ඇලුමිනියම් කෑන් සල්ලි කරන සාත්තරේ…

104

සල්ලි නැතිනම් හිස් කෑන් වලින් සල්ලි හොයන්නෙ මෙහෙමයි…

එන්න ඔබත් එකතු වන්න…

සල්ලිත් හොයනවා පරිසරයත් රැකෙනවා…

පරිභෝජනයෙන් පසු ඉවතලන ඇලුමිනියම් කෑන් ප්‍රතිචක්‍රීකරණය කරමින් තත්ත්වයෙන් ඉතා උසස් භාණ්ඩ නිෂ්පාදනය කොට එම භාණ්ඩවලට නිසි වෙළෙඳපොළක් ඇති කොට චක්‍රිය ආර්ථිකයක් නිර්මාණයට උර දෙන මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය.

ශ්‍රී ලංකාවේ ජනගහනය මේ වන විටත් දෙකෝටි විසි ලක්ෂය ඉක්මවා ඇත. වර්ග කිලෝමීටර් 65,610 කටත් අඩු අපේ මේ දූපත තුළ ජනගහනය එලෙස වැඩි වැඩිවීමත් සමඟ ඔවුන්ගෙන් පරිසරයට සිදුවන හානිය ද වැඩිවෙමින් පවතී. එයට ප්‍රධාන හේතුව බවට පත් වී ඇත්තේ ඔවුන් භාවිත කර ඉවතලන අපද්‍රව්‍ය කැළි කසළ නිසි කළමනාකරණයකින් තොරව පරිසරයට මුදාහැරීමයි. ඒ අතරින් ගතහොත් පොලිතින්, ප්ලාස්ටික් සහ ඇලුමිනියම් කෑන් ආදිය විශේෂයෙන් හඳුන්වා දිය හැකිය. නොදිරන ද්‍රව්‍ය වන මේවායින් පරිසරයට සිදුවන හානිය ඉතා සුළු පටු නොවේ.

අප පමණක් නොව මෙම ගැටලුවට ලෝකයම මුහුණ දී සිටී. එහෙත් බහුතරයක් රටවල් කැළි කසළ වැනි අපද්‍රව්‍ය මනාව ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් මෙම ගැටලුවට සාර්ථක විසඳුම් සොයා ගෙන තිබේ. කොටින්ම කියතහොත් එම රටවල් කුණු සල්ලි බවට පත්කරගෙන තිබේ. එලෙස ගත් කල අප සිටින්නේ ඉතාමත් ප්‍රාථමික අවධියේය. තවමත් මෙරට තුළ කැළි කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම පිළිබඳ නිසි ක්‍රමවේදයක් සැලසුම් කොට නොමැත. එවැනි වටපිටාවක මෙම පරිසර විනාශයන් සිදු වන ආකාරය පිළිබඳ විවිධ ආකාරයෙන් පරීක්ෂණ සහ සමීක්ෂණ සිදුකොට එයට නිසි විසඳුමක් ලබාදීමට මෙල්ඩින් පොයින්ට් ව්‍යාපෘතිය ඉදිරිපත් වී තිබේ. ඒ සඳහා ඔවුන් මධ්‍යම පරිසර අධිකාරිය, විවිධ පරිසරය සුරැකීමේ සංවිධාන සහ පේරාදෙණිය සරසවිය සමග ද අත්වැල් බැඳ ගෙන තිබේ.

ඇලුමිනියම් කෑන් සල්ලි කරන සාත්තරේ…

මෙම ගැටලුවේ දී ලොව බහුතරයක් රටවල් භාවිත කරනුයේ චක්‍රීය ආර්ථිකයයි. චක්‍රීය ආර්ථිකය යනු නිෂ්පාදනය කොට ඉවතලන භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණය කර නැවත නිෂ්පාදන සඳහා භාවිත කිරීම සහ එම භාණ්ඩවලට නැවත වෙළඳපොළක් නිර්මාණය කිරීමයි. ලොව බහුතරයක් රටවල් එලෙස චක්‍රීය ආර්ථිකය භාවිත කළත් මෙරට එම භාවිතය අවම වේ. බහුතරයක් ජනතාවටද ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැත. මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය මගින් සිදු කරනුයේ ශ්‍රී ලංකාව තුළ ඇලුමිනියම් කෑන් ප්‍රතිචක්‍රීකරණය කර පරිසරය සුරකීමක් සිදු කරන අතර චක්‍රීය ආර්ථික යනු කුමක්ද කියා හඳුන්වා දී ඒ තුළින් ජනතාවට ආර්ථික ප්‍රතිලාභ අත්පත් කර දීමයි.

ලොව වැඩි වශයෙන් ප්‍රතිචක්‍රීකරණ ලෝහය වනුයේ ඇලුමිනියම්ය. එය අවබෝධ කරගත් මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය මෙරට ප්‍රචලිත කිරීමට සැලසුම් කළේය. ඉන්පසු ඔවුන් ශ්‍රී ලංකාව තුළ ඇලුමිනියම් කෑන් ප්‍රතිචක්‍රීකරණය කර චක්‍රිය ආර්ථිකයක් බිහි කරන්නේ කෙසේද යන්න පිළිබඳව සමීක්ෂණයක් සිදු කළේය. ඒ අනුව ඔවුන් මෙරට භාවිත කර ඉවත දමන ලද ඇලුමිනියම් කෑන්වලට සිදුවන්නේ කුමක්ද කියා සොයා බැලුවේය. එහිදී අනාවරණය වී ඇත්තේ එලෙස ඉවත දමන දමන ලද කෑන්වලින් 95% ක් පමණ යළි එකතු කර විවිධ කර්මාන්තශාලා වෙත යොමු කරන බවයි. ඒ සමගම මෙම කර්මාන්තයෙන් පවුල් දහසක් පමණ යැපෙන බව ද ඔවුන් සොයාගෙන තිබේ. එහෙත් මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ලොව අන් රටවල් සමග සැසඳීමේදී ඉතාමත් ප්‍රාථමික මට්ටමකින් බවද මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘති සමීක්ෂණයේදී අනාවරණය විය. එලෙස එකතු කරන ඇලුමිනියම් කෑන් වලින් යළි නිෂ්පාදනය කරන භාණ්ඩ ගුණාත්මකභාවයෙන් අඩු වන අතර වෙළෙඳපොළ වටිනාකමද අවම වේ.

ඇලුමිනියම් කෑන් සල්ලි කරන සාත්තරේ…

තවද නාගරික පරිසරය තුළ මෙම ඇලුමිනියම් කෑන් දිනපතාම පාහේ එකතු කරන පිරිසක් සිටී. එලෙස එකතුකරනුයේ මෙම ඇලුමිනියම් කෑන් සඳහා ආර්ථික වටිනාකමක් ඇති නිසාය. එහෙත් ග්‍රාමීය මට්ටමින් මෙම කෑන් දිනපතා එකතු නොවේ. එයට හේතු වනුයේ දිනපතා එකතු කිරීමට තරම් ඇලුමිනියම් කෑන් ප්‍රමාණයක් එකතු නොවීමයි. එම නිසා එම ප්‍රදේශවල ඇලුමිනියම් කෑන් එකතු කරනුයේ සතියකට, සති දෙකකට වරක්ය. එහෙත් මෙයට සම්බන්ධ කිසිවකුවත් මෙම ඇලුමිනියම් කෑන් වල නිසි ආර්ථික වටිනාකම දන්නේ නැත. මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලබන්නේ පරිසරයේ ඇති ඉවතලන ඇලුමිනියම් කෑන් එකතු කරන්නන් දිරිමත් කොට එම කෑන් ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණය කරන තත්ත්වයෙන් උසස් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යවසායකයන් වෙත යොමු කොට එ සඳහා වැඩි වටිනාකමක් ලබාදීමයි. එම නිමි භාණ්ඩ නිසි වෙළෙඳපොළකට යොමුකර ව්‍යවසායකයන්ගේ ආදායම වැඩි කිරීමද එක් අරමුණකි. මෙම කියාවලිය තුළින් පරිසරයෙන් එකතු කර ගන්නා ඇලුමිනියම් කෑන්වලට වැඩි වටිනාකමක් ලැබෙන අතර එමගින් කෑන් එකතු කිරීමේ කියාවලිය දිරිගැන්වීමක්ද සිදුවේ.

සමීක්ෂණ සහ නිරීක්ෂණ මගින් සියලු දත්ත ගබඩා කර ගත් ඔවුන්ගේ අරමුණ වූයේ මෙම කර්මාන්තය පිළිබඳ ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම, ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීම, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ යටිතල පහසුකම් ලබාදීම, දේශීය වෙළෙඳපොළට පමණක් නොව විදේශීය වෙළෙඳපොළටද මෙම භාණ්ඩ හඳුන්වා දීම සහ එකතු නොවන ඇලුමිනියම් කෑන් 5% කට අඩු ප්‍රමාණය ද එකතු කර ගන්නේ කෙලෙසද යන්න පිළිබඳවයි. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය සහ පෞද්ගලික සංවිධාන එකතු කරගනිමින් ඔවුන් එය සාර්ථකව සිදු කරමින් සිටී. ඔවුන් විසින් මෙම කියාවලිය සිදුකරන්නේ කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයකින් තොරවයි. මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතියේ එකම අරමුණ පාවිච්චි කර ඉවත දමන ලද ඇලුමිනියම් කෑන් ප්‍රතිචක්‍රීකරණය කර එයින් චක්‍රිය ආර්ථිකයක් ගොඩනඟා ගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. ඒ හරහා ජනතාවට ආර්ථික වාසි සැරසෙනවා සේම පරිසරය ද සුරැකේ.

ඇලුමිනියම් කෑන් සල්ලි කරන සාත්තරේ…
ඇලුමිනියම් කෑන් සල්ලි කරන සාත්තරේ…

ඒ අනුව ඔවුන් මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සුරැකීමේ සංවිධාන, පරිසරය සුරැකීමේ සංවිධාන සහ විවිධ පුද්ගලයන් සමග එකතු වී වැඩමුළු, ශ්‍රමදාන සහ ව්‍යාපෘති සංවිධානය කළේ ඒ හරහා ජනතාව දැනුවත් කිරීම සඳහාය. වන අරණ සංවිධාන සමඟ එකතු වී ඔවුන් ලස්සන වෙරළ ව්‍යාපෘතිය පටන් ගත්තේ දැනට මාස කිහිපයකට ඉහතදීය. එම ව්‍යාපෘතිය පටන් ගත් දින සිට අඛණ්ඩව ගල්කිස්සේ සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරය ඔවුන් පිරිසිදු කරයි. එලෙස පිරිසිදු කිරීමේ දී ලැබෙන ඇලුමිනියම් කෑන් යළි ප්‍රතිචක්‍රීකරණය සඳහා භාවිත කරයි. තවද Cleaning ocean force සමඟ එකතු වී මීගමුව කලපුව ආශ්‍රිත කසළ එකතු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරයි. එයට අමතරව විවිධ පරිසර සංවිධාන සමඟ එකතු වී පරිසරය සුරැකීමේ එක්දින වැඩමුළු, ශ්‍රමදාන ආදියද සංවිධානය කරයි.

ඇලුමිනියම් කෑන් ආශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීම සඳහා ඔවුන් ඒවා එකතු කරන පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහන්, එහි ගුණාත්මක භාවය වැඩි කරමින් නිෂ්පාදන සිදු කරන්නේ කෙසේද කියා, එලෙස නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා ඉහළ වටිනාකමක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය හරහා නොමිලේ තොරතුරු සහ සේවාවන් ලබා ගත හැකිය.

එතනින් නොනැවතුණු ඔවුන් දැනට පසුබැස්මකට ලක්ව ඇති පිළිමතලාවේ පිත්තල කර්මාන්තකරුවන් සොයා ගියේය. එහිදී ඔවුනට පාරම්පරික පිත්තල කර්මාන්තයේ යෙදී සිට විවිධ ගැටලුවලට මුහුණ දී සිටි පිරිසක් සොයා ගැනීමට හැකිවිය. මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය හරහා ඔවුනට ඇලුමිනියම් කෑන්වලින් ගුණාත්මක භාවයෙන් ඉහළ වෙළෙඳපොළ වටිනාකම ඇති භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව තාක්ෂණික දැනුම, යටිතල පහසුකම් ආදී අවශ්‍ය සියල්ල සැපයුවේය. ඒ සඳහා පේරාදෙණිය සරසවියද සම්බන්ධ කරගත්තේය. අවසානයේ ඔවුන් පිළිමතලාවේ කර්මාන්ත ශාලාවක් ද පටන් ගත්තේය. මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය හරහා මේ සියල්ල සිදුකළේ කිසිදු මුදලක් අය නොකර ගනිමින්ය.

ඇලුමිනියම් කෑන් සල්ලි කරන සාත්තරේ…
මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතියේ සභාපති කීර්ති කණහැරආරච්චි

මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය හරහා ලබාදුන් සහයෝගය නිසා ඔවුන් දැන් ගුණාත්මක භාවයෙන් ඉහළ වෙළෙඳපළ වටිනාකමක් ඇති විසිතුරු භාණ්ඩ නිපදවයි. ඒ භාණ්ඩ අතරට කී ටැග්, කඩු, කිනිසි, විවිධ මානව රූප, පාරම්පරික වෙස්මුහුණු, කාඩ් හෝල්ඩර් සහ සමරු ඵලක ආදී නොයෙක් දෑ නිෂ්පාදනය කරයි. එම නිෂ්පාදන මෙරට ප්‍රමුඛ පෙළේ සාප්පු සංකීර්ණවල විකිණීමට ද තිබේ. එපමණක් නොව විදේශීය රටවල් හයකට පමණ මෙම නිෂ්පාදන දැනටමත් යවා තිබේ. ඉදිරියේදී තවත් රටවල් කිහිපයකටම මෙම නිෂ්පාදන යැවීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර තිබේ.

තවද වෙරළින් සොයා ගන්නා ඇලුමිනියම් කෑන් සියල්ලම පාහේ මෙම කර්මාන්ත ශාලා වෙත ගෙන යන අතර ඔවුන්ගේ එකම අරමුණ වෙරළින් සොයාගන්නා එම කෑන් වලින් සිදු කරන නිෂ්පාදන මුහුදු වෙරළේදීම විදේශිකයන්ට විකිණීමයි.

ඒ අනුව බලන කල මිනිසුන් විසින් කා බී තැන තැන වීසිකර දමන ඇලුමිනියම් කෑන් එකකට නිසි වටිනාකමක් ලබාදී ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට සහ පරිසරය සුරැකීම මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය මගින් සිදුකර තිබේ. ඔබත් ඇලුමිනියම් කෑන් එකතු කිරීමට, ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට, විකිණීමට ඒ පිළිබඳව දැනුමක් ලබා ගැනීමට කැමති නම් මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය සමග එකතු වන්න. ඒ සඳහා කිසිදු මුදලක් ඔබගෙන් අය නොකර ගන්නා අතර මෙය හුදෙක්ම ඇලුමිනියම් කෑන් ප්‍රතිචක්‍රීයකරණය සිදුකර ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ වෙළෙඳ පොළට හඳුන්වා දී චක්‍රීය ආර්ථික ක්‍රමය මෙරට ජනතාව අතර ප්‍රචලිත කිරීම සහ පරිසරය පිරිසිදු කිරීමේ චේතනාවකින් සිදුකරන ව්‍යාපෘතියකි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment