ඉඩම් ගැටලුවට දෙදරු මවක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගසකට නැගලා

253

කලක් තිස්සේ තම ඉඩම සම්බන්ධයෙන් පවතින ආරවුලකට විසදුම් ලබා ගැනීම සඳහා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ගියද එහි නිලධාරීන් ඊට නිසි විසදුමක් ලබා නොදී අවස්ථා කිහිපයකදීම තමන්ට බැන වැදී එළවාගත් බව පවසමින් 40 හැවිරිදි දෙදරු මවක හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට කොහොඹ ගහක නැගී විරෝධතාවයක නිරත විය. මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ අම්බලන්තොට, කොග්ගල්ල පදිංචි 40 හැවිරිදි එච්. එම්. කුසුමාවතී නැමැති දෙදරු මවකි.

මා පදිංචිව සිටින ඉඩම සම්බන්ධයෙන් කලක සිට පවතින ගැටලුවක් නිරාකරණය කර ගැනීමට අවස්ථා කිහිපයකදීම අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යයේ ඉඩම් නිලධාරීන් හමුවට ගියත් මට මගේ වැඩේ ඒ අය කරලා දුන්නේ නෑ. අඩුම තරමින් මගේ දුක් ගැනවිල්ලටවත් ඒ අය කන් දුන්නේ නැතිව මට කුණු හරුපෙන් බැනලා එළවා ගත්තා. මටත් ලක්ෂයක් හමාරක් වියදම් කරනන් තිබුණා නම් මේ වැඩේ කරවා ගන්න තිබුණා.

මම එදා වේල කන්න විදියක් නැතුව දරු පැටවු එක්ක අසරණ වෙලා ඉන්නේ. එහෙව් මට මගේ ඉන්න ඉඩමේ තියෙන ගැටලුව විසදා ගන්න මේ නිලධාරී ළඟට ගියාම බැනලා එලවා ගන්නවා. බැරිම තැන මං අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ළඟට ඇවිත් මේ ගහ උඩට නැගලා විරෝධතාවයේ නිරත වුණේ මං මැරුණත් කමක් නෑ, ඉන්න අයට හරි මේ ඉඩම නිරවුල් කරගන්න ඕන නිසා.

ඉඩම් ගැටලුවට දෙදරු මවක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගසකට නැගලා

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට කාන්තාවක් විරෝධතාවයේ නිරත බවට ලද තොරතුරට අනුව හම්බන්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ අදාල ගැටලුව සඳහා විසදුමක් ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුවෙන් පසු කාන්තාව ගසින් බිමට බැස දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි. කාන්තාව ගස උඩට නැග තිබුණේ විසදුමක් ලබා නොදුනහොත් ගස උඩ සිටම සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගන්නා බව පසවමිනි. කාන්තාව අත තිබූ බෑගයේ පෙට්‍රල් බෝතලයක්ද විය.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා,

ගසක් උඩ නැග විරෝධතාවයේ නිරත වූ කාන්තාව සම්බන්ධයෙන් මට දැනගන්න ලැබුණු වහාම මං මගේ නිලධාරීන් යවා අදාළ කාන්තාව කාර්යාලයට ගෙන්වාගෙන කරුණු සොයා බැලීමක් කළා. ඒ අනුව මා අද දිනයේම මෙම ගැටලුව සම්බන්ධයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය විසඳුම ලබා දීමට පියවර ගන්නවා. ඒ වගේම මෙම කාන්තාවගේ දුක් ගැනවිල්ලට අනුව ඇයට සති කිහිපයකට සෑහෙන පරිදි වියළි සළාක පාර්සලයක් ලබා දීමටත් අප කටයුතු කළා.

මත්තල – දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment