ඇරෙන වැහෙන පිරිපහදුව වැහිලම යයිද?

73

බොරතෙල් නැව දවස් 53ක් මුහුදේ

පිරිපහදුවටත් අවුරුදු 53යි

තෙල් මිල රටේ ජනතාවට තවමත් දැරිය නොහැකි මට්ටමක පවතී. එනම් පෙට්‍රල් ලීටරයක් රු. 370 ක්ද ඩීසල් රු. 415 ක් හා භූමිතෙල් රු. 340 ක් වැනි මිල ගණන් යටතේ පවතී. එහෙත් භූමිතෙල් සොයා ගැනීමට නම් තවමත් රටේ ජනයාට නොහැකිවී ඇත. අපේ රටේ මිනිස්සුන්ට වඩාත් සමීපතම ඉන්ධනයක් වන්නේ භූමිතෙල්ය. එයට හේතුව වන්නේ භූමිතෙල් යනු නාගරික පරිසරයේත්, වතු ආශ්‍රිත පරිසරයක හෝ ග්‍රාමීය පරිසරයක ජීවත්වන මිනිසුන්ගේත් ප්‍රධාන දහන ඉන්ධනයක් වශයෙන් භූමිතෙල් යොදාගැනීමයි. තවද මුහුදු යන්නට භූමිතෙල් ටිකක් සපයා ගැනීමට නොහැකිව සුසුම්හෙළන ධීවරයෝ අපේ රටේ අනන්තවත් සිටිති. තම රැකියාව කර ගැනීමට භූමිතෙල් ටිකක් නොමැතිව ඔවුන්ගේ ජීවිත අද කඩාවැටී ඇත. ඒ නිසා අද අපි භූමිතෙල් ගැන කතා කිරීමටත්, සුළු වශයෙන් මිල පහළ ගිය පෙට්‍රල් හා ඩීසල් මිල ගැනද කතා කිරීම කාලෝචිතය. අපේ රටේ පිරිපහදුව ගැන අපි කතා කළ යුත්තේ මෙන්ම මේ නිසාමය. මන්ද රටේ බහුතරයක් භාවිතා කරන භූමිතෙල් ටික පවා සපයාදීමට සෘජු දායකත්වයක් සැපයුවේ සපුගස්කන්ද පිරිපහදුව මගිනි. රටේ බලධාරීන් මෙතරම් සම්පත් අපේ රට සතුව තිබියදීත් වෙනත් රටවල් මගින් පිරිපහදු කළ ඉන්ධන වර්ග ගෙන්වා රටේ ඉතිරි ඩොලර් සංචිතයත් කාබාසිනියා කර දමන්නේ මිල කළ නොහැකි සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැනි වටිනා සම්පතක් දිනෙන් දින ස්වාභාවික මරණයකට පත්ව ඇති කාලයකය. විමතියට කරුණ වන්නේ පිරිපහදු කිරීමට අවශ්‍ය බොරතෙල් නොමැතිව මාසයකට අධික කාලයක් සපුගස්කන්ද පිරිපහදුව වසා දමා තිබෙද්දීත් පිරිපහදුව වෙනුවෙන් බොර තෙල් රැගෙන පැමිණි මුහුදේ නැංගුරම්ලා ඇති බොරතෙල් නැවකට මේ වනවිට මාස එක හමාරක කාලයක් තිස්සේ ප්‍රමාද ගාස්තු ගෙවමින් පසුවීමයි.

● පිරිපහදුවේ ඉතිහාසය

ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව 1969 වර්ෂයේ අගෝස්තු මස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධීක්‍ෂණය යටතේ ඉදිවිය. ඉරානයෙන් හා අරාබි රටවලින් ආනයනය කරන ලද සැහැල්ලු බොරතෙල් විශේෂයන් මුලින්ම මෙහි පිරිපහදු කටයුතු සඳහා යොදා ගැනිණි. අක්කර 165 පමණ වපසරියකින් යුක්ත මෙම පිරිපහදුව බොරතෙල් ගබඩා කළ හැකි ටැංකි 65 කින් සමන්විත අතර ඉන් පහක පමණක් බොරතෙල් මෙටි්‍රක් ටොන් 40,000 ක් පමණ ගබඩා කළ හැක. 1971 දී සපුගස්කන්ද පිරිපහදුව තුළ ගෑස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කළ අතර එම කාලයේ පිරිපහදු කළ හැකි බොරතෙල් බැරල් සංඛ්‍යාව 35,000 කි. පසුව 70 දශකයේ මුල් භාගයේදී බොරතෙල් බැරල් 50,000 දක්වා පුළුල් කිරීම සිදුවිය. මෙම පිරිපහදුව තුළින් භූමිතෙල් සිට ගුවන් යානා ඉන්ධන, පෙට්‍රල් සහ ඩීසල් වැනි විවිධ වර්ගයේ ඉන්ධන ලබාගැනුණි. මෙහි නවීකරණ කටයුත්තක් සඳහා 2018 වසරේ මෙම පිරිපහදුව දින 35 ක කාලයක් වසා තැබුණ අතර ඒ සඳහා ඉංජිනේරුවරුන් හා කාර්මික ශිල්පීන් 1200 කට වැඩි පිරිසක් සහභාගී විය.

● සපුගස්කන්ද පිරිපහදුව වැසීයෑම

මෙම පිරිපහදුව 2021 නොවැම්බර් 14 වැනිදා සිට කිහිපවිටක්ම වසා දැමීමට සිදුවිය. මේ වනවිටද මෙම පිරිපහදුව වසා දමා ඇත. මෙයට ප්‍රධාන හේතුව වූයේ අපේ රටේ ආනයනික බොරතෙල් ගෙන්වීම සීමා කිරීම හේතුවෙන් බොරතෙල් අපේ රට තුළ නැතිවී යෑමයි. එමෙන්ම විවිධ සමාගම් හරහා මෙරටට පිරිපහදු කළ ඉන්ධන ගෙන්වීමෙන් සිදුකරන ගසා කෑම් හා දූෂණය හා නාස්තිය හේතුවෙන් මෙම පිරිපහදුවේ අඛණ්ඩ පැවැත්මට බලපෑම් සිදු වූ බව පසුගියදා විවිධ පුවත් මගින් තොරතුරු අනාවරණය වන්නට විය. එමෙන්ම ආනයනය කරන ලද නිසි ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙම පිරිපහදු කටයුතු සඳහා යොදා ගැනීමේදී සිදු වූ යාන්ත්‍රික දෝෂ ගැනද පසුගියදා අසන්නට ලැබිණි.

● සපුගස්කන්දට වසර 53 යි…බොරතෙල් නැව මුහුදේ දින 53 ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට මේ වසර වන විට (2022) අවුරුදු 53 ක් සම්පූර්ණ වී ඇත. එමෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු සඳහා ආනයනය කොට ඇති බොර තෙල් ගොඩබෑමකින් තොරව කොළඹ පිටත වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති බොර තෙල් නෞකාවට (11 දිනට) දින 53 ක් සපිරෙන බව තෙල් සංස්ථා වෘත්තීය සමිති පෙන්වා දෙයි. මේ වන විටත් මෙම නෞකාව වෙනුවෙන් ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් හැත්තෑනවලක්‍ෂයකට අධික මුදලක් අමතර මුදල් වශයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට සිදුව ඇතැයි ද එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.

● පිරිපහදුවෙන් රටට ලැබුණු දේ

අපේ රටේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 30% ක් මෙම පිරිපහදුව මගින් සැපයුනි. එමෙන්ම දකුණු ආසියාවේ හොඳම ගුවන් යානා ඉන්ධන මෙම තෙල් පිරිපහදුවෙන් ලබාදුන් අතර ඒ මගින් අපේ රටට විදේශ විනිමය උපයාදීමට හැකිවිය. විදුලි නිෂ්පාදනයට හා වෙනත් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය දැවිතෙල් මෙමගින් ලැබිණි. එමෙන්ම අපේ රටේ භූමිතෙල් අවශ්‍යතාවයෙන් 100% ක්ම මේ සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබාදිය හැකි අතර එයින්ද නොනවතින පිරිපහදුවේ අතුරුඵලවලින් නයිලෝන් නිෂ්පාදනය, පොහොර නිෂ්පාදනය, ඉටිපන්දම් නිෂ්පාදනය පවා එකල සිදුවිය. මෙම තෙල් පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට බොරතෙල් මෙටි්‍රක් ටොන් 5,500 ක් අවශ්‍ය වුණත් අද අපේ රටේ පවතින ඩොලර් හිඟය නිසා මෙම පිරිපහදුව සඳහා බොරතෙල් මෙටි්‍රක් ටොන් 3,400 ක පමණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට පසුගිය කාලය තුළ සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ නිෂ්පාදනය වන ඉන්ධන හා ගෑස් වර්ග සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමයි. ඉන් දිනකට නිෂ්පාදනය වන්නේ ඩීසල් මෙටි්‍රක් ටොන් 800-820 ක්, පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 300-325 ක් හා භූමිතෙල් මෙටි්‍රක් ටොන් 600-620 ක් හා දැවිතෙල් මෙටි්‍රක් ටොන් 1,000 ක්, ගෑස් මෙටි්‍රක් ටොන් 35-40 ක් පමණය. අද වන විට මෙම පිරිපහදුව වසාදැමීම හේතුවෙන් දැවිතෙල් වෙනුවට ඉතා ඉහළ මිලක් ගෙවා ඩීසල් ආනයනය කිරීමට සිදුවී ඇත. පිරිපහදුව වසා දැමීමෙන් සිදුවන මාසික පාඩුව ඩොලර් මිලියන 30 කි. එමෙන්ම මෙම පිරිපහදුව දින 4 ක් ක්‍රියාත්මක කළහොත් එයින් ලැබෙන ලාභයෙන් ගෑස් නැවක් ගෙන්විය හැකි බවද පසුගිය කාලය තුළ අප කළ විමසීමේදී එහි ඉංජිනේරුවරයකු පැවැසීය.

● පිරිපහදුව ගැන බලශක්ති ඇමැතිවරයාගේ ප්‍රකාශය

මීට මසකට පමණ ඉහතදී පිරිපහදුව වසාදැමීම ගැන බලශක්ති ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවැසුවේ මෙවැන්නකි.

“අද දවසේ අපට තීන්දුවක් ගන්න සිදුවෙනවා සපුගස්කන්ද පිරිපහදුව නැවත වතාවක් වසා දමන්න. ඒ ඉතාමත් අවාසනාවන්ත විදිහට. විශේෂයෙන්ම බොරතෙල් නෞකා 2 ක් අපි පාවිච්චි කරලා සපුගස්කන්ද පිරිපහදුවේ පිරිපහදු කටයුතු පසුගිය මාස දෙකක කාලය තුළ අපි සිදුකරලා තිබෙනවා. ඒ වගේම තුන්වෙනි නෞකාවත් පසුගිය දින 10 තුළ අපේ මුහුදු සීමාවට ඇවිත් තිබෙනවා. නමුත් අපි භාවිත කරපු බොරතෙල් විශේෂ 2 ක් ගෙන්වීමට අවශ්‍ය විදේශ විනිමය නොමැතිකම නිසා අපිට තුන්වෙනි නෞකාව ගොඩබෑමේ කටයුත්ත කරගන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා අද අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා පිරිපහදුව වසා දමන්න. ”

ඔහු එසේ පිරිපහදුව නැවැත්වීම ගැන කියා සිටියත් මේ වන විට අපේ රටට අවශ්‍ය භූමිතෙල් වැනි ඉන්ධන අවශ්‍යතාවය සැපයීමට ආණ්ඩුවක් වශයෙන් අසමත් වී ඇත. එමෙන්ම ඉන්ධන මිලද ඉතා ඉහළය. අපේ රටේ වෙළෙඳපළ තුළ සියලුම භාණ්ඩ මිල ඉහල යෑමට මෙම මිල ඉහළ ගිය ඉන්ධන බලපා ඇත. එමෙන්ම පිරිපහදුව වසා දමා එහි අඩුව ආනයනික නිමි ඉන්ධනවලින් පිරිමසා ගත්තත් මෙම පිරිපහදුවෙන් ලබාගන්නා විදුලිය නිපදවීමට අවශ්‍ය දැවිතෙල් හා අනෙකුත් අතුරු නිෂ්පාදන ලැබෙන්නේ නැත.

● පිරිපහදුව නැවැත්වීමෙන් පිරිපහදුවටත් ගැටලු

පිරිපහදුව යනු හැටිහැටියේම නැවැත්විය හැකි දෙයක් නොවේ. සාමාන්‍යයෙන් පිරිපහදුවක් ක්‍රියාවිරහිත කරන්නේ එම යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා සඳහා පමණි. එසේ සිදුකරන්නේ ද ඊට කල්තියා දිනය නියම කිරීමෙන් පසුවය. අධික කාලයක් මෙම පිරිපහදුව නවතා තිබීමෙන් එහි ඇති යන්ත්‍ර සූත්‍ර විනාශවීම සිදුවන්නකි. එනම් ස්වභාවික පරිසරයේ වෙනස්වීම මත එම යන්ත්‍රසූත්‍රවල උත්ප්‍රේරක හා නළ මාර්ගවල විවිධ ඔක්සයිඩ් වර්ග තැන්පත් වීම නිසා විශාල වශයෙන් එම යන්ත්‍ර සූත්‍ර විනාශ වීමට පටන්ගන්නා බව මීට පෙර අප කළ සාකච්ඡාවකදී එහි සේවයේ නියුතු ඉංජිනේරු මහතකු අප හා පැවැසීය. මෙම පිරිපහදුව වසා දමා තිබියදීත් එහි සේවය කරන සේවකයින් සිදුකරන්නේද මෙම යන්ත්‍ර සූත්‍ර ආරක්‍ෂා කරගැනීමට හා එම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන ක්‍රියාවලියට සුදුසු තත්ත්වයේම තබාගැනීම සඳහා ක්‍රියාත්මක කරවීමයි.

බොරතෙල් නොමැතිව මාසයකට අධික කාලයක් සපුගස්කන්ද පිරිපහදුව වසා දමා තිබියදී පිරිපහදුව වෙනුවෙන් බොර තෙල් රැගෙන පැමිණි බොරතෙල් නැවට දැනට මාස එකහමාරක කාලයක සිට ප්‍රමාද ගාස්තු ගෙවමින් කල්අරින්නේ කිනම් කාරණයකට දැයි අප විමසා සිටින්නෙමු. මෙම පිරිපහදුව මෙසේ නවතා කල්ඇරීමෙන් සිදුවන්නේ රටේ ජාතික සම්පත් විනාශමුඛයට යෑමක් නොවේද? කෙසේ වෙතත් අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමෙන් ඵලක් නොමැති බව අපි අවධාරණය කර සිටින්නෙමු.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment