ඇෆ්ගනිස්ථානයේ ළිඳකට වැටුණු දරුවකු බේරා ගැනීමට මෙහෙයුම්

290

දකුණු දිග ඇෆ්ගනිස්ථානයේ ගම්මානයක පිහිටි ළිඳකට වැටී එහි දින දෙකක් තිස්සේ සිර වී සිටින කුඩා පිරිමි දරුවකු මුදා ගැනීම සඳහා ගම් වැසියන් හා සහන නිලධාරීන් විසින් ඊයේ (18 දා) දහවල් වන විට දැඩි පරිශ‍්‍රමයක යෙදී සිටි බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. ඇෆ්ගනිස්ථානයේ සබුල් පළාතේ පිහිටි ෂොකාක් නමැති ගම්මානයේ තිබෙන මීටර් 25ක් පමණ ගැඹුරු ළිඳකට ඉකුත් අඟහරුවාදා (15 දා) වැටී ඇති මෙම නව හැවිරිදි වියෙහි පසුවන හයිඩර් නමැති දරුවා ලිඳේ මීටර් 10ක පමණ ගැඹුරින් සිර වී සිටින බව වාර්තා වී ඇති අතර ඔහුව මුදා ගැනීමේ උත්සාහයක නිරතව සිටින පිරිස් විසින් ඊයේ වන විට දරුවා සිටින ප‍්‍රදේශය වෙත ළඟා වීම සඳහා කාණුවක් කපමින් සිටින බව වාර්තා වී තිබේ.

මෙසේ ළිඳේ සිරවී සිටින පිරිමි දරුවා පිටතට ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් විසින් ඉකුත් අඟහරුවාදා රාත‍්‍රියේ උත්සාහ දැරීමේදී ඔහු තවත් ළිං බිත්තියට තද වී ඇති බව වාර්තා වී තිබිණි. මෙම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතින බව වාර්තා වී ඇති අතර දරුවාගේ පියා ඔහුට පවසා ඇත්තේ කාණුවක් කපමින් ඔහු වෙත ළඟා වෙමින් සිටින පිරිස් සමග දිගටම සන්නිවේදනයේ යෙදී සිටින ලෙසයි. පියාගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා ඇති දරුවා එයට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම දරුවා ළිඳ තුළ සිර වී සිටියද ඔහුට සිය දෑත් හා සිරුරේ උඩ කොටස චලනය කිරීමට හැකියාව ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment