්තා ඝාතන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන බව පෙනෙන හෙයිනි. පසුගිය 29 වැනිදා පාදුක්ක වටරැකදී කරුණාවතී නමැති 65 හැවිරිදි කාන්තාවකට පිහියෙන් ඇන මරණ ලදි. මෙම කාන්තාව 29 වැනිදා අලුයම නිවස ඉදිරිපස කාමරයට ගිය අවස්ථාවේදී ඇයට පිහි පහර එල්ල කර සාහසිකයෙක් පැන ගොස් තිබිණ. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා දින 1825ක් රෝහලේ සිටි තිදරු මවක් 27 වැනිදා මිය ගියාය. ඇගේ නම තිළිනා හර්ෂණීය. ඇය තුවාල ලබන්නේ මීගමුවේ කටුවාපිටිය දේවස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයෙනි. පාස්කු ප්‍රහාරය යනු මේ රටේ ඉතිහාසයේ සටහන්ව ඇති කඳුළු ගංගාවකි. මේ කඳුළු ගංගාවේ ගිලී මියගිය අය වෙනුවෙන් තවමත් හරියාකාරව යුක්තිය ඉටුවුණේ නැති බව දැනගන්නට තිබේ. එසේ වීමට ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මේ ප්‍රහාරය එල්ල කළ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සියලුම දෙනා මිය යෑමය. එහෙත් මේ සිද්ධිය පිටුපස සිටින මාස්ටර් මයින්ඩර් (MASTER MINDER) තවමත් හසු නොවූ බව ජනප්‍රිය මතය වේ.

රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටලුවක් මුල් කරගෙන හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ නියුතු වූ 36 හැවිරිදි කාන්තාවක් 28 වැනිදා සීදූවේ ලියනගේමුල්ල ප්‍රදේශයේදී මැරුම් කෑවාය. සීදූවේ සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයකු සමග ඇයට සමීප සම්බන්ධයක් තිබිණ. ඒ අතර ඇය රාත්‍රි සමාජ ශාලාවකට ගිය බව කියනු ලැබේ. අනියම් පෙමට වහවැටුණු සැමියා තම ආදර බිරිඳ මරා ළිඳට දැමීමේ තවත් සාහසික අපරාධයක්ද ඊයේ (29දා) අප පත්‍රයේ 3 වැනි පිටුවේ පළවිය. හැබැයි ගැහැනියක් ඝාතනය කළ කල්හි එය අපේ හදවතට ඉතා තදින් දැනේ. එයට හේතුව විය හැක්කේ අප සියලු දෙනාම මවුවරුන් විසින් ප්‍රසූත කරන ලද නිසා විය යුතුය. ගැහැනියක මැරුවද, පිරිමියකු මැරුවද, සතකු මැරුව ද එය ඝාතනයකි. හැම ජීවියකුම උපන් දවසේ පටන් හැදෙන්නේ අම්මාගේ ඇසුරෙහිය. ඒ නිසා අම්මා සතු විභවය ඉතා ඉහළය. ගැහැනුන් මැරීම පමණක් වැළැක්වීමට රටකට නොහැක. එබැවින් අප කළ යුත්තේ සමස්ත ඝාතන නවත්වන ක්‍රමවේදයකට යෑමය.

advertistmentadvertistment
advertistmentadvertistment