ඇරඹුමම කඳුළක් වෙලා

255

ඇරඹුම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් කියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ගායනය – කසුන් කල්හාර
ගේය පද – දිලීප අබේසේකර
සංගීත නිර්මාණය –
නාලක අංජන කුමාර

ඇරඹුමම කඳුළක් වෙලා

මානව ප්‍රේමයට නිර්වචන කොපමණක් ඇද්දැයි එතෙක් මෙතෙක් ප්‍රේමයෙන් මුසපත් වූ සුවහසක් ප්‍රේමවන්ංතයින් වත් දන්නේ නැහැ. ස්වභාව ධර්මයේ සංසිද්ධි වින්දනීය දෑ, කලා නිර්මාණ,ආගමික හා සංස්කෘතික භාවයන්, සැමරුම් මේ සියල්ලම උපමා කරගෙන ප්‍රේමයට නිර්වචන දෙන්නට එදා මෙදා තුළ කවීන්, සිත්තරුන් ලේඛකයින් මොන තරම් උත්සාහ කර ඇත් ද? අනන්තයක් වූ ආකාසේ තරු ගණින්නා සේම මේ කටයුත්තත් නිමා නොවන දෙයක්. වරෙක ප්‍රේමය ක්‍රීඩාවක් වගෙයි. එහි කෙටි දුර, දිගු දුර, අහසේ, පොළවේ, දියඹේ රැඳෙමින් අන් අයගේ ආකර්ෂණය, අවධානය දිනා ගනිමින් ජය හෝ පැරදුමක්, පතමින් හෝ නොපතමින් කල් ගෙවා යන විශ්මිත දෙයක් වගෙයි.

වරෙක නිමා නොවන සංචාරයක් වගෙයි. ඒ කෙසේ වෙතත් ප්‍රේමයේ ප්‍රවිශ්ටය තුළ ඇත්තේ සදාකාලික වියයුතු යැයි සිතන සිහිනයක් . ඒ නිසයි සංසාරික ඇසුර, ආත්මීය බැඳීම වැනි යෙදුම් ප්‍රේමය හා ගලපා ගන්නට උත්සාහ කරනුයේ. එහෙත් මේ කෙටි දුර සංචාරයක් හෝ ක්‍රීඩාවක් වූ ප්‍රේමණීය අත්දැකීම නැද්ද? ඒවා සැමකක් ම ඛේදාන්ත ද ශෝකාන්ත ද? එසේ වන්නේ පටන්ගැන්මේ වරදක් නිසාද. එසේ නැත්නම් පවත්වා ගැනීමේ දුබලතාවයක් ද. නැතිනම් රසායනික විද්‍යා සංකල්ප වල පැවසෙන සේ සහසංයුජ බන්ධන සෑදීමට ඇති අපොහොසත් කමද?

කසුන් කල්හාර ජයවර්ධන ගයන දිලීප අබේසේකර ගේ මනහර පද වැලට නාලක අංජන කුමාර සංගීත රට මවමින් අපට දැනෙන්නට සලස්වන්නේ මේ කෙටි දුර ප්‍රේමයක අත්දැකීමක් නොවේ ද.

“ඇරඹුමම කඳුලක් වෙලා ..
මා බලා ඉද්දී ඒ දිහා ..
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා ….”

තම ප්‍රේමිය හා ඇති කරගන්නා මේ තාරුණ්‍යයේ ප්‍රේම අත්දැකීමට ආයුෂ අඩු වූයේ ඇයි. ඇරඹුම ම කඳුලක් වෙලා …

මෙය අපට ”නොගැලපීම ”‘යැයි නිර්වචනය කරන්නට තරම් සැහැසි විය හැකිද. අප ජීවත් වන ලෝකයේ මෙසේ රුවින්, වයසින් ආකර්ශනයෙන් බොහෝ සේ ගැලපෙන තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධයන් දුටු විට අප සිතන්නට පෙළඹෙන්නේ මෙය නම් උපනූපන් ආත්මවල පතාගෙන ආ පෙම්කතාවක් කියායි .එහෙත් අපට සුළු කලකින් ම ආරංචි වෙනවා ඒ ප්‍රේම සම්බන්ධතා සිදී බිදී ගිහින් කියා.සමහරක් ස්වකැමැත්තෙන්ම වෙන්වී මිත්‍රත්වය ඉදිරියටත් පවත්වා ගන්නා සබඳතා.සමහරක් වෛරී චේතනාවන් ඉතිරි කොට වෙන්ව ගිය සබඳතා.එසේ බිඳුනු පෙම් පුරාවත් වෛරයෙන් කෙළවර විය යුතුද.

ඒ නිසා මේ ප්‍රේමවන්තිය එවන් අවසානයක් නොදැකම ඔහු අතහැර යන්නට ඇති.

“දුක්බරම කවියක් ලියා..
එහි පද පෙලක් අඩුවෙන් තියා..
අරුත පසිඳින්නට කියා ..
අවසානයට පෙර ඈ ගියා..”

ඇය ඔහු වෙත ලියා තබා ගිය පණිවිඩය ඔහුට අනුව දුක්බරම කවියක්.එහෙත් එහි එක් පදයක් ඇය නොලිව්වේ ඇයි. එය ලිව්වා නම් ඒ දුක්බර බව ඔහුට නොදැනෙන නිසාද.නැතිනම් ඒ නොලියූ පදයේ හිමිකාරයා ඔහු නිසාද? කෙසේ වුවද සම්භෝග රසයට වඩා මේ විප්‍රයෝගය ඔහුට වඩ වඩාත් දැනෙන්නට ගන්නේ ඇය ඔහු අතහැර ගිය මොහොතින් පසුවයි .

“ශෝකාන්තය එන තුරා ..
එහි රැඳෙන්නට සිත් නැති නිසා ..
අනන්තය ළඟ මා දමා ..
අවසානයට පෙර ඈ ගියා ..”

ඇරඹුමම කඳුළක් වෙලා

මෙසේ නොගැලපීම් සමග එක්ව රැඳී සිටියේ නම් ප්‍රේම කතාව අවසාන වන්නේ ඛේදාන්තයකින් හෝ ශෝකාන්තයකින් .ඇය ඔහුව අතහැර යන්නේ අනන්තයක් තරම් වූ සුවිශාල ප්‍රේම අවකාශයකයි .ඒ නිසා මේ ඇයගේ සහ ඔහුගේ ප්‍රේම අන්දරයේ අවසානයද නොවනු ඇති .මෙවන් කෙටි ධාවන ප්‍රේම අන්දර වල ඇති උපේක්ෂාමය ගුණය අපට ලොව සෑම ප්‍රේම ඉසව්වක ම දැකිය හැකි වේ නම් ,ආත්මීය බැඳීමෙන් දිගුකල් පවතින සෙනෙහසේ ගීතාවන් සේම, කෙටි කල් ප්‍රේමය තුළ ද ආකර්ෂණීය කතන්දර බහුල වනු ඇති.නමුත් පුහුදුන් මිනිසුන් වන අපි අනෙක් සංසිද්ධි හමුවේ සේම ප්‍රේමය හමුවේත් නිරායාසයෙන් පරාර්ථකාමී වන්නේ ද .එය ප්‍රේමය සේම නිර්වචනයක් සොයා ගත නොහැකි පැණයකි.

advertistmentadvertistment
advertistmentadvertistment