ඉඩමක්? ගන්නවද එහෙනම් ප්‍රවේසමෙන්!

390

ඔබ දැනටමත් නිවසක් ඉදිකරගෙන සුවසේ වාසය කරන කෙනකු විය හැකියි. එසේම ඔබ ඔබගේ සිහින නිවහන ඉදි කරගෙන යන කෙනකු විය හැකියි. එසේ නැත්නම්, නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් තෝරා ගෙන, සිහින නිවහන සැලසුම් කරන කෙනකු විය හැකියි. මීටත් අමතර වශයෙන් ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට සුදුසු ඉඩමක් මිලදී ගැනීමට, ඉඩම් සොයන කෙනකු විය හැකියි. ඔබ මෙම කුමන අදියරේ හෝ අවස්ථාවේ සිටියත්, ඔබට ලැබී ඇති ඉඩම හෝ මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන ඉඩම ඔබට හිමි වන්නේ, “උරුමයෙන් හෝ කරුම යෙන්” වේ.

වාස්තු ශිල්පීය විග්‍රහයට අනුව ඉඩමක් “උරුමයෙන් හිමි වනවා” යනුවෙන් අදහස් වන්නේ, පරම්පරාගතව ලැබෙන ඉඩම් වේ. “කරුමෙන් හිමිවනවා” යනුවෙන් අදහස් වන්නේ, කර්මානුරූපව ඔබ මිලදී ගනු ලබන ඉඩම් වේ. උරුමයෙන් ලැබුන ද? කරුමෙන් ලැබුණද? ඉඩම වාස්තු සිද්ධාන්තයන්ට එකඟ විය යුතු අතර, එසේ නොවුණු විට, ඉඩමේ වාස්තු දෝෂ ඔබගේ නිවසට සහ ජීවිතයට අයහපත් ලෙස බලපානු ඇත. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරනු ලබන්නේ නිවසක් සෑදීම සඳහා ඉඩමක් මිලදී ගැනීමේදී, ඔබ විසින් දැනගත යුතුම කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

වාස්තු ශිල්පය තුළ, දෝෂ බලවත් වන අවස්ථාවන් තුනක් පිළිබඳව පෙන්වා දී තිබෙනවා. එනම්,

  1. වාස්තු දෝෂ
  2. භූමි දෝෂ
  3. කර්ම දෝෂ

මෙහිදී “වාස්තු දෝෂ” යනුවෙන් අදහස් කරනු ලබන්නේ, ඇසට පෙනෙන, නිවසේ භෞතික ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ වාස්තු සිද්ධාන්ත බිඳවැටීම් වේ. මෙම වාස්තු දෝෂ ඇසට පෙනෙන අතර, නිවැරදි කරගැනීම ඉතා පහසුවෙන් කළ හැකි දෝෂ වේ. “භූමි දෝෂ” යනු, නිවස ඉදි කරනු ලබන භූමිය නැත්නම් ඉඩමේ පවතින දෝෂ වේ. ඉඩමේ දෝෂයන් “දෘශ්‍ය දෝෂ සහ අදෘශ්‍ය දෝෂ ලෙස කොටස් දෙකකට බෙදනු ලැබේ. දෘෂ්‍ය දෝෂ යනු, ඉඩමේ අපට ඇසට පෙනෙන දෝෂයන් වෙයි. අදෘශ්‍ය දෝෂයන් යනු ඉඩමේ ඇති අපේ ඇසට නොපෙනෙන දෝෂයන් වේ. “කර්ම දෝෂ” යනු, ඒ ඒ පුද්ගලයා විසින් පෙර භවයන්හී කළ කුසල්, අකුසල් නැත්නම්, පින් පව්වල වර්තමාන තරම වේ. මේවා ද අපේ ඇසට නොපෙනෙන, එසේම බලවත් වන මොහොත කල්තියා කිව නොහැකි දෝෂයන් ලෙස, වාස්තු ශිල්පයේ වෙන්කොට හඳුන්වා දී ඇත.

භූමි දෝෂ

ඔබගේ ඉඩමේ ඇති දෝෂ, භූමි දෝෂ ගණයට වැටෙන වන අතර, මෙම භූමි දෝෂ දෘශ්‍ය දෝෂ සහ අදෘශ්‍ය දෝෂ ලෙස නැවත කොටස් දෙකකට බෙදෙන බව ඉහතින් දක්වනු ලැබුවා. ඒ අනුව ඇසට පෙනෙන භූමි දෝෂ

1 ඉඩමේ හැඩය

2 ඉඩමේ බෑවුම

3 ඉඩමේ මුහුණත් දිශාව හා ප්‍රවේශය

4 ඉඩමේ පිහිටීම

යන කරුණු පිළිබඳව ඔබ ඉඩමක් මිලදී ගැනීමේ දී ම, විමසිලිමත් වන්න. එහිදී ඉඩමේ හැඩය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, ත්‍රිකෝණාකාර ඉඩම් හෝ දිගට ඇදී ගිය දණ්ඩාකාර ඉඩම් මෙන්ම ඉඩමේ මුහුණත කෙටි වූ ඉඩම්, මිලදී ගැනීමෙන් වළකින්න. එසේම ඉඩමේ ගිනිකොන දිශාව දික් වූ ඉඩම් ද, නිරිත දිශාව කෙටිවූ ඉඩම් ද පෙනෙන භූමි දෝෂ බලවත් කරන හැඩතලයන් ලෙස වාස්තු ශිල්පීය සඳහන්ව පවතිනවා. ඉහතින් දක්වන ලද හැඩතල සහිත ඉඩම් මිලදී ගැනීමෙන් බැහැර වන ලෙස උපදෙස් දෙන අතර, ඔබ දැනටමත් මිලදී ගෙන ඇත්තේ එවැනි දෝෂ සහගත ඉඩමක් නම්, එම දෝෂයන්වල බලපෑමට ලක් නොවන ලෙස නිවාස සැලසුම සකස් කර ගැනීමට හැකි බව ද මතක තබා ගන්න.

මීළඟට ඔබ සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ, ඉඩමේ නිසි වාස්තු බෑවුමක් පවතිනවා ද යන්න පිළිබඳවයි. එහිදී උතුරට, ඊශානට සහ නැඟෙනහිර දිශාවට බෑවුම් සහිත ඉඩම්, ඉතා යහපත් වන අතර, දකුණට, නිරිතට සහ බටහිරට බෑවුම් වන ඉඩම් අයහපත් ලෙස වාස්තු ශිල්පයේ දක්වා ඇත. වාස්තු සිද්ධාන්තවලට අනුව මෙම බෑවුමෙන් අර්ථවත් වන්නේ, විශ්ව ශක්තිය සහ සූර්යාලෝකය ඔබගේ නිවසට ලබා ගැනීමේ හැකියාව සහ සුළං බලය මෙන්ම ගුරුත්වාකර්ෂණය යන සංකල්පයන්ගේ ගුණය නිවසට ලබා ගැනීම පහසු කරවීමයි. විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ මෙම බෑවුමේ බලපෑම අපට දැනෙන්නේ අංශක 22 හමාරකට වඩා වැඩිනම් පමණි. මද බෑවුම් සහිත ඉඩම් මෙම බෑවුම් දෝෂයේ බලපෑමට ලක් නොවන බව මතක තබා ගන්න. එහිදී ඔබගේ නිවාස සැලසුම බෑවුමේ දෝෂය ඉවත් වන පරිදි, සැලසුම් කර ගැනීමට උනන්දු වන්න.

ඉඩමේ මුහුණත් දිශාව පිළිබඳවද ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණක් වේ. මෙහිදී ඉඩමේ මුහුණත් දිශාව තීරණය වන්නේ, ඉඩමේ ප්‍රවේශ මාර්ගය යෙදී ඇති දිශාව අනුවයි. ඔබගේ ඉඩමට ප්‍රවේශ මාර්ගය යෙදී ඇත්තේ උතුරු දිශාවෙන් නම්, ඉඩමේ මුහුණත උතුර වේ. දකුණු දිශාවේ නම්, ඉඩමේ මුහුණත දකුණ වේ. මේ ආකාරයට ප්‍රවේශ මාර්ගය පිහිටි දිශාව ඉඩමේ මුහුණත් දිශාව ලෙස වාස්තුවේදී හඳුන්වනු ලැබේ. ඉඩමට ප්‍රවේශ මාර්ගය යෙදී ඇත්තේ ඊශාන දිශාවෙන් හෝ නිරිත දිශාවෙන් නම්, එම ඉඩම දෝෂයන්ට ලක්වන ඉඩමක් බැවින් මිලදී ගැනීමෙන් වළකින්න. අනෙකුත් ඕනෑම දිශාවකින් ප්‍රවේශ මාර්ගය යේදී තිබීම දෝෂ සහගත නොවන බවද පෙන්වා දෙමි. ඊශාන හෝ නිරිත ප්‍රවේශයන් තිබුණද, එම ඉඩමේ නිවසක් සෑදූ පසු, දිශාව තීරණය වන්නේ ගෘහයේ මධ්‍ය ලක්ෂයේ සිට බැවින්, ඊශාන හෝ නිරත ප්‍රවේශයේ දෝෂ දුරු වන ලෙස නිවාස සැලසුම සකස් කළ හැකි වේ.

මීළඟට ඔබ සැලකිලිමත් යුතු විශේෂ කාරණයක් වන්නේ, ඉඩම පිහිටි ස්ථානයයි. ඒ අනුව පහත සඳහන් ස්ථානවල පිහිටි ඉඩම් දෝෂයන්ට ලක්වන බව කල්තියා හඳුනා ගන්න.

★ තුන්මං හන්දියේ පිහිටි ඉඩම

★ සුසාන භූමියට මායිම්ගතව පිහිටීම

★ දකුණු දිශාවෙන් මායිම්ගතව ජලය ගලා යන ඉඩම.

★ මේ මායිම් තුනකින් පාරවල් යෙදෙන ඉඩම

★ ඉඩමේ මධ්‍ය පහත් ඉඩම

★ පතල් කැණීම් කළ ඉඩම

★ ඉපැරණි වෘක්‍ෂ පිහිටි ඉඩම

★ දේවාල කෝවිල් පන්සල් දාගැබ් පිහිටි ඉඩම්

★ ඛනිජ නිධි සහිත ඉඩම්

★ පැරණි නාය ගිය ඉඩම්

★ නඩුහබ සහිත ඉඩම්

★ විදුලි සංදේශ කුලුනු හෝ අධිබලැති විදුලි රැහැන් සහිත ඉඩම්

ඉඩමක පවතින මෙම දෝෂයන් අපට දෘශ්‍යමාන වන අතර, දෘශ්‍යමාන නොවන දෝෂයන් ද ඉඩමක පවතී. එනම්, අනවින, කොඩිවින, හූනියම්, භන්ධන නිධන්, බහිරව දෝෂ, අමනුෂ්‍ය දෝෂ හා පින් බලාපොරොත්තුව සිටින භූමි ඥාතීන්ගේ බලපෑම ආදී වූ දේවල්, භූමි දෝෂවල ඔබට නොපෙනෙන පැතිකඩ වේ.

ඔබ ඉඩමක් මිලදී ගැනීමේදී, ඉහතින් දක්වන ලද දෝෂයන් සහ ලක්ෂණයන් ඇති ඉඩම් මිලදී ගැනීමෙන් වළකින්න. දැනටමත් ඔබ මිලදී ගෙන ඇති ඉඩමේ හෝ නිවස ඉදි කොට ඇති ඉඩමේ මෙවැනි දෝෂ පවතින්නේ නම්, එම දෝෂ ඉවත් කළ හැකි ක්‍රම උපායන් වාස්තු ශිල්පයේ පවතින බවද, මතක තබා ගන්න. ඔබගේ ජීවිතයට බලපාන “වාස්තු දෝෂ”වලට වඩා “භූමි දෝෂ” සහ “කර්ම දෝෂ” බලවත් බව ද කිව යුතුයි. ඒ මන්ද යත්, නිවසේ ඉදිකිරීම්වල පවතින වාස්තු දෝෂ අපට ඇසට පෙනෙන බැවින්, නිවැරදි කර ගැනීමේ හැකියාව ඇති අතර, “භූමි දෝෂ” සහ “කර්ම දෝෂ” වල දෝෂයන් අපට ඇසට නොපෙනෙන අතර, ඒවායේ ප්‍රතිඵල අපට දැනෙන්නේ ඒවා ක්‍රියාත්මක වීමෙන් පසුව වේ. මේ නිසා ඔබ ඉඩමක් මිලදී ගැනීමේ සිටම සුදුසුකම්ලත් වාස්තු ශිල්පියකුගේ උපදෙස් මත ම, එම කටයුතු සිදු කරන්න. එවිට ඔබට පෙනෙන සහ නොපෙනෙන දෝෂයන්ගෙන් නිදහස් වූ ඉඩමක් තෝරා ගැනීමටත්, දෝෂයන් සහිත ඉඩම්වල දෝෂ ඉවත් කරගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත. කිසිම විටක ඔබගේ හිත් මනාප අනුව ඉඩමක් තේරීම නොකළ යුතුයි. ඔබගේ “කර්ම දෝෂ” බලවත් වන විට ආර්ථික වටිනාකම සහ ඉඩමේ දර්ශනීය බවට රැවටී ඔබ ඉඩම් මිලදී ගැනීමට පෙළඹිය හැක. ඒ නිසා ඔබ, ඔබගේ “කර්ම දෝෂ”වල අයහපත් ගති ලක්ෂණ දුර්වල කරමින්, කුසල් ගති ලක්ෂණ බලවත් කරමින්, “භූමි දෝෂ” සහ “කර්ම දෝෂ” වලින් තොර ඉඩමක් මිලදී ගැනීමට කුසල් බලය ඔබ සැමට බලවත් වේවා.!

ඉඩමක්? ගන්නවද එහෙනම් ප්‍රවේසමෙන්!

ශාස්ත්‍රවේදි වාස්තුවිද්‍යා විශාරද කීර්ති”
ඩී. යූ. සෙනරත්
වාස්තු මැදුර
නො. 189/3” කොළඹ පාර,
පොල්ගහමුල.
දු. අංකය 071-4402574

advertistmentadvertistment
advertistmentadvertistment