ඇල්ලවල ඇල්ලේ  ගිලී තිදෙනෙක් මියයති – මාතර සිට නුවරඑළියේ විනෝද චාරකාවක් ගිහින්:

191

මාතර ප‍්‍රදේශයේ සිට නුවරඑළියට විනෝද චාරිකාවක නිරතවෙමින් සිටි හයදෙනකුගෙන් යුත් කණ්ඩායමක් වැල්ලවාය ඇල්ලවල ඇල්ලේ දියනාමින් සිටිය දී පෙරේදා (05 දා) දියේ ගිලීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

ඇල්ලවල ඇල්ලේ  ගිලී තිදෙනෙක් මියයති - මාතර සිට නුවරඑළියේ විනෝද චාරකාවක් ගිහින්:



මෙලෙස මියගොස් ඇත්තේ මාතර පරමුල්ල පදිංචි දික්වැල්ල විදානගේ ලෙස්ලි කුමාර (53), වෝල්ටර් නානායක්කාර (65), හේවාගලමුල්ලගේ චන්ද්‍රසිරි (68) නමැති තිදෙනාය.

මෙම තිදෙනා ද ඇතුළුව හයදෙනකුගෙන් යුත් කණ්ඩායමක් නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරයක නිරතවීමට පෙරේදා (05 දා) උදේ මාතරින් පිටත්වී ඇති අතර අතරමගදී ගත් තීරණයක් අනුව ඇල්ලවල ඇල්ලට දියනෑමට ගොස් ඇත.

ඔවුන් ඇල්ලවල ඇල්ලට බැස දිය නාමින් සිටියදී තිදෙනකු දියේ ගිලී ඇති අතර දෙදෙනකුගේ මළ සිරුරු ප‍්‍රදේශවාසීන් විසින් ඊට සුළු වේලාවකට පසුව ගොඩ ගෙන තිබේ. අනිත් පුද්ගලයාගේ මළසිරුර එදින සවස පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව කිමිදුම්කරුවන් විසින් ගොඩට ගෙන ඇත.

මේ වන විට මියගිය තිදෙනාගේ මළසිරුරු වැල්ලවාය මූලික රෝහලේ මෘත  ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මරණ පරීක්ෂණය වැල්ලවාය හදිසි මරණ පරීක්ෂක එච්. එම්. හේරත් මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම ඇල්ලවල ඇල්ලේ දී මීට මාස තුනකට පමණ ඉහත දී එකම පවුලේ තිදෙනකු දියේ ගිලී මියගිය අතර ඊට පෙර අවස්ථා කිහිපයකදී ද කිහිපදෙනකු දියේ ගිලී මියගිය බව වැල්ලවාය පොලිසිය පවසයි. එම ස්ථානයේ දියනෑම අනාරක්ෂිත බවට පුවරුවක් සවිකර ඇතත් එය නොපිළිපදිමින් ඇල්ලවල ඇල්ලට බැසීම නිසා දිගින් දිගටම අනතුරු සිදුවන බව පොලිසිය පවසයි.

සිද්ධිය පිළිබඳව වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment