ඉංජිනේරු සභාපති ඇතුළු ලොක්කන් අස් කරන්න

308

ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ එකමුතුවෙන් ඇමැති ප්‍රසන්නට ලිපියක්

ඉංජිනේරු ක්‍ෂේත්‍රය පිළිබඳව දැනුමක් නොමැති සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පත්කර තිබීම නිසා වර්තමානයේ සංස්ථාව ඛේදවාචකයකට පත්ව ඇතැයි ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ එකමුතුව ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට ලිඛිතව දැනුම් දී ඇත.
එනිසා එක් දිනක් හෝ පමා නොකර වත්මන් සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉවත් කර ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රැක ගැනීමට මැදිහත් වන ලෙස එම එකමුතුව ඉල්ලා සිටී.

සේවක වැටුප් ගෙවාගන්නත් බැරි තැනට සංස්ථාව ඇදවැටී තිබෙන බවට දිවයින පුවත්පත මගින් හෙළි කළ කරුණුවලට අනුව ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ එකමුතුව ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට දීර්ඝ ලිපියක් මගින් කරුණු දක්වා ඇත. ඉංජිනේරු සංස්ථා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය, ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය, ජාතික සේවක සංගමය, ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, සමිති සේවක සංගමය, සංස්ථා හා පොදු සේවක සංගමය, ලංකා රාජ්‍ය සංස්ථා පොදු සේවක සංගමය මීට අත්සන් තබා ඇත.

ශිරාන් රණසිංහ


මගඩි හෙළි කරන නිසා මාව පන්නන්න හදනවා

ඉංජිනේරු සංස්ථාවේ සභාපති කියයි


අනියම් මුරකරු තනතුරට බඳවාගෙන සුදුසුකම් නොමැතිව ඔවුන් පරිපාලන නිලධාරි තනතුරට පත්කිරීම් ඇතුළු යහපාලන කාලයේදී සිදුවූ වංචා, දූෂණවලට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට ක්‍රියාකළ තමා සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පිරිසක් වළිකන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා “දිවයින” කළ විමසීමේදී කියා සිටියේය.

තමා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පත්වූයේ 2020 පෙබරවාරි මාසයේදී බවත් එතැන් පටන් අද වන තුරු තමා සත පහක් වංචා කර නැති බවත් ඒ මහතා කීය.

යහපාලන කාලයේ දී සුදුසුකම් සපුරා නොමැති දසදෙනකු පමණ උපාධි අවශ්‍ය තනතුරුවලට පවා පත්කර තිබූ බවත් ඒ පිළිබඳ විධිමත් විනය පරීක්‍ෂණවල අවසන් විනය පරීක්‍ෂණ සිදුවෙමින් තිබෙන මොහොතේ ඔවුනට ලොකුම ඇණයක් වී තිබෙන තමා, පන්නා දැමීමට අවශ්‍ය වී ඇති බවත් හෙතෙම පැවසීය.

ෆොටෝ කොපි සඳහා රුපියල් දෙලක්‍ෂ හතළිස් තුන්දහසක් ගෙවීම් කළ නිලධාරියකුට එරෙහිව ද පරීක්‍ෂණ සිදුවන බවත් ඒ මහතා කීය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අද මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇත්තේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වරදින් නොව ඉදිකිරීම් ක්‍ෂේත්‍රය අර්බුදයට යෑම හා සමස්ත ආර්ථික අර්බුදය නිසා බව ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment