ඇල්ලවල ඇල්ලේ සැඟවුණු එකම පවුලක කඳුළු කතාව

1567

දුවයි, පුතයි බේරගන්න මස්සිනත් ඇල්ලට පැන්නා… මොහොමඞ් නසීම්

‘‘අපි කොළඹ ගොස් නුවරඑළිය හරහා නිවසට යෑමට යන විට මියගිය මගේ මස්සිනා වන නියාස් අයියා කීවා ඇල්ලවල ඇල්ලට ගිහින් නාල යමු කියලා.

ඒ අනුව අපි කට්ටිය ඇල්ලවල ඇල්ල අසලට ගියා. මමයි, අක්කයි, පොඩි දරුවන් දෙදෙනයි ඇල්ල අසල සිටියදී මියගිය ෆාතිමා දියණියයි, සමීම් පුතයි නාන්න ඇල්ලට බැස්සා. එවිට ෆාතිමා දුව දියේ ගිලූණා. නංගිව බේරගන්න සමීම් පුතා දියට පැන්නා. දෙන්නම ගිලූණා. ඒ දෙන්නව බේරගන්න නියාස් අයියත් දියට පැන්නා’’ යැයි, වැල්ලවාය, ඇල්ලවල ඇල්ලේ ගිලී මියගිය එකම පවුලේ පියා පුතා සහ දියණිය මියයෑමේ සිද්ධිය පිළිබඳ විස්තර කළ පවුලේ ඥාතියකු වන මොහොමඞ් නසීම් (21) මහතා පැවැසීය.

කාත්තන්කුඩි (II) බදුරියා පාර, අංක 3/42 පදිංචි මොහොමඞ් කාසිම් මොහොම්මදු නියාස් (38), මොහොම්මදු නියාස් මොහොමඞ් සමීම් (15), මොහොම්මදු නියාස් ෆාතිමා සමීම් (11) යන තිදෙනා දියේ ගිලී මෙසේ මිය ගොස් තිබිණි.

සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් කරුණු විස්තර කළ මොහොමඞ් නසීම් මහතා, මගේ අක්කා වන ෆාතිමා රිස්නා විවාහ වී සිටින්නේ මොහොමඞ් නියාස් යන අය සමඟයි.

මගේ මස්සිනා ව්‍යාපාර කටයුතුවල නිරතව සිටිනවා. ඔහුට පුතකු සහ දියණියන් තිදෙනකු සිටිනවා.

මියගිය මොහොමඞ් සමීම් කාත්තන්කුඩි හිලූරියා මුස්ලිම් විද්‍යාලයේ නවවන වසරේත්, මියගිය ෆාතිමා සමීම් එම පාසලේම හයවන වසරේත් ඉගෙනුම ලබනවා.

අක්කාගේ අවුරුදු හයක් වයසැති දියණිය වන ෆාතිමා සීමාට හදවත් රෝගයක් තිබුණා. ඇය වෛද්‍යවරයකුට පෙන්වීම සඳහා අපි කට්ටිය කොළඹ පුද්ගලික රෝහලකට ගිහින් දරුව පෙන්නුවා. පසුව අපි නුවරඑළියට ගොස් එහි සිට කාත්තන්කුඩි ගමට යෑමට පිටත් වුණා.

මගදී අපිත් එක්ක ගිය අක්කගෙ මහත්තයා (මස්සිනා) කිව්වා අපි වැල්ලවාය, ඇල්ලවල ඇල්ලට ගිහින් නාල ගෙදර යමු කියලා. ඒ අනුව අපි ඇල්ල ළඟට ගියා. වෑන් රථය රථ ගාලේ නතර කර රියැදුරු එහි සිටියා. මමයි අක්කයි මස්සිනයි දරුවන් හතර දෙනයි ඇල්ල ළඟට ගියා.

මස්සිනයි, ලොකු පුතයි, ලොකු දුවයි ඇල්ලට බැස්සා. මමයි, අක්කයි, පොඩි දුවල දෙන්නයි ඇල්ල අසල සිටියා.

මම දැක්කා මියගිය ෆාතිමා දුව දියේ ගිලෙනවා. ඒ එක්කම සමීම් පුතා නංගිව බේරගන්න දියට පැන්නා. දුවයි පුතයි බේරගන්න මස්සිනාත් දියට පැන්නා. තුන්දෙනාම දියේ ගිලී නොපෙනී ගියා. අපි කෑගැසුවා. අසල්වාසීන් පැමිණ දියේ ගිලී සිටි මස්සිනයි, පුතයි, දියණියයි ගොඩට ගත්තා. ඒ වන විටත් තිදෙනාම මියගිහින්. පසුව තිදෙනාගේ මළ සිරුරු මොනරාගල රෝහලට රැගෙන ගියා.

මියගිය තිදෙනාගේ මරණ පිළිබඳ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (21 දා) මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

වැල්ලවාය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment