ඇල්පිටිය රෝහලට භාරදුන් මෘතශරීරය අතුරුදන්… කොවිඩ්වලින් මියගිය පුද්ගලයකුගේ සිරුරකට මාරුවෙලා!

137

වකුගඩු රෝගයෙන් පෙළී දිගු කාලීනව ප‍්‍රතිකාර ලබමින් සිටි ඌරගස්මන්හන්දිය ප‍්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ පුද්ගලයෙකු නිවසේදී මියයෑමෙන් අනතුරුව ඇල්පිටිය මූලික රෝහලට මෘතශරීරය භාරදී තිබියදී එම මෘතශරීරය රෝහලෙන් අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව අංශ කිහිපයක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙසේ අතුරුදන්ව ඇත්තේ ඌරගස්මන්හන්දිය ප‍්‍රදේශයේ පදිංචි කේ. බී. පේ‍්‍රමතිලක (77) නමැත්තාගේ මෘතදේහයයි.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබී ඇත්තේ ඉකුත් 13 දින කොවිඞ් රෝගයට ගොදුරුව මියගිය පුද්ගලයකුගේ සිරුරකට මාරු වී අදාළ පුද්ගලයාගේ මෘතශරීරය කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවට අයත් උතුරු මාගල ආදහනාගාරයේදී ආදාහනය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ ඇල්පිටිය මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනක මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය. කොවිඞ් ආසාදිතව මියගිය දෙදෙනකුගේ සහ වෙනත් හේතුන් මත මියගිය දෙදෙනකුගේ මෘතශරීර 04ක් ඉකුත් 13 දින රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබී තිබෙනවා. මෙම මෘත ශරීර 4ම ඌරගස්මන්හන්දිය ප‍්‍රදේශයේ පදිංචි අය වන අතර, එම මෘතශරීර මරණ පරීක්ෂණ සිදු කර ඥාතීන්ට භාර දීමෙන් අනතුරුව මල් ශාලාවෙන් පැමිණ රැගෙන යන අවස්ථාවේ භාරකරුවන් පැමිණ මෘතශරීර භාර ගැනීමේදී සහ රෝහලේ මෘතශරීර භාරදීම සිදු කරන කාර්ය මණ්ඩලයේ අයගේ අතපසු වීමකින් මෙම මෘතශරීරය අතුරුදන්ව ඇති බවට මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් මේ වනවිටත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හරින් හල්විට මහතාගෙන් කළ විමසුමකදි ඒ මහතා මෙසේ පැවසීය. මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ කොවිඞ් රෝගය ආසාදිතව මියගිය පියසේන නමැත්තෙකුගේ මෘතශරීරය ඔහුගේ පුතා විසින් මාරු වී පේ‍්‍රමතිලක නමැත්තාගේ සිරුර ගෙන ගොස් ආදාහනය කර ඇති බවත්, පසුව පේ‍්‍රමතිලක මහතාගේ මෘතශරීරය භාර ගැනීමට පැමිණි ඔහුගේ දියණිය විසින් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති සිරුර තම පියාගේ නොවන බවට පැවසීමත් සමග නැවත පියසේන යන අයගේ පුතා කැඳවා සිරුර පෙන්වාදී එම සිරුර තම පියාගේ බවට නිවැරදිව හඳුනාගෙන සිරුර භාරගෙන ආදාහනය කර ඇති බවත් පැවසීය.

ඇල්පිටිය – විදාන ආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment