ඇවිදින පිල්ලි රටට බෝ කරන ‘සොම්බි ඩ්‍රග්’… රටම අවදි විය යුතු තත්ත්වයක්!

1663

දැන් කුඩු තිප්පළවල් තියෙන්නේ පාසල් වත්තේ…..
අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ සීඝ්‍ර වර්ධනයක්!
පාසල් දරුවන් ලෙහෙසියෙන් ඇබ්බැහි කරගන්න පුළුවන්….

සිදුවෙමින් පවතින දේ බිහිසුණුය. කිසිවෙකුත් තම නිසි අවධානය ඒ කෙරෙහි යොමුකරන්නේ නැති තරම්ය. සියල්ල සිදුවන්නේ ‘මතින් තොර රටක්’ හදන්නට සහ “මතට තිත” කියන්නට සැලසුම් කළ, ඒ වෙනුවෙන් විශාල ධනස්කන්දයක් වියදම් කළ රටකය. කලකට පෙර අප ‘කුඩු තිප්පොළ’ක් යැයි හඳුනාගෙන සිටි බොහෝ තැන්වල දැන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවන්නේ නැත. තම ජාවාරමේ වෙළෙඳ ක්‍රමවේදයන් උපක්‍රමිකව වෙනස් කරන්නට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සමත්ව සිටිති.

ජාවාරමට සම්බන්ධ වූ වැඩි දෙනෙක් සිටින්නේ හිරගෙදරය. තවත් පිරිසක් රට අතහැර ගොසිනි. එහෙත් ජාවාරම නතර වී නැත. මුල් කාලයේ කොළඹ වතු ජනවාස ආශ්‍රිතව කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම මේ වනවිට තිප්පොළ හැටියට භාවිත කරන්නේ පාසල්ය. පසුගිය සතිය පුරාම මේ ගැන දිගින් දිගටම වාර්තා විය. හෙට අනිද්දා වනවිට මේ උවදුර නිවසෙහි දොරකොඩටම පැමිණිය හැකි අන්දමේ අවදානමක් දැන් මතුව තිබෙන්නේය.

ගම්පහ ප්‍රදේශයේ පාසලක කැන්ටිමෙන් අයිස් මත්ද්‍රව්‍ය සමඟ වෙනත් මත්කරල් ප්‍රමාණයක්ද හමුවී තිබුණි. කැන්ටිමේ සේවය කළ වයස අවුරුදු 42 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණේ එම මත්ද්‍රව්‍ය තොගය ගෙන ආ බවට සැක කරමිනි. මෙහි වඩාත්ම බරපතළ සිදුවීම පසුගියදා වාර්තා වූයේ හොරණ මිල්ලනිය ප්‍රදේශයෙනි. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී පාසල් ශිෂ්‍යයන්ට මත්ද්‍රව්‍ය විකිණූ පාසල් ශිෂ්‍යයකු තවත් පුද්ගලයන් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 120 ක්ද මත්කරල් 120 ක්ද පොලිස් භාරයට ගෙන තිබිණි.

තත්ත්වයේ බරපතළකම එයින් තේරුම්ගත හැකිය. පාසල කුඩු තිප්පොළක් බවට පත්වන විට කුඩු ඩීල් කරන්නට යොදාගන්නේ පාසල් ශිෂ්‍යයන්ය. ඇමත් ගොදුරත් දෙකම පහසුවෙන් පාවිච්චි කරන අයුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දන්නෝය. දැන් මෙය සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගිය උවදුරක් බවට පත්ව තිබේ. එකල ගම්වැසියන් “කසිප්පු” භයානක උවදුරක් ලෙස හැඳින්වුවද දැන් ඒ ගැන කතා කරන්නේම නැත. කසිප්පු හෝ මත්පැන්වලට වඩා විනාශයක් මත්ද්‍රව්‍ය නිසා ඇතිවන බව රටේ ජනතාව තේරුම් ගත්තේද බොහෝ ප්‍රමාදවය. (මත්පැන් හොඳ යැයි මින් අදහස්වන්නේ නැති බව සිහි තබාගත යුතුය)

ඇවිදින පිල්ලි රටට බෝ කරන 'සොම්බි ඩ්‍රග්'… රටම අවදි විය යුතු තත්ත්වයක්!

මෙරට මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය බොහෝ පැරණි ඉතිහාසයකට හිමිකම් කියයි. “අබිං” මේ රටට හඳුන්වා දී ඇත්තේ පෘතුගීසී ජාතිකයන්ය. ආක්‍රමණයන් සිදුවූ යුගයේ පෘතුගීසීන්, ලන්දේසීන් අබිං කෑමට ඉමහත් අභිරුචියක් දැක්වූ බව කියැවේ. 1829 එඩ්වඩ් බාන්ස් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ශ්‍රී ලංකාවේ අබිං වගාව සඳහා ගොවීන් දිරිමත් කළේය. ඒ, එකල වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාව සපුරාලන්නටය. එමෙන්ම විදේශයෙන් අබිං අපනයනය කිරීම්ද දිගින් දිගටම සිදුවිය. එහෙත් කල්යත්ම එය ශ්‍රී ලාංකීය සමාජ ප්‍රශ්නයක් බවට පත්විණි. තත්ත්වය තරමක් දුරට හෝ පාලනය කරන්නට 1867 අංක 19 දරන අබිං සහ කංසා පනත ගෙන ආවේය. 1930 වනවිට මත්ද්‍රව්‍යයක් ලෙස වැඩි වශයෙන් භාවිත වූයේ අබිං සහ ගංජාය.

1929 දී ගංජා සහ විෂ මත්වර්ග වලට අන්තරායකාරී මත්ද්‍රව්‍ය ඒකාබද්ධ පනතක් ඉදිරිපත් කළේ ඉතා සීඝ්‍ර ලෙස ඒවායේ භාවිතය ඉහළ යමින් තිබූ නිසාය.

කෙසේ හෝ 1955 වර්ෂයෙන් පසු විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ කිසිදු සංශෝධනයක් කර තිබුණේ නැත. 1984 අංක 13 දරන විෂ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ වර්ග පනත මගින් එය සංශෝධනය කෙරිණි. එමෙන්ම 1984 අංක 11 දරන අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ පනතක් මගින් “අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය” පිහිටුවීමට කටයුතු යෙදිණි. එහෙත් 1977 න් පසු මේ සියල්ල කණපිට පෙරළිණි. විවෘත ආර්ථිකයත් සමඟ මෙරටට ගලා ආ හොඳ දේ මෙන්ම “නරකම” දේද තිබිණි. අතිශය අන්තරායකාරී උග්‍ර විෂ මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් ශ්‍රී ලංකාවට ආවේ එම යුගයේය.

ඊට පෙර ඉතා කෙටි කාලයක් රටේ ජනතාව එල් එස් ඩී (L S D) හෂීස් වැනි දේ ගැන ශ්‍රී ලාංකීය ජනතාව අසා තිබුණද, බරපතළ ව්‍යාප්තියක් තිබුණේ නැත. එක්තරා සමාජ ස්ථරයක් හැරුණු විට ඒවා භාවිත කරන පුළුල් සමාජයක් රටේ දකින්නට ලැබුණේ නැත.

ඇත්ත වශයෙන්ම රටේ මත්ද්‍රව්‍ය යනුවෙන් ප්‍රශ්නයක් ඇති බව රටේ ජනතාවට දැනෙන්නට පටන්ගත්තේ 1977 සිට දශකයක් පමණ ගෙවී ගිය තැනය. එතෙක් මේ රටට “හෙරොයින්” මත්ද්‍රව්‍ය ගෙන ආවේ නැව් වල සේවය කළ සීමන්ලා සහ විදේශගතව පැමිණි ඇතැම් උදවිය පමණි. ගුවන් තොටුපළවලදී මේවා එහෙමටම “චෙක්” වූයේද නැත. කෙනෙක් ඔතාගෙන එන “පිටි” වර්ගය ගැන සොයා බැලීමෙහි වුවමනාවක් කිසිවෙකුටත් එකල තිබුණේ නැත. 1977 න් පසු ඊළඟ දශකය ආරම්භ වනවිට හෙරොයින් වලට ආදේශකද, හෙරොයින් සමඟ තරග කරන්නට තවත් මත්ද්‍රව්‍ය රැසක්ද මෙරටට ගලා ආවේය. රටේ බොහෝ පවුල් වල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිස වැඩිවන්නට පටන් ගත්තේය. සමාජයීය වශයෙන් දරුණු ප්‍රතිඵලවලට රටට මුහුණ දෙන්නට සිදුව තිබිණි. අද මතුව ඇත්තේ එම ප්‍රශ්නයේ අතිශය බිහිසුණු මෙන්ම වගකිවයුත්තන් වහා මැදිහත්විය යුතු අදියරයයි.

පාසල් දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරමද අදක ඊයෙක පටන්ගත් දෙයක් නොවේ. සාමාන්‍යයෙන් ඕනෑම රටක මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක වන්නේ තරුණයන් මෙන්ම ඇබ්බැහියට යොදාගත හැකි සමාජ ස්ථරයන් ඉලක්ක කරගෙනය. මිතුරු කණ්ඩායම් බොහෝමයක් සමඟ සබඳතා පවත්වන සිසුවෝ මේ සඳහා යොදාගැනීම පහසුය.

මේ ජාවාරම්කරුවන්ට එම කණ්ඩායම් අතරින් ‘ඇමට” යොදාගත හැකි එකෙකු දෙන්නෙකු සොයා ගැනීම එතරම් අමාරු කාරණයක් නොවේ. පාසලේ කැන්ටිමේ “අක්කාට” “නැන්දාට” එවැනි ඇමක් හඳුනාගැනීමේ අමුතු “ඉවක්” තිබේ. නැතිනම් මත්ද්‍රව්‍ය තොග පිටින් පාසල් කැන්ටිමට පැමිණෙන්නේ නැත. පාසල අසල වෙළෙඳසල් මත්ද්‍රව්‍ය ලොසින්ජර විකිණෙන්නේද මුදලාලිගේ “ඉව” නිසාය. පානදුරයේ පාසලක් අසල ලොසින්ජර විකිණූ “මුදලාලියා’ අත්අඩංගුවට පත්වන්නේ මුදලාලිට වඩා වැඩි ඉවක් මවුපියන්ට තිබූ නිසාය. මේ “ඉව” හැම වැඩිහිටියෙක්ම වර්ධනය කරගත යුතු එකක් බව කිව යුතුය.

තම දරුවාගේ පමණක් නොව අවට සමාජයේ පවා ඉතා සුළු වෙනස්වීමක් පවා ග්‍රහණය කරගැනීමට තරම් එම ඉව ප්‍රබල විය යුතුය. මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව පසුගිය වර්ෂයන්හි තොරතුරු දැනගැනීම කාටත් ප්‍රයෝජනවත් විය හැකිය. (මෙම දත්ත අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තා පදනම් කරගෙන සකස් කර තිබේ.)

මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ අවධානය යොමුකිරීමේදී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය දුර්භාවිතය ආශ්‍රිත කාලීන ප්‍රවණතා- 2020 වාර්තාව සැකසී මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම්,බන්ධනාගාර ගතවීම්, ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන්ට වාර්තා වීම සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ නිර්ණායක වැදගත් වේ. 2019 වර්ෂයේ මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්‍ෂණයට අනුව ගංජා සහ හෙරොයින් ඉහළ ව්‍යාප්තියක් සහිත මත්ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව වයස අවුරුදු 14 ට වැඩි ජනගහනයෙන් 1.9% ක ප්‍රතිශතයක් ගංජා භාවිත කරනු ලබයි. ඇස්තමේන්තු ගත ගංජා භාවිත කරන පුද්ගල සංඛ්‍යාව 301,898 ක් වේ. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 14 ට වැඩි ජනගහනයෙන් 92,540 හෝ 0.6% ප්‍රතිශතයක් හෙරොයින් භාවිත කරන පුද්ගලයන් වේ. පිරිමි ජනගහනය අතර (වයස අවුරුදු 14 ට වැඩි) හෙරෙයින් භාවිතය 1.2% ක් වන අතර, ස්ත්‍රී ජනගහනය අතර 0.017% ක් වේ. වයස අවුරුදු 14 ට වැඩි ජනගහනයෙන් 1.5% ක ප්‍රතිශතයක් කුමන හෝ වෛද්‍යමය අරමුණු සඳහා භාවිත කරන ඖෂධ වර්ගයක් අවභාවිත කරනු ලබයි. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතර බහුවිධ මත්ද්‍රව්‍ය භාවිතය පොදු ප්‍රවණතාවක් වේ.

2020 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගනු ලැබූ මුළු පුද්ගල සංඛ්‍යාව 97,416 කි. එය 2019 වර්ෂය හා සසඳන කල 9% ක වැඩිවීමකි. මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාවෙන් හෙරොයින් වැරදි සඳහා 53%ක්ද, ගංජා ආශ්‍රිත වැරදි සඳහා 42% ක්ද වේ. මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාවෙන් බහුතරයක් බස්නාහිර පළාතෙන්ද (42%), වයඹ පළාතෙන් 12%ක්ද, දකුණු පළාතෙන් 10%ක්ද වාර්තා වී ඇත. අත්අඩංගුට පත් මුළු සංඛ්‍යාවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 23% ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ 13%ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 7.5%ක්ද ලෙස වාර්තා වී ඇත. 2020 වර්ෂයේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාවෙහි ප්‍රවණතාවය වයස අවුරුදු 15- 64 අතර ජනගහනයෙන් පුද්ගලයන් ලක්‍ෂයකට පුද්ගලයන් 479 දෙනෙකි.

● ගංජා

ඇවිදින පිල්ලි රටට බෝ කරන 'සොම්බි ඩ්‍රග්'… රටම අවදි විය යුතු තත්ත්වයක්!

2020 වර්ෂයේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් (41,044) ගංජා ආශ්‍රිත වැරදි සඳහා අත්අඩංගුවට පත්වී ඇති අතර ගංජා වැටලීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. (18%). 2020 වර්ෂයේ දිවයින පුරා අත්අඩංගුවට පත්ව ඇති ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 7208 ක් වන අතර එය සැලකිය යුතු වැඩිවීමකි. බස්නාහිර පළාතෙන් ගංජා වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම් 32% ක් වන අතර දකුණු පළාතෙන් 11%ක්ද, මධ්‍යම පළාතෙන් 10%ක්ද, වයඹ පළාතෙන් 11%ක්ද වේ. 2020 වර්ෂයේ ගංජා වැරදි සඳහා අත්අඩංගුවට පත්වීමේ ප්‍රවණතාවය අවුරුදු 15-64 අතර ජනගහනයෙන් ලක්‍ෂයකට පුද්ගලයන් 202 දෙනෙකි.

ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා ප්‍රමිති ගත හා නිර්දේශිත ක්‍රමවේදයන් යටතේ ගංජා යොදාගැනේ. ආයුර්වේද වෛද්‍යවරුන් හා ආයුර්වේද ඖෂධ සංස්ථාව මෙහි ප්‍රධාන නීත්‍යානුකූල පරිභෝජකයෝ වෙති. 2020 වර්ෂයේ ආයුර්වේද ඖෂධ සඳහා ගංජා කිලෝ ග්‍රෑම් 477 ක් භාවිතකොට තිබේ. 2020 වර්ෂයේ ආයුර්වේද ඖෂධ සංස්ථාව පමණක් මදන මෝදකය හා කාමේෂ්වරී මෝදකය නිෂ්පාදනය කිරීමට ගංජා කිලෝග්‍රෑම් 331.4 ක් පරිභෝජනය කර ඇත.

● හෂීස්

ගංජා ආශ්‍රිත නිෂ්පාදනයක් වන හෂීස් භාවිතය ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතියි. 2019 වර්ෂයේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් පිළිබඳ සංඛ්‍යාලේඛන දත්ත අනුව හෂීස් සම්බන්ධ සිද්ධීන් 70 ක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 71 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත. හෂීස් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පොලිසිය (63), පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (01) සහ විශේෂ කාර්ය බළකාය (06) විසින් සිදුකර ඇත. 2020 වර්ෂයේ හෂීෂ් ග්‍රෑම් 671 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර හෂීස් සම්බන්ධ සිද්ධීන් වලින් 53% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

● හෙරොයින්

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 14 ට වැඩි ජනගහනයෙන් 92,540 හෝ 0.6% ප්‍රතිශතයක් හෙරොයින් භාවිත කරන පුද්ගලයන් වන අතර භාවිතය අනුව දෙවැනි වැඩිම ව්‍යාප්තියක් හෙරොයින් සම්බන්ධයෙන් වාර්තා වී ඇත. හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ගෙන් බහුතරයක් වීථි මට්ටමේ හෙරොයින් භාවිතා කරන්නන් වන අතර පෞද්ගලික පරිභෝජනය සඳහා ළඟ තබා ගැනීමේ වරද යටතේ අත්අඩංගුවට පත්ව ඇත. 2020 වර්ෂයේ හෙරොයින් කිලෝග්‍රෑම් 1250ක් නීතියේ රැහැනට හසුවී ඇති අතර පුද්ගලයන් 51,696ක් අත්අඩංගුවට පත්වී ඇත. හෙරොයින් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 2019 වර්ෂය හා සසඳන කල 2020 වර්ෂයේදී 21% කින් වැඩිවී ඇත. 2020 වර්ෂයේ හෙරොයින් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම්වල ප්‍රවණතාවය අවුරුදු 15- 64 අතර ජනගහනයෙන් ලක්‍ෂයකට පුද්ගලයන් 254 දෙනෙකි.

● මෙතම්පිටමින්
(Methamphetamine)

2019 වර්ෂයට සාපේක්‍ෂව 2020 වර්ෂයේදී මෙතම්පිටමින් (අයිස්) සඳහා අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාව සහ අත්අඩංගුවට පත් මෙතම්පිටමින් ප්‍රමාණය වැඩිවී ඇත. 2020 වර්ෂයේදී මෙතම්පිටමින් කිලෝග්‍රෑම් 811 ක් සහ ග්‍රෑම් 800 ක් සමඟ පුද්ගලයන් 2387 දෙනෙක් නීතිය ක්‍රියාත්මක කරන අංශවල අත්අඩංගුවට පත්ව ඇත. පසුගිය වසර දෙක ඇතුළත මෙතම්පිටමින් භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අත්අඩංගුවට පත්වීම් පිළිබද වාර්තා තුළින් පැහැදිලි වේ. සරලව කිවහොත්, තේරෙන භාෂාවෙන් කිවහොත් අයිස් භාවිතකරන ප්‍රමාණය වැඩිවී තිබේ.

ශ්‍රී ලංකාවේ මෙතම්පිටමින් භාවිත කරන බහුතරයක් පුද්ගලයන් බහුවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්(Poly drug users) බව සමීක්‍ෂණ හරහා අනාවරණය වී ඇත. වීථි මට්ටමේ (Street drug) ගණයේ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතර සැලකිය යුතු ලෙස මෙතම්පිටමින් භාවිතය ව්‍යාප්තව ඇත. එමෙන්ම මෙතම්පිටමින් භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් ප්‍රතිකාර හා පුනරුත්ථානපන සේවාවන්ට යොමුවීමේ ප්‍රවණතාවය අඩු මට්ටමක පවතියි.

● නව මනෝකාරක ද්‍රව්‍ය වල ව්‍යාප්තිය
(New Psychoactive substances)

නව මනෝකාරක ද්‍රව්‍යවල ගෝලීය ව්‍යාප්තියට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව තුළද නව මනෝකාරක ද්‍රව්‍ය සංසරණය වීම සම්බන්ධයෙන් ඉතා සුළු ව්‍යාප්තියක් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම ශාක මත පදනම්ව සකස් කර මෙරටට නීති විරෝධීව ගෙන්වනු ලබන “කාත්” නමැති ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අත්අඩංගුවට පත්ව ඇත. ජාත්‍යන්තර තැපැල් සේවාවන් හරහා මෙම ද්‍රව්‍ය නීති විරෝධීව ජාවාරම් කිරීම සිදුව ඇත. 2020 වර්ෂයේ එවැනි සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇත.

2020 වර්ෂයේදී මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි හේතුවෙන් බන්ධනාගාර ගතවූ මුළු පුද්ගලයන් සංඛ්‍යාව 19,856 කි. ඔවුන් අතුරින් විෂ මත්ද්‍රව්‍ය වැරදි සඳහා පුද්ගලයන් 9,336 දෙනෙක් බන්ධනාගාර ගතවී ඇත. එය මුළු බන්ධනාගාර ගතවීම්වලින් 47% ක් වේ. 2020 වර්ෂය තුළ ගංජා සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයන් 1277 (13.7%) ක්ද, හෙරොයින් සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයන් 7,974 (85.4%) ක්ද බන්ධනාගාර ගතවී ඇත. 2019 වර්ෂය හා සැසදීමේදී 2020 වර්ෂයේදී මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා බන්ධනාගාර ගතවීම් 32% කින් අඩුවී ඇත.

● මත්ද්‍රව්‍ය හා අපරාධ

මත්ද්‍රව්‍ය භාවිතය සමාජ හා සෞඛ්‍ය ගැටලු ඇති කරවන සමාජ ප්‍රපංචයක් වන අතර කාලීනව වාර්තා වන සුළු හා මහා පරිමාණ අපරාධ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමේදී පැහැදිලි වන කරුණක් නම් මත්ද්‍රව්‍ය භාවිතය හා අපරාධ අතර යම් අන්තර් සම්බන්ධතාවයක් හඳුනාගත හැකි බවයි. කොළඹ අපරාධ කොට්ඨාශයේ අපරාධ පිළිබඳ වාර්ෂික දත්ත වලට අනුව 2020 වර්ෂය තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ සුළු හා මහා පරිමාණ අපරාධ සිද්ධීන් 281 ක් වාර්තා වී ඇත. අපරාධ ක්‍රියාවන්ට යොමුවී ඇති මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ගෙන් බහුතරයක් නිවාස බිදීම, මංකොල්ල කෑම, රුපියල් 25,000 ට වැඩි දේපළ සොරකම වැනි අපරාධ ක්‍රියාවලට යොමුවී ඇත.

මත්ද්‍රව්‍ය දුර්භාවිතය ආශ්‍රිත වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම් පිළිබද පසුගිය වසර 04 කට අදාළ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමේදී හෙරොයින්, ගංජා සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට පත්වීම් ක්‍රමානුකූලව වැඩිවී තිබෙන බව පැහැදිලිය. එමෙන්ම මෙතම්පිටමින් (ICE) සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 2017 වර්ෂයේ සිට ක්‍රමිකව වර්ධනය වී තිබෙන බව පැහැදිලිය.

මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට පත්වීම් 2017,2020

ඇවිදින පිල්ලි රටට බෝ කරන 'සොම්බි ඩ්‍රග්'… රටම අවදි විය යුතු තත්ත්වයක්!

මූලාශ්‍රය – මත්ද්‍රව්‍ය දුර්භාවිත තොරතුරු අත්පොත 2019/ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වාර්ෂික දත්ත 2020

ලෝකය පුරාම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන්ට එය භාවිත කරන පුද්ගලයා පිළිබඳව වෙනසක් නැත. ඒ හැම ජාවාරම්කරුවකුටම මත්ද්‍රව්‍ය භාවිත කරන්නා තවත් එක් පාරිභෝගිකයෙක් පමණි. තරුණයන් හා දරුවන් ඊට යොමුකර ගැනීමට ජාවාරම්කරුවන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇත්තේ ඉතා ඉක්මනින් ඊට ඇබ්බැහි කර ගැනීමට ඇති හැකියාවයි. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යයක් භාවිත කරන්නෙකු එය දිගින් දිගටම භාවිත කරන්නට හේතුවන මූලධර්ම තුනක් තිබේ. ඒ පාරිසරික සාධක, පුද්ගලයෙකු සතු ජීව විද්‍යාත්මක සාධක සහ මත්ද්‍රව්‍ය තුළ සතුවන රසායනික සාධකයන්ය.

පාරිසරික සාධක වශයෙන් ගැනෙන්නේ දරුවෙකුගේ පවුල, පාසල, යහළුවන්, සූක්‍ෂම පරිසර සාධක, මාධ්‍ය සංස්කෘතිය ඇතුළු ආර්ථික දේශපාලන කාරණා දැක්විය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතය අත්හදා බැලූ අයෙක් එය දිගින් දිගටම සිදුකරගෙන යාම හෝ නතර කර දැමීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ පුද්ගලයා සතු ජීව විද්‍යාත්මක සාධකයයි.

එය කායික හා මානසික යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහියක් දක්වා දුරදිග යෑමට හේතුවන්නේ අදාළ මත්ද්‍රව්‍යයේ සතු රසායනික ගුණය, එය ගන්නා පරිමාව, ශරීරගත කරගන්නා ආකාරය වැනි සාධකය.

දරුවෙකු මත්ද්‍රව්‍ය වලට නතු කරගැනීමේදී වඩා වැදගත් වන්නේ පාරිසරික සාධක බවට සැකයක් නැත. එහිදී වඩා වැදගත් වන්නේ ඊට මුල්වන කරුණු කාරණා ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමය. වැඩිහිටියන්ගේ “ඉව” වඩා වැදගත් කාරණයක් වන්නේ ඒ නිසාය.

● මොනවද මේ අයිස් සහ මත්පෙති

බොහෝ ප්‍රවෘත්ති වාර්තාවල නිතර සඳහන් වන්නේ “අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මත්පෙති අසවල් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.” යනුවෙනි.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය හැඳින්වීමේදී අප පුරුදුවී සිටින්නේ “ඩ්‍රග්ස් ගන්නවා” “ඩ්‍රග්ස් අහුවෙලා” යනුවෙන් සඳහන් කරන්නටය. Drugs යනු ඖෂධයි. වෛද්‍ය විද්‍යාවේදී ඖෂධයක් ලෙස හඳුන්වන්නේ රෝගයක් වැළැක්වීමට හෝ සුවකිරීමට බලයක් ඇති දෙයක් ලෙසය. ඖෂධවේදයේ එය හඳුන්වන්නේ ශරීරයේ පටකය හෝ ඉන්ද්‍රියක ජෛව රසායනික හෝ කායික හෝ භෞතිකව වෙනසක් ඇතිකරන රසායනිකයක් ලෙසය. ඖෂධ කොටස් තුනකට බෙදා වෙන්කෙරේ. ඒ,

  1. Over the Counter drugs
  2. Prescribed drugs
  3. Dangerous drugs ලෙසය.

පැරසිටමෝල් වර්ග විටමින් වර්ග සුළු වේදනා නාශක වැනි බෙහෙත් ආදිය අයත්වන්නේ Over the Counter drugs ගණයටය. වෛද්‍ය නිර්දේශ මත පමණක් තුණ්ඩු වලට නිකුත්කරන බෙහෙත්, එනම් හතියට, කැස්සට, රුධිර පීඩනයට, දියවැඩියාවට, උපත් පාලනයට දෙනු ලබන බෙහෙත් වර්ග අයත්වන්නේ Prescribed drugs ගණයටයි.

අනතුරුදායක නැතිනම් භයානක ඖෂධ ලෙස හැඳින්වෙන්නේ අනවශ්‍ය ලෙස ශරීරගත වීමකදී අනතුරුදායක වන, නෛතික අවසර මත පමණක් ළඟ තබාගත හැකි ඇබ්බැහිවන සුළු බලපත්‍ර අවශ්‍ය කරන, ඖෂධ වර්ගයි. අධිබල වේදනා නාශක මේ ඖෂධ කාණ්ඩයට අයත් වෙයි.

බොහෝවිට මේ අල්ලාගත් යැයි කියන මත් පෙති අතර මෙකී ගණයේ ඖෂධ වර්ගද තිබිය හැකිය. අධි මාත්‍රාවකින් ගත්විට මනසේ වෙනසක් ඇතිකරන මොලයට හා ස්නායු පද්ධතියට හානිකරන තත්ත්වයක් ඉන් උදා වේ.

“අයිස්” යනු ඖෂධයක් නොව මත්ද්‍රව්‍යයකි. මත්ද්‍රව්‍යයක් යනු සිරුරේ ප්‍රධාන ස්නායු පද්ධතියට බලපාන එහි වෙනස්කම් ඇති කරන මිනිසාගේ හැසිරීම් රටාව වෙනස් කරන ඔහු වටා ඇති පරිසරයට බලපාන මාරාන්තික සංඝටකයකි. මේ වනවිට හෙරොයින් මත්ද්‍රව්‍යවලටත් වඩා සීඝ්‍රයෙන් පැතිර යන “අයිස්” යනු ක්‍රිස්ටල් මෙත්” හෙවත් මෙතැම්පටමින් යන රසායනිකයි. අයිස් කැබිලිති, සූකිරී හෝ විශාල සීනි කැට වශයෙන් මේවා දක්නට ලැබේ. විවිධ රසායනයන් මිශ්‍රකර රසායනාගාර තුළ නිපදවා මේවා වෙළෙඳපොළට නිකුත් කරන්නේය.

අයිස් (මෙත්ආම්පිටමින්) දිගින් දිගටම භාවිත කිරීමෙන් හෝ එකවර අධි මාත්‍රාවක් භාවිත කිරීම මරණයට පවා හේතුවිය හැකිය. ඇබ්බැහි වූ පසු ඉතා කෙටි කාලයක් තුළ හෘද රෝග, පෙනහලු රෝග, මානසික රෝග වැනි මරණීය ආබාධ මතුවෙයි. අයිස් වලට ඇබ්බැහිවූ පුද්ගලයෝ ඉතාම ඉක්මනින් විකෘති පෙනුමකට හිමිකම් කියන්නෝය. නිතර ඇතිවන විජලනය නිසා මුහුණෙහි, ගෙලෙහි පිටෙහි හම ඉරිතලා යාම, මස්වැදිලි පදාස වශයෙන් ගැලවීයෑම සිදුවන්නේය. මස් දියවී, බර අඩුවී, කෘෂ තත්ත්වයට ශරීරය පත්වන්නේ ඉතාම කෙටි කාලයකදීය.

හරියටම කිවහොත් අයිස් භාවිතයට ඇබ්බැහි වූවෙකු ජීවත්වන්නේ පිල්ලියක් (Zombie) ලෙසය. ලෝකය පුරාම පැතිර ඇති අයිස්, ක්‍රොකෝඩයිල් ඩ්‍රග් (Krokodil drug) රෂියන් බ්ලැක් මැජික් (Russian Black magic drug) බාත් සෝල්ට් (bath Salts) වැනි මත්ද්‍රව්‍ය පොදුවේ හඳුන්වන්නේ සොම්බි ඩ්‍රග් (Zombie drug) ලෙසය. වාසනාවට මෙන් ඒකී අනෙක් මත්ද්‍රව්‍ය තවමත් මෙරටට ගෙන්වීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට නැත.

දිවයින පුවත්පත අයිස් (ice) නමැති මත්ද්‍රව්‍යයක් ලංකාවට පැමිණ ඇති බවත් ඒ වනවිට එය රටේ එතරම් පැතිර නැති බවත් කීවේ බොහෝ කලකට පෙරාතුවය. ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් අපි අවධාරණය කළෙමු. අයිස් මත්ද්‍රව්‍යද ඇතුළුව “සොම්බි” කාණ්ඩයේ මත්ද්‍රව්‍ය නිසා ශ්‍රී ලංකාව “පිල්ලි” ජීවත්වන රටක් වන හැටි ඡායාරූප බලා තීරණය කරන්න.

උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment