ඇල්ල සංචාරක හෝටලය කොල්ලකෑ කල්ලිය නිදැල්ලේ… ඒ අතරේ මාධ්‍යවේදියාට මරණ තර්ජන

217

මීට මාස 08 කට පමණ පෙර ඇල්ල සංචාරක කලාපය තුළ පිහිටි මාධ්‍යවේදී අජිත් වීරසූරිය මහතාට අයත් සංචාරක හෝටලයට ඇතුල්වුණ එක්තරා සංවිධානාත්මක කල්ලියක්, රුපියල් ලක්ෂ 10 කට අධික බඩු බාහිරාදිය ද රැගෙන, දේපළවලටද හානිකර පලාගොස් ඇති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය යුහුසුළුව අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියද, මේ වන තෙක් කිසිදු සැක කටයුතු පුද්ගලයකු නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකි වී ඇති බව අජිත් වීරසූරිය මහතා ප‍්‍රකාශ කර සිටි.

මේ සිද්ධිය සම්බන්ධයෙන්, පොලිස් පරීක්ෂණ ආරම්භ වීමත් සමගම එක්තරා නාඳුනන පුද්ගලයකු විසින් තමන්ට මරණීය තර්ජන සිදුකර ඇති බවත්, මෙම සිද්ධිය හොරකමකට එහාගිය, තමන් නිහ`ඩ කරවීම සඳහා එක්තරා සංවිධානාත්මක පිරිසක් විසින් මෙහෙයවන ලද්දක් බවත් පවසන වීරසූරිය මහතා, ඊට හේතුව වශයෙන් ප‍්‍රදේශයේ ඉතා බරපතළ ලෙස සිදුවන ඉඩම් මංකොල්ල කෑම් ඇතුළු වෙනත් අපරාධ පිළිබඳව තමන් ගවේෂණයක යෙදී සිටි බැවින් බොහෝවිට මෙම සිද්ධිය පිටුපස යම් අදෘෂ්‍යමාන බලවේගයක් ක‍්‍රියාත්මක වන බව තමන් විශ්වාස කරන බවද පැවසීය.

මෙම මංකොල්ලය හා දේපළ හානිය සිදුවීමෙන් අනතුරුව, අවස්ථා කීපයකදීම තමන්ගේ ව්‍යාපාරික පරිශ‍්‍රයට යාබදව නාඳුනන පුද්ගලයන් කීපදෙනෙකු සැකකටයුතු ලෙස ඒ මේ අත ඇවිදමින් හැසුරුණු බවත්, රාත‍්‍රී කාලයේදී විදුලි ලාම්පු නිවා දැමූ වාහන තමන්ගේ ව්‍යාපාරික ස්ථානය අසල නතර කර ගනිමින් සැක කටයුතු ලෙස හැසුරුණු බවත්, මේ සම්බන්ධයෙන් තමන් වහාම ක‍්‍රියාත්මක වී බල්ලකෙටුව පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවත් අජිත් වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ තත්තවය හේතුවෙන් ව්‍යාපාරික පරිශ‍්‍රයේ පිහිටි නිවස තුළ තමන්ගේ පවුලේ අය සමග බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට ඇති අයිතියද නැතිවී ගොස් ඇති බවත්, කොවිඩ් 19 හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ තමන්ගේ ව්‍යාපාරය, සංචාරක කර්මාන්තය නැවත ආරම්භ වුවද ඊට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය කරන සියලූම සාධක තමන් මුහුණ පා සිටින මේ බරපතළ තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව පවසන වීරසූරිය මහතා, තමන්ගේ ව්‍යාපාරික කටයුතු බියෙන් සැකෙන් තොරව නැවත ආරම්භ කීරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමුවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද තවදුරටත් පැවසීය.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment