‘ඇස්’ ටෙලියේ සුවිමල් – සුරන් දසනායක

191

මේ දිනවල පුංචි තිරයේ “ඇස්” ටෙලි සිතුවමේ සුවිමල්ගේ චරිතය ඔස්සේ ඔබේ ඇස් මානයට එන සුරන් දසනායක කලින් කලට විවිධ චරිතයන් ඔස්සේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරය තුළිනුත් ප්‍රේක්ෂකයින් අතරට ආ ගිය රංගන ශිල්පියෙක්. ඊට අමතරව පාපන්දු ක්‍රීඩාවට සුවිසල් මෙහෙයක් ඉටු කරන පාපන්දු පුහුණුකරුවෙක් ලෙසින්ද සුරන්ව හඳුන්වන්නට පුළුවන්. ඔහු ගැන කතා කරන්න හොඳම, ඔහු කලාව වෙනුවෙන් වැඩි බරක් තබන මේ කාලය…

සුරන් මුලින්ම කියමුද ඔබේ ප්‍රේක්ෂකයින්ට මේ දිනවල ඔබව දැකගත හැකි නිර්මාණ මොනවද?

මෙහෙමයි, මම කලින් කලට නිරූපණය කළ විවිධ චරිත පැවති ටෙලිනාට්‍ය කිහිපයක් පසු ගිය කාලේ විකාශය වුණා. මේ දිනවල නම් ස්වර්ණවාහිණී නාලිකාව ඔස්සේ විකාශනය වන “ඇස්” ටෙලි නාට්‍යයේ සුවිමල් කියන ආදරණීය පියෙකුගේ චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව හිරු නාලිකාව ඔස්සේ විකාශය වන “රැල්ල වෙරළට ආදරෙයි” ටෙලි නාට්‍යයෙත් මගේ රංගනය දැක ගන්න පුළුවන්. නුදුරේදීම රිදී තිරය ඔස්සේ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “මාරියා” චිත්‍රපටයත් සමග මම සිනමාවටත් එනවා.

ඔබ පුංචි තිරය ඔස්සේ ප්‍රථමවරට දැක ගන්නට ලැබුණු කලා නිර්මාණය සහ ඒ සඳහා අවස්ථාව උදා වූ අයුරු පිළිබඳව මතකාවර්ජනය කළොත්…

ඔව් ඒ “පබා” ටෙලි නාට්‍ය හරහා. මට එම අවස්ථාව ලබා දුන්නේ මහේෂ් සත්සර මද්දුමආරච්චි. ඔහු අපේ පවුලේ සමීපතම හිතවතෙක්. මම කාලයක් විදෙස්ගතව ඉඳලා ලංකාවට ඇවිත් හිටියේ, ඒ දිනවල තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඉතිං මහේෂ් සත්සර මද්දුමආරච්චි තමයි මට පබා ටෙලි නාට්‍ය හරහා කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ටවීමේ අවස්ථාව උදා කර දුන්නේ.

සුරන් වෘත්තීමය රංගන ශිල්පියෙක් ද?

නැහැ, මම මීගමුව තිඹිරිගස්කටුව මාරිස්ටෙලා මහා විද්‍යාලයේ පාපන්දු පුහුණුකරුවෙක් විදියට කටයුතු කරනවා. ඊට අමතරව තමයි කලා කටයුතුවලටත් රංගනයෙන් දායකවෙන්නේ. ඉතිං ක්‍රීඩාවත් රංගනයත් දෙකම සමබරව කරගෙන යනවා.

රටේ පවතින තත්ත්වයත් එක්ක වර්තමානයේ කලාවේ නියැලෙනවා කියන එක ගැන ඔබේ දකින්නෙ?

මෙහෙමයි, මුළු රටම අවුරුදු ගාණකට පස්සට ගිහිල්ලා තියෙන්නේ. කිහිපදෙනෙක් සතුටු කරන්න ලංකාවේ බහුතරයකට දුක්විඳින්න සිද්ධ වෙලා තියෙනවා.ඉතිං ඒ බලපෑම හැම ක්ෂේත්‍රයකටම බලපාලා තියෙනවා. කලා ක්ෂේත්‍රයටත් අතිශය බලපෑමක් වුණා. මොකද අලුත් අලුත් දේ නිර්මාණාත්මකව හා ගුණාත්මක බවින් යුක්තව රූගත කිරීම් සිදු කරන්න විදියක් නැහැ. නිෂ්පාදක කණ්ඩායම් පවා අපහසුතාවයට පත්වෙලා තියෙනවා සහ අඩු මුදලින් රූගත කිරීම් කරගන්න තමයි ඔවුනුත් බලන්නේ. ඒකෙන් ඉතිං ප්‍රේක්ෂකයින්ට ලොකු අසාධාරණයක් තමයි වෙන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment