ඇෆ්ගනිස්තානය පරදවා ශ්‍රී ලංකාව තව කඩඉමක් පනී

264

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටය යටතේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ (01 වෙනිදා) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 තරග වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු ඉහළ දමා ගැනීමට සමත්විය. මෙම තරගයේ හිමි ප්‍රසාද ලකුණු 2 ත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාණ්ඩයේ පස්වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදී ඇෆ්ගනිස්ථානු පිල ලබා දුන් ලකුණු 145 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී ඉක්මවා ගිය අතර කඩුලු 4 ක් පමණක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වූහ.

දඟ පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය ලෙසින් හැසිරුණු ගැබා තණතීරුවේදී ඇෆ්ගන් පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූවත් අනර්ඝ පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟ පන්දු 42 කදී නොදැවී ලකුණු 66 ක් ලබා ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට මුල් වූවේය.

දෙවැනි පන්දුවාරයේදී පැතුම් නිස්සංක දැවී යෑමත් සමඟ පිටියට පිවිසි ධනංජය ද සිල්වා කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36 ක් එක් කළේය. එහෙත් රශීඩ් ඛාන් විසින් මෙන්ඩිස්ව දවා ගැනීමට සමත්වීම නිසා පිටියට එක්වූ චරිත් අසලංක සමඟ එක්වූ ධනංජය පන්දු 34 කදී ලකුණු 54 ක්ද භානුක රාජපක්ෂ සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 42 ක්ද එක් කරමින් ශ්‍රී ලංකා පිල ජය කණුව කරා රැගෙන ගියහ.

ඇෆ්ගනිස්ථානු ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද වනිදු හසරංග එම පන්දුවාරයේදී කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වූ අතර එහිදී ඔහු ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 03 ක් පමණි. අවසන් පන්දුවාරය හැරුණු කොට හත් වැනි පන්දුවාරයත්, එකොළොස් වැනි පන්දුවාරයත් සහ 14 වැනි පන්දුවාරයත් ක්‍රියාත්මක කළ වනිඳුගේ පන්දු යැවීම ලකුණු 13 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් කර ගනු ලැබුවේ සිය පන්දුවාර 4 දී එකම වරක් හෝ හතරේ පහරක් එල්ල කිරීමට ඉඩ ලබා නොදෙමිනි. මෙම දක්ෂතාව ප්‍රධාන කොට ඔහුට තරගයේ වීරයා සම්මානයට අමතරව තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව 13 ක් දක්වා ඉහළ දමා ගැනීමටද හැකි විය.

ඇෆ්ගනිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ රාමනුල්ලා ගුර්බාස් වන අතර ඔහු පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ ලකුණු 28 ක් ලබා ගත්තේය. ළහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ඔහුගේ ඉනිම නිමාවට පත්විය. සමස්තයක් ලෙස ඊයේ දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පන්දු රැකීම ප්‍රශස්ථ මට්ටමක නොපැවතීම කැපී පෙනිණ. රැකගත හැකි උඩ පන්දු මෙන්ම එක් ලකුණකට සීමා කළ හැකි අවස්ථාවන්වලදී ප්‍රතිවාදී පිතිකරුවන් එය ලකුණු දෙකක් බවට පරිවර්තනය කර ගැනීමට සමත් වූවේ පන්දු රකින්නන්ගේ වූ අතපසුතාවයන් හේතුවෙනි.

ඇෆ්ගනිස්තානය පරදවා ශ්‍රී ලංකාව තව කඩඉමක් පනී

ලකුණු සාරාංශය

ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 144 යි – (රාමනුල්ලා ගුර්බාස් 28, උස්මාන් ඝානි 27, ඊබ්‍රහිම් සද්‍රාන් 22, නජිබුල්ලා සද්‍රාන් 18, ගුගුල්බාදින් ලයිබ් 12, මොහොමඩ් නබී 13, වනිඳු හසරංග 13/3, ළහිරු කුමාර 30/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.3 කදී කඩුලු 4 ට ලකුණු148 යි – (ධනංජය ද සිල්වා (නොදැවී) 66, කුසල් මෙන්ඩිස් 25, පැතුම් නිස්සංක 10, චරිත් අසලංක 19, භානුක රාජපක්ෂ 18, මුජීබ් උර් රෙහ්මාන් 24/2, රශීඩ් ඛාන් 31/2)

කසුන් රණවීර ඔස්ට්‍රේලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment