“මහාමාරිය” ලියූ ඇල්බෙයා කැමූ දුර දකින්නෙකි.

ඇල්බෙයා කැමූගේ මේ මහා නිර්මාණය සමකාලීන ලෝකයේ අඳෝනාවන්ගේ දෝංකාරයකි. එහි ඔහු සාමූහිකත්වයේත්, නපුරට එරෙහි සටනේත් වැදගත්කම සාකච්ඡා කරයි. ලෝකය වර්තමානයේ අත්දකිමින් සිටින දෑ, මෙය නැවත නැවතත් කියවීමට අපිට දිරිදෙයි.

“මම හිතන්නේ තාත්තා ලියන්නේ මිනිහෙකුගේ උපරිම තැන ඉඳලා, ඒකයි එයා කාලය තුළ ගමන් කරන්නේ. එයා ලියුවේ මිනිස්සුන්ට. එයා අපිට ලොකු ශක්තියක් දෙනවා. තාත්තා…එයා හැමවෙලේම ජීවත් වෙන්න උදව් කරනවා.”

සිය පියාගේ නවකතාවට ලැබුණු ගෞරවය හමුවේ කැතරින් කැමූ කියයි.

1947 දී “මහාමාරිය” පළ කිරීම ඒකායන සාර්ථකත්වයක් විය. විශේෂයෙන් ඒ තමා අතින් එය මුළුමනින්ම ගිලිහුනු බැව් රචකයා සිතූ නිසයි. එය විචාරක සම්මානය දිනා ගත් අතර 1992 වසරේදී සිනමාපටයකටද නැඟිණි.

මහාමාරිය, අදෘශ්‍යමාන නපුර

මහාමාරියෙන් කතා කරනුයේ විඳවීම, තනිකම සහ විරෝධය යන තේමාවන්ය. නමුත් සියලු ජන කාණ්ඩයන්ට බලපාන අදෘශ්‍යමාන නපුරක් පිළිබඳවත් කැමූ එහි සඳහන් කරයි. ප්‍රධාන ලෙසම, නවකතාව තවත් පීඩනයක සංකේතයක් බවට පත්වෙයි: ක්‍රමයෙන් නගරය නතු කරගන්නා නොසැලකිලිමත්බවේ හැඟීම. (දොස්තර රියූට වේදනාත්මකව හැඟෙන ලෙස.)

ඇල්බෙයා කැමූ, කැරැල්ල සහ මානව වාදය

“අපේ නගරවාසීන් ක්‍රමයට හුරුවිය. මිනිසුන් කියනා හැටියට ඔවුහු “තත්ත්වයට අනුව” හැඩ ගැහුනහ. කළ හැකි අන් යමක් නොවුණි. ස්වභාවිකවම ඔවුහු වේදනාවේත්, ශෝකයේත් ආකල්ප තවදුරටත් තබා ගත් නමුත් ඒවායේ කටුක රිදුම පිළිබඳ හැඟීම නවත්වා දැමූහ. ඇත්තටම රියූ ඇතුළු බොහෝ දෙනෙකුට වඩාත්ම හද අධෛර්යට පත් කළ දේ වූයේ මෙයයි. බලාපොරොත්තු සුන්වීමේ පුරුද්ද බලාපොරොත්තු සුන්වීමට වඩා නරකය. මෙතෙක් කල් වියෝ වූවන් ඉඳුරා අසතුටෙන් සිටියා නොවෙයි. ඔවුන්ගේ තැවුල තුළ හැමවිටම බලාපොරොත්තුවේ

රැස් දහරාවක් විය. නමුත් දැන් ඒ ආලෝක පොද ද නිවී ගොසිනි. ඔබට ඔවුන් වීදි කොනක හෝ කෝපි හල්වල, නැතහොත් මිතුරන්ගේ නිවෙස් වලදී දැකගත හැකියි. ඔවුන් කෙතරම් එපා වීමකින්, නොසැලකිල්ලකින් සහ අවසිහියකින් සිටියාද කියතොත් ඔවුන් නිසා මුළු නගරයම දිස් වුණේ දුම්රිය පොළක අමුත්තන් රැඳෙන කුටියක් ගානටය… වෙනත් වචනවලින් කියන්නේ නම් ඔවුන් තමන් වෙනුවෙන් තෝරා ගැනීම් කිරීම නවතා තිබුණි. වසංගතය විසින් අපගේ වෙනස්කම් මට්ටම් කළේය. කිසිවෙක්වත් තමන් මිලදී ගත් ආහාරවල හෝ ඇඳුම් පැළඳුම්වල තත්ත්වය පිළිබඳ බිඳුවකුදු වධ නොවීමෙන් එය පෙනෙන්නට විය. හැමදේම ආ හැටියට භාර ගැනුණි.”

මෙය ඇල්බෙයා කැමූට පණ දෙන මානෂිකත්වය ගැන හැඟීමක් අපිට හමුවන, ආදරය පිළිබඳව ද කතාවකි.

ඔහුගේ ඉතිහාසය

ඇල්බෙයා කැමූ ඇල්ජියර්හි හැදී වැඩුණි. ඔහු ස්පාඤ්ඤ සම්භවයක් ඇති සේවිකාවක් වූ කැතරින් සින්තේස්ගේත්, මාර්නේ සටනේදී මියගිය කෘෂිකාර්මික කම්කරුවකු වූ ලූසියන් කැමූගේත් පුතා විය.

ඉතා කුඩා කාලයේම කැමූ ලිවීම කෙරෙහි ලැදියාවක් පෙන්වීය. ඔහුගේ ගුරුතුමා වූ ලුවී ජ‘මා ඔහු දිරිමත් කළ අතර ඔහුට ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට ඉඩ සලසා දුන්නේය. ඉන්පසු ඔහු දාර්ශනික පාඨමාලා උගත් අතර ඔහුට නීෂේ හඳුන්වා දුන් ශෝන් ග්‍රනියද හමු විය. නමුත් ක්ෂය රෝගය නිසා ඔහුගේ අධ්‍යාපනය අවසන් විය.

1935 දී කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වීමේදී ඔහු “ලේබර් තියෙටර් ටෲප්” ආරම්භ කළේය. අවවරප්‍රාසාදිත මහජනයාට සම්භාව්‍ය සහ සමකාලීන නිර්මාණ විඳීමට ඉඩ සැලසීමට ඔහුට අවැසි විය.

කැමූ පත්‍රකලාවේදියකු ද වෙයි. විරෝධයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ඔහු 1947 වනතුරු “කොම්බැට්“ පුවත්පතේ සංස්කාරකවරයාද විය. ඒ අතරම ඔහු සිය සාහිත්‍යමය කාර්යන්ගේද නියැළුණේය. ඒ අතර විශේෂයෙන් “ල මලතොන්දු” සහ “කලිගියුලා” යන නාට්‍ය නිර්මාණ දෙකකි.

ඇල්බෙයා කැමූගේ පළමුවැනි නිර්මාණය

1937 දී ඔහු සිය පළමු කෘතිය “ල‘ඔන්වැ එ ල‘ඔන්දුවා’ (L’enverse et L’endroit- Betwixt and Between) පළ කළේය. එහි පෙරවදනේ ඔහු මෙසේ ලියයි;

“මිනිසකුගේ කාර්ය වන්නේ මේ දිගු ගමන තුළ, කලාවේ වට වංගු හරහා, හදවත පළමු වරට විවර කරන සරල සහ විසල් ප්‍රතිරූප දෙක තුනක් සොයාගැනීමයි.”

ඔහු සිය මවගේ ජීවිතය, ඔහුගේ පැටිවිය, ආලෝකයේ විශ්වය මෙන්ම දිළිඳුකම වෙත ද ආපසු යයි:

“ස්වාභාවික නොසැලකිල්ලක් නිවැරදි කරනු වස් මා දිළිඳුකමත්, හිරුත් මැද්දේ තැනක තබනු ලැබිණි. හිරුගේ සෙවණේත්, ඉතිහාසය තුළත්, සියල්ල හොඳින් සිද්ධවුණු බව සිතීමෙන් දිළිඳුබව මා වැළකූ අතර, ඉතිහාසය යනු සියල්ල නොවන වග හිරු මට කියා දුන්නේය.”

රචනා පහකින් සමන්විත මේ කෘතිය තුළ, කැමූගේ නිර්මාණවල එන ප්‍රධානම තේමාවන් සියල්ල අපට හමුවෙයි: ජීවිතය සහ මරණය, දිළිඳුබව සහ හිරු, තනිකම…

ඔහුගේ ජීවිතය අවසාන භාගයේදී, ඔහු පසුව ලියූ සියල්ල පෝෂණය කළ පදනම මේ කෘතියේ ඇති බව කැමූ දුටුවේය.

“මා ගැන කියන්නේ නම්, මගේ ප්‍රභවය “ල‘ඔන්වැ එ ල‘ඔන්දුවා” (L’enverse et L’endroit- Betwixt and Between) තුළ වන බව මම දනිමි. එනම්, මම බොහෝ කලක් ජීවත් වූ දිළිඳුබවේත්, ආලෝකයේත් ලොව තුළ. ඔනෑම කලාකරුවකුට තර්ජනයක් වන ප්‍රතිවිරෝධයත්, තෘප්තියත් යන එකිනෙකට විරුද්ධ අනතුරු වලින් තවමත් මා සුරකින මතකය අයිති ලොව තුළ.”

කැමූගේ දර්ශනය: විකාර රූපීත්වය සහ කැරැල්ල අතර

ඇල්බෙයා කැමූ, කැරැල්ල සහ මානව වාදය

“මේ ලෝකය සාධාරණ නොවෙයි. කිව හැක්කේ එපමණකි. නමුත් විකාරරූපීත්වය වන්නේ මේ අතාර්කිකත්වයේත්, මිනිස් සන්තානය පතුලේ දෝංකාර දෙන, පැහැදිලිතාවය සඳහා වන දරුණු ආශාවේත් ගැටීමයි.”

මේ විකාරරූපීත්වය, නැතිනම් කර ඇති සියල්ල නැවත නොකර ඇති තත්ත්වයට පත්වන ලෝකයක් තුළ පැවතීමේ නිෂ්ඵලතාවය පිළිබඳ හැඟීම,’ සදාතනිකව නැවත නැවත සිදුවෙයි.

විකාරරූපීත්වයේ පරිපූර්ණ ප්‍රතිමූර්තිය සිසිෆස්ය. ඔහු සදාකාලිකවම කඳු මුදුන වෙත ගල පෙරළාගෙන යයි. ඒත් සිදුවන්නේ නැවත එය පහළට පෙරළී ඒම පමණි. “නිෂ්ඵල, නිරපේක්ෂක කාර්යට වඩා දරුණු දඬුවමක් නැත.” මේ දඬුවම දුන් දෙවියන් නිවැරදි ලෙස සිතූහ.

එවිට පැනයක් පැන නඟී: විකාරරූපීත්වය හමුවේ ජීවත් වීමේ ඵලක් තිබේද, නැතිද?”

“ඉවසීමේත්, සුභෝදත්වයේත් සියලු ගුරුකුල අතරින් වඩාත්ම එලදායි වන්නේ නිර්මාණයයි. එමෙන්ම, එය මිනිසා සතු එකම අභිමානය ගැන වන ක්‍රියාකාරී සාක්ෂියයි. එනම්, සිය තත්ත්වයට එරෙහි තදබල කැරැල්ලයි. නිස්සාර යැයි සැලකූ ප්‍රයත්නයක් තුළ ඇති දෘඩ උත්සාහයයි. නිර්මාණය කරනවා යනු කෙනෙකුගේ ඉරණමට හැඩයක් දීමයි.”

නිර්මාණය යනු කාලය අමතක කිරීමයි. විකාරරූපීත්වය ජය ගැනීමයි.

“සීක්ල දෙ ල‘ඇබ්සියුද්” සිව් ඈඳුනු කතාවල පළමුවැන්න වූ “ල‘එතානජ” (L’etranger -The Outsider) හි මර්සෝ සියල්ලෙන්ගෙන් වෙන් වූවෙකි. ඔහු “බලාපොරොත්තු සුන්වීමේ” චරිතයක් නොවේ. ඔහු “බලාපොරොත්තුවක් නැති වීමේ” චරිතයකි.

“මා වටා ඇති මල් සහ හිසට ඉහළින් ඇති අහස දෙස බලා ඉන්නවා ඇරෙන්නට වෙන කිසිත් රාජකාරියක් නොමැතිව, වියැළි තුරු කඳක් මතට වී ජීවත් වන්නට මට සිදුවුණි නම්, මම ටිකෙන් ටික එයට හුරු වේවි යැයි මම බොහෝවිට සිතුවෙමි. මම කුරුල්ලන් පියඹා යනතුරු, නැතිනම් වළාකුළු නෙත ගැටෙන තුරු බලා හිඳිනු ඇති…”

බලාපොරොත්තුවකින් තොරව ඔහු ලෝකයේ නොසැලකිලිමත්බාවය වටහා ගත්තේය.

ඇල්බෙයා කැමූ, කැරලිකාර මිනිසෙක් පැවැත්මේ විකාරරූපීත්වය හමුවේ මිනිසා කැරලි ගසයි. එය මිනිස් සංහතියේ තත්ත්වය දියුණු කිරීමට අපේක්ෂා කරන මිනිසුන්ගේ අත්‍යාවශ්‍යතාවයකි. කැමූට, විකාරරූපීත්වයට විරුද්ධ වීමට හැකි සහ නිදහසත්, යුක්තියත් සුරැකීමට හැකි එකම මැදිහත් වීමේ සාරධර්මය කැරලි ගැසීම පමණක් විය.

රෙනේ ශා

විරෝධයේ සටන්කරුවකු වූ රෙනේ ශා “පිටස්තරයා” කෘතිය තුළින් ඇල්බෙයා කැමූ හඳුනා ගනියි. එය අසමසම මිත්‍රත්වයක් විය. “ගැඹුරු සහෝදරත්වයක්,” කැමූ එසේ කීවේය.

“අපි බලාපොරොත්තු වනවාට සහ අත්දකිනවාට වඩා දුරකට අපේ සහෝදරත්වය දිවෙන බව මම සිතමි. අපි සූරා කන්නන්ගේ, සියලු කාලයන්ගේ කදිම කතා කතාකරුවන්ගේ නිරර්ථක ක්‍රියා තව තවත් වළකමු. එය වැඩියෙන් හොඳය. අපේ නව සටන් ඇරැඹෙන අතර පැවැත්ම සඳහා වූ අපේ හේතුද ඇරඹෙයි. අඩුම වශයෙන් මට ඒ ගැන ඒත්තු ගොස් ඇත. මම එය අනුමාන කරමි. මට එය හැඟෙයි.”- රෙනේ ශා, 1951 නොවැම්බර් 3.

වසර කිහිපයකට පසු ඔවුන් දෙදෙනා මුණ ගැසුණු අතර ඔවුන් අතර ලිපි හුවමාරුවක් ඇරැඹිණි. එය කැමූගේ මරණය දක්වාම පැවතිණි.

ලේඛකයන් දෙදෙනා අතර, මිනිස් සංහතිය ගැන වූ එකම ජීව ගුණයෙන් පෝෂණය වූ, කොන්දේසි විරහිත, අව්‍යාජ මිත්‍රත්වයක් ඇති විය.

1957 සැප්තැම්බර් මාසයේදී නෝමැන්ඩිවල සිය නිවාඩුව ගත කරන අතර, තමා ලෝමරින් වෙත නැවත පැමිණෙන බවත්, නැවත තම මිතුරා දැකීමේ සතුටත් දැනුම් දෙනු වස් කැමූ රෙනේ ශාට ලිපියක් ලීවේය.

“මම වයසට යද්දී තේරෙනවා, අපිට ජීවත් වෙන්න පුළුවන්, අපි නිදහස් කරන, දරාගන්න සැහැල්ලු වෙන තරමටම, තදබල විදිහට හැඟෙන සෙනෙහසකින් අපිට ආදරේ කරන මිනිස්සු එක්ක විතරයි කියලා. අපි ආදරේ කරන අය වෙතින් අපිට එන අලුත් වහල්කම්වල නියැලෙන්න බැරි තරම්’ අද දවසේ ජීවිතේ ඕනෑවටත් වඩා අසීරුයි, කටුකයි, දුබලයි. අවසානෙදි අපි වචනාර්ථයෙන්ම දුක්වෙලා මැරිලා යනවා. අපි ජීවත් වෙන්න ඕනේ. අපි වචන හොයාගන්න ඕනේ, ගම්‍යතාවය, සතුට… සතුට හොයාගත්ත ඒ ආවර්ජනය හොයාගන්න ඕනේ. මම ඔයාගේ මිතුරා වෙන්නේ එහෙමයි. මම ඔයාගේ සතුටට ආදරෙයි. මම ඔයාගේ නිදහසට ආදරෙයි. එක වචනයකින් කිව්වොත්, මම ඔයාගේ වික්‍රමයට ආදරෙයි. ඉතින් මම කැමැතියි ඔයාට ඔනෑම වෙලාවක විශ්වාසේ තියන්න පුළුවන් සගයා වෙන්න. හැමවෙලේම. මම සතියකින් ආපහු එනවා. මගේ හදවත පතුලෙන්ම මම ආයෙමත් ඔයාව දකින්න බලාගෙන ඉන්නවා.”

1951 දී “ල‘ඔම් රෙවොල්තේ” (Lzhomme revolte – The Rebel) පළ කිරීමත් සමග ඇති වූ කැළඹීම අතර රෙනේ ශා මුළුමනින්ම ඔහුට සහයෝගය දුන්නේය. ඔවුන් දෙදෙනා එකිනෙකා හා බැඳ තැබූ මිත්‍රත්වයෙන් පණ ගැන්වුණු සුවිශේෂී වියමනක් ලියන්නට ශා 1957 ඔක්තෝබර් මාසය වනතුරු සිටියේය.

“මා කැමූ සමඟ සම්බන්ධ වී සිටි වසර දහයකට වැඩි කාලය තුළ ඔහු පිළිබඳ සිතද්දී නීෂේගේ විශිෂ්ට වැකිය නැවත නැවතත් මගේ මතකයට පැමිණෙයි. “හැමවිටම මම, මගේ ලිවීම තුළ මගේ මුළු ජීවිතයත්, මම යන මුළු පුද්ගලයාත් ලියා ඇත. පිවිතුරු බුද්ධිමය ගැටලු වන්නේ මොනවාදැයි මා නොදනිමි.” ඇල්බෙයා කැමූගේ ශක්තියේ හේතුව මෙයයි. එමෙන්ම, ඔහුගේ දුර්වලතාවය නොකඩවා ඔහුට පහර දුන්නේය. අමරණීයත්වයේ බීජය රැඳී ඇත්තේ, අනෙකාගෙන් තොරවීම සහ දුරස්ථභාවය එකිනෙකාට අවැසි වූ විට, එකිනෙකාගේ මුළා වූ මුර කිරීම්වලින් වැළකුණු මිත්‍රත්වය තුළ පමණි. නපුරු මන්ත්‍ර වලින් තොරව මිනිස් සබඳතාවල පැහැදිලි කළ නොහැකි දෑ පිළිගන්නේ එයයි. ඔවුන්ගේ තාවකාලික අපහසුතාවයන්ට ගරු කරන්නේ එයයි. අත්දැකීම් ඇති හදවත්හි ස්ථීරත්වය තුළ, මිත්‍රත්වය ඔත්තු බලන්නේවත්, විමසන්නේවත් නැත.”

නොබෙල් ත්‍යාගය

1957 ඔක්තෝම්බර් 17 වැනිදා ඔහුට නොබෙල් ත්‍යාගය පිරිනැමිණි.

මේ සම්මානය හමුවේ යම්කිසි ආකාරයක භීතියක් කැමූ වෙළා ගනී. ස්වෙඩිශ් ඇකඩමියේ කළ සිය කථාව තුළ ඔහු ඒ ගැන සඳහන් කරයි.

“තමාගේම සැක සංකා බොහෝමයකින් පිරුණු, තවමත් ලේඛනයේ ඉදිරියට යමින් සිටින, තමන්ගේ නිර්මාණ සමඟ හුදකලාවේ හෝ, මිත්‍රත්වයේ සෙවණ තුළ ජීවත් වන්නට පුරුදු වූ තරුණ මිනිසෙකු, හදිසියේම ඔහු තනිවම නිරුවත් ආලෝකයක් මැද්දට ගෙන ආ විරාමය, භීතියකින් යුතුව වටහා නොගෙන සිටියේ කෙසේද?

මේ සම්මානය දිනාගත් ලාබාලතමයා ලෙස ඔහු රඩ්යාඩ් කිප්ලින්ග් හා සමව සිටී.

ඇල්බෙයා කැමූ, කැරැල්ල සහ මානව වාදය

ඔහුගේ කතාවේ දී ඔහු සිය ගැටලු බෙදා ගනියි:

“…යුරෝපය තුළ විශිෂ්ටතමයන් අතර සිටින අනෙකුත් ලේඛකයන් නිහඬ කොට තිබියදී මේ ගෞරවය භාර ගන්නේ මොන සිතකින්ද?…”

“පුද්ගලිකව මට මගේ කලාවෙන් තොරව ජීවත් විය නොහැකියි. නමුත් මම කිසි දිනෙක මේ කලාව අන් සියලුම දේට ඉහළින් තැබුවේ නැත. ඊට පටහැනි ලෙස, එය මට අත්‍යවශ්‍ය වී නම්, ඒ, එය මා කිසිවෙකුගෙන් වෙන් නොකොට, අන් සියලු දෙනාගේම මට්ටමින්, මා ලෙසම ජීවත්වීමට මට ඉඩ සලසා දෙන නිසාය. මට කලාව යනු හුදෙකලා වින්දනයක් නොවෙයි. එය පොදු වේදනාවේ සහ ප්‍රීතියේ නිවහල් ප්‍රතිරූපයක් පිරිනැමීම තුළින්, සුවිසල් මිනිස් සමූහයක් අවදි කිරීමේ මාර්ගයකි.”

ඔහුගේ කතාවේ දී ඔහු ලේඛකයාගේ හුදකලාවත්, වෘත්තියේ උදාරත්වයත් අවදි කරයි. ලේඛකයාගේ කැපවීම පිළිබඳව ඔහු උදක්ම කියා සිටී. “ඔහුට, ඉතිහාසය නිර්මාණ කරන ඈයින්ට සේවය කළ නොහැකියි. නමුත් ඔහුට, එය නිසා වේදනා විඳින්නවුන්ට සේවය කළ හැකියි.”

“අපගේ පුද්ගලික දුබලතාවයන් කුමනාකාරයේ ඒවා වුවත්, අපගේ ශිල්පයේ උදාරත්වය, නඩත්තු කිරීමට අසීරු කැපවීම් දෙකක් තුළ මුල් බැස බැසගෙන ඇත. අපි දන්නා දේ ගැන බොරු කීම ප්‍රතික්ෂේප කිරීමත්, පීඩනයට එරෙහි විරෝධයත්ය ඒ.”

නමුත් ඇල්බෙයා කැමූට මේ ඉස්මතු කිරිම හිරිහැරයක් විය. එය ඔහුගේ විවේචකයන්ගේ එදිරිය ඇවුළුවේය. ඉන් කෙනෙකු වූ පැස්කල් පියා ඔහුගේ පැරණි සගයකු විය. ලේඛකයා විචාරකයින් නිසා හිත් රිදවීමට පත්විය.

ඇල්බෙයා කැමූ සහ මාරියා කසාරේස්

ඇල්බෙයා කැමූ සහ මාරියා කසාරේස් අතර අතර ප්‍රේමණීය ගනුදෙනුව 1948 දී ඇරැඹුණු අතර එය ලේඛකයාගේ මරණය තෙක්ම පැවැතිණි. එය, බුද්ධිමය සහයෝගයක් කාවැදුණු, අනුරාගී ප්‍රේමයකින් පණ ගැන්වුණු වසර දොළහක හුවමාරුවක් විය.

“අපි මුණ ගැහුණා, අපි එකිනෙකා හඳුනා ගත්තා, අපි එකිනෙකාට යටත් වුණා. අපි පිවිතුරු පළිඟු වැනි දැවෙන ප්‍රේමයක් හිමි කර ගත්තා. ඔයාට අපේ සතුට තේරෙනවද? අපිට ලැබිල තියෙන දේ තේරෙනවාද?” (මාරියා කසාරේස් 1950, ජූනි 4)

“සියලු අභිමානයන්ගෙන් තොර වූ ප්‍රේමයක් තුළ ඉදිරියට පිය මැනීම අත්‍යාවශ්‍ය වූ, අනෙකුන් කෙරේ වූ ගෞරවයෙන් පදම් වූ නිදහස් ජීවිතයක් ඉල්ලා සිටින වෙහෙසකාරී ආතතිය තුළ, මේ මිනිසුන් දෙදෙනා මෙපමණ වසර ගණනාවක් එකට උන්නේ කෙසේද? කිසිවිටෙක අනෙකා හැර නොයා, කිසිවිටෙක අනෙකා සැක නොකර, පැහැදිලි බව කෙරෙහි වූ එකම අවශ්‍යතාවය ඇතිව, ඔවුන් දෙදෙනා එපමණ කලක් එලෙස සිටියේ කෙසේද? පිළිතුර ඇත්තේ මේ ලිපි හුවමාරුව තුළයි. ඔවුන් දෙදෙනාට ස්තුතිවන්ත වෙන්නට, ඔවුන්ගේ ලිපි මේ මිහිතලය වඩා විසල් කරයි, අවකාශය වඩා ආලෝකමත් කරයි, වායුව වඩා සැහැල්ලු කරයි. මන්ද ඔවුන් ජීවත්ව සිටි නිසාය.”

කැතරින් කැමූ සිය පෙරවදනේ ලියයි

බොහෝවිට පෙම්වතුන් දෙදෙනා මරණය ගැන වූ සිය භීතිය පිළිබඳව ලියයි. 1949 සැප්තැම්බර් 15 වැනිදා මාරියා කසාරේස්, අතිශය මනරම් වැකියකින් මේ බිය පිළිබඳව කියයි.

“දැන් මම ඔයාගෙන් වෙන් කරන, පෙළක් වෙලාවට මාව පිස්සු වට්ටන එකම දේ තමයි දවසක මරණය නිසා අපිට එකිනෙකා නැතිව ජීවත් වෙන්න සිද්ද වෙයි කියන කාරණේ. ඔයා තවත් මෙහෙ නෑ, ඔයා ආයෙමත් කවදාවත් මෙහෙ එන්නේ නෑ කියන අදහස ඇතිව එක උදෑසනක අවදි වෙන්න තරම් තියුණු විදිහට ඒ සිතුවිල්ල මාව පෙළද්දි, මගේ හැම ඉන්ද්‍රියක්ම ව්‍යාකූල වෙලා මුළුමනින්ම අවුල් ජාලාවක පැටලෙනවා. මට වමනේ දාන්න තදබල උවමනාවක් ඇති වෙනවා. මගෙ වටේටම උමතුබවේ හඬවල් ඇහෙන්න ගන්නවා.”

කැමූගේ මරණය

1960 ජනවාරි 4 වැනිදා ඇල්බෙයා කැමූ ඔහුගේ මිතුරා වූ මිශෙල් ගැලිමාගේ ෆැසල් වේගා මෝටර් රථය තුළදී මරණයට පත්විය.

“අප අතර සිටින විශිෂ්ටතමයා තවදුරටත් දකින්නට නැතිය යන අදහසට අසරණ අපි හුරු විය යුතු වෙමු.”

මෝරිස් ක්ලැවෙල්, “කොම්බැට්” පුවත්පතට ලියයි.

සාහිත්‍ය ලෝකය තුළ ඇල්බෙයා කැමූ ස්මාරකයක් බවට පත් වී ඇත. ඔහු, වැඩියෙන්ම කියවීමට ලක්වන ප්‍රංශ ජාතිකයකුගෙන් කෙනෙක් වන අතර, අද වනතුරු ඔහුගේ කෘතීන්වල කිසිදු ලුහුඬක් නොවේ.

“ඒත් ඇත්තටම, ඇල්බෙයා කැමූ මියගොසින් යැයි කීවේ කවුද?”

(The last days of the life of Albert Camus by José Lenzini.
By Nic Blanchard-Thibault)

● මහේෂි බී වීරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment