ඇෆ්ගනිස්ථානයේ දරුණු භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවයි

157

ඇෆ්ගනිස්ථානයේ පෙරේදා (22දා) හටගත් දරුණු භූමිකම්පාව හේතුවෙන් කුඩා ළමුන්ද ඇතුළුව පුද්ගලයන් 1000කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර 1500ක් පමණ දෙනා තුවාල ලබා තවත් පිරිසක් භූමිකම්පාව හේතුවෙන් කඩා වැටුණු සුන්බුන්වලට යටවී අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබේ.

රිච්ටර් මාපකයේ 6.1 ක් වශයෙන් සඳහන් වූ මෙම භූමිකම්පාවෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ගිනිකොණදිග ඇෆ්ගනිස්ථානයේ පිහිටි ‘පක්ටිකා’ පළාතට වන අතර භූමිකම්පාවෙන් එය සිදු වූ කේන්ද්‍රස්ථානයේ පිහිටි ගම්මාන සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති අතර ඒවායේ පිහිටි මහාමාර්ග හා දුරකථන කුලුනු පවා විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ. ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බව භූමිකම්පාවෙන් විපතට පත් ගම්වල වැසියන් විදෙස් මාධ්‍යවලට පවසා තිබේ. භූමිකම්පාවෙන් හානියට පත් වූවන් බේරා ගැනීමේ කටයුතු පවතින අධික වර්ෂාව හා අඩු පහසුකම් හේතුවෙන් අඩාල වී තිබේ. අනපේක්ෂිත අයුරින් හටගත් මෙම භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා සහන සැලසීමට ආධාර කරන්නැයි ඇෆ්ගනිස්ථානයේ පාලන බලයේ සිටින තලිබාන් සංවිධානය විසින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීම් කර තිබේ. දශක දෙකක පමණ කාලයකට පසු ඇෆ්ගනිස්ථානයේ හටගෙන ඇති දරුණුම භූමිකම්පාව සේ සැලකෙන මෙම භූමිකම්පාව එරට මුහුණ පා ඇති ආහාර හිඟය හා දරුණු ආර්ථික ව්‍යසනය හමුවේ තලිබාන් පාලනයට දැඩි අභියෝගයක් වී ඇති බව වාර්තා වී තිබේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය භූමිකම්පාවෙන් විපතට පත් වැසියන් වෙනුවෙන් නිවාස හා ආහාර ආධාර සැපයීමට කටයුතු කරගෙන යන බව නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment