ඇරෙන වැහෙන පිරිපහදුව වහලම දැම්මෙ විකුණන්නද?

119

විදුලි බිල වැඩිකිරීමක් සිදු නොවුණහොත් රටටම විදුලිය කැපීමට සිදුවන බව බලශක්ති අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇත. නැතහොත් පැය 7 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මුළු රටම අඳුරේ තැබීමට සිදුවන බවද ඔහු සඳහන් කරයි. එයට හේතුව විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන හා ගල්අඟුරු ප්‍රමාණය මේ වනවිට රට තුළ නොමැතිවීම කවුරුත් දන්නා කරුණුය. සැබැවින්ම අපේ රටේ ඉන්ධන ගිලින බහිරවයා විදුලිබල මණ්ඩලය බව කිව යුතුය. විදුලිබල මණ්ඩලය මගින් විදුලිය කැපිල්ලද කිසිම අඩුවක් පාඩුවක් නොමැතිව සිදුකරගෙන යන අතර ඉදිරියේදී රටේ ජනතාවට විදුලිය කැපිල්ලේ තරම හා එය දීර්ඝ වන පැය ගණනද කියන්නට තරම් රටේ පාලකයන් මේ වන විට අකාරුණික වී ඇත. එහෙත් සිදුවිය යුත්තේ එයද? විදුලිය නිපදවීමට ඉන්ධන, දැවිතෙල් නොමැතිනම් කළ යුත්තේ මෙරට වසා දමා ඇති පිරිපහදුව නැවත සක්‍රීය කර ඊට අවශ්‍ය ඉන්ධන මෙරට තුළම නිෂ්පාදනය කිරීමය. ප්‍රශ්නය එසේ නොවන්නේ ඇයිද යන්නය.

රටේ ඉන්ධන සැපයුමට සෘජු දායකත්වයක් සැපයූ සපුගස්කන්ද පිරිපහදුව මේ වනවිටත් වසා දමා ඇත. එය වසා දැමීමට බලධාරීන් කොපමණ හේතු දැක්වූවත් තවමත් මෙය විවෘත වන වගක්නම් පෙනෙන්නට නැත. මේ වනවිට රටේ දැවැන්ත ප්‍රශ්නයක් වන ‘කරන්ට් කැපිල්ල’ රටෙහි සියලුම ක්‍ෂේත්‍රයන් කෙරෙහි බලපා ඇත. රටේ සම්පත් මෙසේ විනාශයට යන යුගයක ඒවායින් ප්‍රයෝජනයක් නොගෙන මෙම සම්පත් විනාශ මුඛයට යෑමට පෙළඹවීමෙන් රටේ බලධාරීන් අර අඳින්නේ කුමකටද? මෙම සම්පත් විකුණාදැමීමට කටයුතු කිරීමට රජය සූදානම් වනවා දැයි සැකයක් රටේ ජනතාවට මතුවීමද සාධාරණය. රටෙහි විදුලිය ප්‍රශ්නයට හා ඉන්ධන ප්‍රශ්නයට කදිම පිළිතුරක් සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබාගත හැකිවූවත් එය ක්‍රියාත්මක නොවන්නේ ඉදිරියේදී මේ ආයතන පෞද්ගලීකරණයකටද? අඩුම තරමේ මෙම පිරිපහදුව ක්‍රියාත්මක කර රටේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටෙහි විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාගන්නේ නම් එය ‘කරන්ට් කැපිල්ල’ ටද හොඳ විසඳුමක් වනු ඇත. පසුගිය දිනෙක ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා එහි සභාපති නිහාල් වීරරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ වහාම සපුගස්කන්ද පිරිපහදුව විවෘත කර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන ලෙසයි. එහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජනතා බදු මුදල්වලින් බලාගාර ඉදිකර තිබෙන බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට සේවකයන්ද සිටින පසුබිමක ඉන්ධන ලබා නොදී හදිසි මිලදී ගැනීම් සඳහා ආණ්ඩුව ක්‍රියාකිරීමෙන් සිදුවන්නේ තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය ඉහළ යෑමක් බවයි. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ විදුලිය නිෂ්පාදනය කරන බලාගාර තිබියදීත් ඒවාට ඉන්ධන ලබා නොදී රජය සිදුකරමින් සිටින්නේ රටේ ජනතාවට මෙන්ම විදුලි සේවකයන්ටද ඒවා එපාකර එකින් එක විකුණා දැමීමටද යන සැකය මතු වන බවකි.

පසුගියදා කැලණිතිස්ස බලාගාරයද වසා දැමුණේ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසාය. මෙම බලාගාරයට අවශ්‍ය නැප්තා ඉන්ධනය අවසන්වීම හේතුවෙන් මෙලෙස මෙම බලාගාරය අක්‍රිය වූ බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සංගමය පවසා ඇත. මෙම බලාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ධාරිතාවක් උත්පාදනය කර ඇත. නැප්තා ඉන්ධනය අවසන් වීම නිසා මෙම බලාගාරය පසුගිය 3 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කර ඇත. නැප්තා යනු අපේ රටේ පිරිපහදුවෙන් ලබාගන්නා ඉන්ධනයකි. එසේනම් පිරිපහදුව ක්‍රියාත්මක වූවා නම් මෙවැනි විදුලි බලාගාර වසා දැමීමට සිදුනොවනු ඇත. එමෙන්ම මේ වනවිට රටේ ප්‍රධානම ගැටලුව වී ඇති ‘කරන්ට් කැපිල්ල’ටද සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම බලපාන බව හොඳින්ම වැටහෙන කාරණාය.

රට තුළ තවමත් ඉන්ධන ලබාදීම සිදුවන්නේ QR ක්‍රමයටය. එහෙත් තවමත් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති වගක් දක්නට ඇත. භූමිතෙල් නම් තවමත් ජනතාවට ලැබී නැත. මෙම පිරිපහදුව ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි ප්‍රශ්නවලට තරමක හෝ සහනයක් වනු ඇත. එහෙත් තවමත් ආණ්ඩුව මගින් ආනයනික නිමි ඉන්ධන ගෙන්වීම නවතා නැත. බොරතෙල් මෙරටට ගෙන්වීමට ක්‍රියා නොකරන්නේ නිමි ඉන්ධන ගෙන්වීමේදී තරම් කොමිස් මුදල්, ගසාකෑම් නොමැති නිසා බවද බොහෝදෙනා දරන මතයකි. එමෙන්ම නැවතත් ඉදිරියේදී විදුලි බිල වැඩිකරනවා වෙනුවට විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් හෙවත් නැප්තා ලබාගැනීමට නැවතත් පිරිපහදුව ආරම්භ කිරීම ගැන තවමත් සාකච්ඡා වී නැත. අපේ රටේ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් ආනයනය සඳහා විශාල වැය කිරීමට රජයට සිදුවනු ඇත. මෙසේ රටේ ධනය නිකරුණේ කාබාසිනියා කිරීම වෙනුවට ලාභදායී ක්‍රමවලට යෑමට බලධාරීන් ක්‍රියා නොකරන්නේ ඇයිදැයි තවමත් ප්‍රශ්නයකි.

පසුගියදා ඩොලර්වලට රාජ්‍ය ආයතන විකිණීමට විරුද්ධවද විදුලිබල මණ්ඩල සේවකයන් පාරට බැස විරෝධතාවයේ යෙදෙන අයුරු දැකගන්නට හැකිවිය. ඔවුන්ගේ චෝදනාව නිවැරදි නම් රට තුළ මෙසේ ආයතන විකිණීමක් සිදුවන්නේ නම් එයින් සිදුවන්නේ රට තවත් අගාධයකට යෑමක් නොවේද? රටට අවශ්‍ය ඉන්ධන වන ඩීසල්, පෙට්්‍රල්, භූමිතෙල් සැපයූ සපුගස්කන්ද පිරිපහදුව ගුවන් යානා ඉන්ධන නිපදවීම මගින් විදේශ විනිමය පවා මෙරටට ලබා දුන්නේය. පිරිපහදුවේ ඉංජිනේරුවන් පවසන ආකාරයට මෙම පිරිපහදුව වසා දැමීමෙන් රටට දැඩි පාඩු සිදුවන බවද, වසා දමා තිබෙන පිරිපහදුව නැවත ක්‍රියාත්මක කිරීමේදී එහි ගැටලු ඇතිවීමෙන් එය නැවත අලුත්වැඩියා කිරීමට සිදුවීමෙන් ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවයි. එසේනම් රජය මගින් සිදුකරන්නේ පිරිපහදුවේ විනාශයට මඟපෑදීමක්ද? නො එසේනම් සපුගස්කන්ද පිරිපහදුව විවෘත නොකිරීම පිටුපස කුමන්ත්‍රණයක් තිබේද යන්න ලාංකික ජනතාවටම ප්‍රශ්නයකි.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment