ඉඩම් ගෙවල් ලාබෙට ලැබුණට ගන්නෙ බලාගෙන

238

රටක උද්ධමනය වැඩිවන කොට සාධාරණව හරිහම්බ කරගත්දේත් විකුණන්ට සිදුවනවා. ඒ විකුණන්නෙ රටේ සම්මත මිලටත් වඩා අඩුවෙන්. ඒ ආර්ථික ප්‍රශ්න නිසා. ලාබෙට ලැබුණ නිසා ඒ තරම් අඩු මිලකට ගන්නවා. දෙවරක් නොසිතා.

මේ කියන්න යන්නෙ හිමිකම් ඇති වුණත් නඩු කියලවත් අයිතිකරුවන් ඉවත් කර ගන්න බැරි ඉඩම් ගෙවල් ගැන. ප්‍රායෝගිකව දෘශ්‍යමාන අයගෙන් අයිතිය ලබාගත්තත් අදෘශ්‍යමාන අයව ඉවත් කරන්න ටිකක් කරදර වේවි. ටිකක් නොවේ ගොඩක් කරදර වේවි. ඉඩමක් හෝ නිවසක් ඔබට මුදලට ගත්තට ඒකේ ඇතුලේ අයිතිවාසිකම් කියන අය ඉන්නා බව නිකමටත් හිතුවේ නැද්ද?

ඔබ අලුතින්ම මිලට ගත් ඉඩමේ තිබුණු ලොකු නිවසේ කාමර කීපයක්ම තිබුණ නිසා අඩු ගණනකට දුන්න නිසාත් ගත්තා හරි තමයි. මුල්‍යමය අතින් බලන කොට ලාභයි තමයි. මුදල් ලාභ විතරක්ම බලල මදි. තව ගොඩක් දේවල් පරීක්ෂා කරන්න තිබෙනවා. ඒ අය අඩු මුදලකට හදිසියේ දුන්නේ ඇයි කියලා නිකමට වත් බැලුවේ නැහැ නේද? අලුතින් ගත් ඉඩමේ දෘශ්‍යමාන අය පදිංචි වී හිටියොත් නඩු මගින් හෝ ඉවත් කරන්න හැකි වුණත්, අදෘශ්‍යමාන අය හිටියොත් ඒ අය ඉවත් කරන්න නඩුකාර හාමුදුරුවන්ට බැරි වේවි.

අක්කර 5 ක් විතර ඇති ඉඩමේ මේ නිවස තිබුණේ කුරුණෑගල – පොල්ගහවෙලට කිලෝමීටර් 18 ක් දුරින්. ඒ දවස්වල නම් හැතැම්ම 10 ක් 12 ක් විතර ඇති. තනිකර පොල් ඉඩමක්. ඉතා පාළු ස්වභාවයක් තමයි මුළු ප්‍රදේශයම දැරුවේ. බස් රථ යන පාරට යන්ට පටු බොරළු – මැටි පාර දිගේ සැතපුම් 2 ක් විතර යන්ට ඕනෑ. වැස්ස දිනවලට ගොඩක් මිනිසුන් මේ පාර දිගේ ගමන් යෑමෙන් වැලකුනේ සර්පයින් පාරට එන නිසා. මේ බොරලු පාර දෙපැත්තේ මාන පඳුරු වගේ පඳුරු ගස් සරුවට වැවී තිබුණ. මේ පඳුරු ඇතුලේ සර්පයින්ට හොඳ තෝතැන්නක්.

මේ ස්ථානය මිනිසුන්ගේ ප්‍රයෝජනයට ලක්වුණේ ඉතාම ටිකක් නිසා පාර දෙපැත්තේ මේ පඳුරු සුද්ධ කරන්න කවුරුත් ඉදිරිපත් වෙලා තිබුණේ ඉතාම කලාතුරකින්. අවශ්‍ය ගමනක් තිබුණා නම් පයින්ම ගියා මිස බයිසිකලයක් වත් කරත්තයක් නැති තරම්.

මේ කියන ගෙදර පදිංචි වෙලා හිටියේ සයිමන් අප්පුහාමි හා ඔහුගේ භාර්යාව ඩිංගිරි මැණිකේ. ගමේ මිනිසුන් කතා කළේ “අප්පො” කියලා. එක පුතෙක් විතරයි හිටියේ. අප්පො කියන විදියට මෙහාට ආපු දවසේ ඉඳලම මේ ගේ තුළ එක එක ශබ්ද ඇසෙනවා. සමහර විට වහපු දොරවල් ඉබේ ඇරෙනවා. මමම පත්තු කරපු ලයිට් ඉබේම නිවිලා යනවා. මම කලින් හිතුවේ හුළඟට එහෙම වෙනවා කියලා. පස්සෙ පස්සේ එක එක නුපුරුදු ශබ්දවල් එන්ට පටන් ගත්තා. ඒ එක්කම සැර ගඳවල් එනවා උහුලන්න බැහැ. මම සාමාන්‍යයෙන් මේවට බය වන කෙනෙක් නොවේ. නමුත් දවසක් රාත්‍රී 10 ට විතර කවුදෝ ටැප් එක ඇරගෙන නානවා. ඒක දැකලා ටිකක් බය වුණා. මට නින්ද යාගෙන එනකොට කවුරුහරි ගේ ඇතුලේ ඇවිදිනවා. එන්න එන්නම මේ කරදර වැඩි වෙලා ගෙදර කිසිම වගතුවක් නැති වෙලාම ගියා. සමගිය නැති වුණා. මේ කරුණු නිසාමයි මහත්තයෝ පුතා රට දාලා යන්ට ප්‍රධාන හේතුව වුණේ. මේ එකක්වත් අපේ හාමිනේට පෙනෙන්නෙ නැහැ.

ගුරුන්නාන්සෙට ලැබුණු ආරාධනාවකට තමයි මමත් මේ ගමනට සම්බන්ධ වුණේ. ගුරුන්නාන්සෙයි මමයි ගෝලයාත් මේ ස්ථානයට එනකොට හවස 4 විතර ඇති. දැනුනේ හරියට හවස 6 වගේ අපිට ගැමි ආහාරවලින් සංග්‍රහ කළා. කුරක්කං වගේ දේවල් නිසා කන්නත් ටිකක් අමාරුයි. “අප්පො” කියන විදියට මේ ගෙදර කලින් හිටපු අයට මේක ලැබිලා තිබෙන්නෙ භාර්යාවට දුරින් නෑකම් කියන අයගෙන්. ඒ අයට මේ ගෙදර ඉන්නට බැරි තැන තමයි අඩු ගානකට අපිට විකුණලා තිබෙන්නේ. ලාබෙට ලැබුණ නිසා අපිත් අරගෙන හරියට කරදරයක් නැතුව හිටියේ මාස 03 යි. ඊට පස්සේ දිගටම ආපු කරදර නිසා හැම තැනින්ම ගුරුකම් කරන අය ගෙන්වලා බැරි වුණ තැන තමයි අපේ ගුරුන්නාන්සේට කියලා තිබෙන්නේ.

තේ ටික බීල අලුත් විටක් කොටන ගමන්ම “අප්පෝ” විස්තර කතාව දිගහැරියා. මෙයා මේ ඉඩම ගන්න ඉස්සෙල්ලා මේ ඉඩමයි ගෙයි අයිති වෙලා තිබිලා තියෙන්නෙ ඒ පළාතේ හිටපු ගම්මුලෑදැනියෙකුට පුරුවේ කළ කරුමෙකට මෙයාට දරුවෝ නැතිලු. එයාගේ ගැහැනිත් එයාට කලින් මිය පරලොව ගිහිල්ලා. ඊට පස්සේ මෙයාගේ බල පුළුවන්කාරකම් පෙන්වමින් ඉන්නකොට සුව නොවන දද කුෂ්ඨයක් ඇඟ හැම තැනම ආවලු. කොච්චර බෙහෙත් ගත්තත් කිසිම සුවයක් නොලැබුණ නිසාත් වේදනාව දරාගන්න බැරි වූ තැන මේ විශාල ගෙදර එක කාමරය බාල්කයක එල්ලී මැරුණාලු. එදා සිට කාටවත් මේ ගෙදර පදිංචි වෙලා ඉන්න දෙන්නෙ නැහැලු. මේ කිසිවක් නොදත් නිසාත් ලාබෙට හම්බ වුණ නිසාත් මෙයා මේ ගේ ඉඩම ගත්තාලු.

මේ මිනිහා ඉන්න කාලෙ අසල්වැසි කාත් සමගත් කිසිම ඇසුරක් වෙලා නැහැ. අඩුම තරමේ පොල් ගෙඩියක්වත් අහුලන්න කවුරුවත් මේ වත්තට ඇවිල්ල නැහැ. ඒ තරමට මේ මිනිසා ඉතාම තණ්හාවෙන් ඉඳලා තිබෙන්නේ.

මේ වත්ත දිහා බැලුවාමත් මහා මූසල පාටයි. ගෙවල් දොරවල් සුද්ධ කරපු කාලයක් මතක නැහැලු. කාමර නම් ගොඩක් තිබුණට පාවිච්චි නොකළ කාමරත් තිබුණා. දරුවා රට ගියායින් පස්සේ සමහර කාමර විවෘත කරලාවත් නැහැ. හුළං ටිකක්වත් වදින්න. අපි ගිහිල්ලා පැය 1/2 ක් විතර වත්තේ එහාට මෙහාට ගියා. අමුත්තක් දැක්කෙ නැහැ. ඊට පස්සේ කාමර කීපයක් බැලුවා. පුස් ගඳ හැරෙන්න විශේෂ දෙයක් තිබුණෙ නැහැ. ප්‍රේත දොල උයන්න ගෝලයා වත්තේ පාළු තැනක ලිපි හැදුවලු. ලිප නම් පෙරළලා තිබුණා කියලා කිව්වා.

ගොම්මන් වෙලාවත් පසු වුණ හින්දා අපි ගෙදර කතා කර ගත් පරිදි සවස 6.30ට විතර ඇති. ගෝලයා ආරක්ෂක මුට්ටි වළලන්න වත්තෙ වල් හාරනවා අට කොනට. මම තුන්පට කපු නූල ඇද්දා ස්ථානය සීමා කරන්න. එක තැනකදී මට දැනුනා මගේ උරහිසට කවුදෝ කෝටුවකින් ගහනවා වගේ. එතකොටම ගෝලයා වල් හාරන්න ගෙන ගිය නාරාසනයත් (යකඩේ) එතැන දමා පැන ආවා “වල් හාරන්න දෙන්නෙ නැහැ. කවුදෝ කළු කෝට්බෑයක් ඇඳගත් කෙනෙක් කියලා. ගුරුන්නාන්සේ ගොක් අතු කෙසෙල් බඩ සුද්ධ කරනවා යහන් හදන්න. දැන් මටත් ගුරුන්නාන්සේටත් විශාල ප්‍රශ්නයක්. යාගය කරන්නත් බැහැ. ගෙදරදී කතිකා කරගත් පරිදි ක්‍රමය අපි වෙනස් කළා. තීන්දු පුටුව මම මතුරන්නත්. දොල මම ළඟ ඉඳගෙන ගෝලයා උයන්නත්. ආරක්ෂක ක්‍රියාදාමය හා යහන් තටු හැදීම ගුරුතුමා කරන්නත් පුහුල හා දෙහි සමග ගෙරිඔලුව අපි දෙදෙනාම කපා දැමීමටත් අපි තීරණය කර ගත්තා.

තීන්දු පුටුව (ප්‍රේත තටුව) මම මතුරන කොට මට වටහාගන්න පුළුවන් වුණා වෙලා තිබුණ දේ. ඒකට ගුරුතුමාටත් වෙලා තිබුණා. එවෙලේ අපි නොකිව්වට ටික විවේකයට කෝපි කෝප්පය බොන වෙලාවෙදි මයි මේ කතා වුණේ.

දැන් වෙලාව රාත්‍රී 12 කනිසම පාස් වුණා විතරයි. දෙහි ටිකත් පුහුලත් කපලා ඉවර වෙලා. ගෙරි ඔලුව කපන්න ගත්තා. පුදුමයක් කවුදෝ වහලට බොරළු කැට ගල් වගේ ගහනවා දැනුනා. මේ සිද්ධිය අදෘශ්‍යමාන බව දැනගත් අපි නොකඩවා මන්ත්‍ර කියමින් ගෙරි ඔළුව කපන්න ගත්තා විතරයි මෙන්න බොලේ කවුදෝ අපි ගෙරි ඔලුව කපන්න ගිය කඩුව පස්සට අදිනවා. වැඩේ බැරෑරුම් බව දැනගත් ගුරුන්නාන්සේ නැගිට්ටා. සැර දිගයි මන්ත්‍රවලින් දුම්මල මතුරා වත්තට ගහන ගමන් ගේ ඇතුලේ කාමරවලට දුම්මල මතුරා ගහන්න කිව්වා. හැම කාමරයකට වගේ දුම්මල ගැසූ මම පත්තු වෙලා තිබූ ගින්දර කීල (පන්දම) නොනිවි තබාගන්ට මම සමත් වුණා. මේ හැම වෙලාවෙම දුම්මල පොල්කටුව අරගෙන මා පස්සෙන් ගෝලයා මා ළඟින්ම ගියේ. බය ඇති වුණ බව මට දැනුනා. එළිවෙන යාමය තෙක් යාගය කර පසුදා පහන් වන තුරුම කිසිම අඩුවක් නැතිව යාගය අවසන් කර මැතුරූ වැලි ඉඩමට ගේ කාමරවලට ඉසින්ට අප්පොට භාරදී අපි අපේ නිවස්වලට ආවා. පොරොන්දු මුදලට වඩා ලොකු වාසියකුත් වෙලා තිබුණා. ප්‍රේත භූත ආත්ම වස්තුවකට ගිජු වුණාම ඔහොම තමයි.

ඉඩම් ගෙවල් ලාබෙට ලැබුණට ගන්නෙ බලාගෙන

පාරම්පරික ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යාධර
මීපේ ගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
මොරටුව 0779870007/0722174553

advertistmentadvertistment
advertistmentadvertistment