ඉඩම් සංවර්ධන සංස්ථාව රූලට පිටින් බේරෙ වැවට බැහැලා

146

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමත වටිනාකම ඉක්මවා ප්‍රසම්පාදන කටයුතු සිදුකර බේරේ වැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 398.25ක් වටිනා යන්ත්‍ර 04ක් මිලදී ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී යන්ත්‍ර සහ උපකරණ සඳහා ප්‍රසම්පාදනයට රුපියල් මිලියන 283.50ක් මුදලක් වෙන් කර තිබුණි. එහෙත් මෙකී භාණ්ඩාගාර ප්‍රතිපාදන මුදල ඉක්මවා 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ දී මෙම යන්ත්‍ර 04 මිලදී ගෙන තිබුණි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමත වටිනාකමට වඩා රුපියල් මිලියන 114.75ක ප්‍රසම්පාදන කටයුතු සිදුකර යන්ත්‍ර 04 මිලදී ගෙන ඇත.

මෙකී යන්ත්‍ර සඳහා රුපියල් මිලියන 169.61ක මුදලක් 2021 වර්ෂය අවසන් වන විට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ගෙවා තිබුණි. එහෙත් 2021 වර්ෂය අවසානය වන විටත් මෙකී යන්ත්‍රවල ධාවන තත්ත්වය පරීක්ෂා කර යන්ත්‍රවල වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නොතිබුණි. එමෙන්ම මෙම යන්ත්‍ර භාවිතයට නොගෙන වසර 02ක කාලයක් තිස්සේ බේරේ වැව පරිශ්‍රයේ නිශ්කාර්යව පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. බේරෙ වැවේ රොන්මඩ ඉවත්කොට පිරිසිදු කිරීම සඳහා රුපියල් මිලියන 800ක මුදල් භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ වෙන් කර තිබුණි. 2019 වර්ෂයේ මෙකී ව්‍යාපෘතියේ වැඩ අවසන් කළයුතු වුවත් මෙහි ප්‍රගතිය සියයට 21ක් තරම් වූ පහළ අගයක්ව පැවතුණි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමත වටිනාකම ඉක්මවා ප්‍රසම්පාදන කටයුතු සිදුකර තිබූ මෙකී යන්ත්‍ර සම්බන්ධයෙන් එවකට රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බව සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. අමාත්‍ය මණ්ඩලයේ අනුමත වටිනාකම ඉක්මවා මෙම යන්ත්‍ර මිලදී ගැනීමට කටයුතු කර ඇති නිසා මෙකී යන්ත්‍ර සඳහා ගෙවීම් කිරීමට අධිකාරි බලයක් වර්තමාන පාලනාධිකාරියට නොමැති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. එම නිසා මෙම යන්ත්‍ර අදාළ ලේඛනවලට ඇතුළත් කර නිල වශයෙන් භාර ගැනීමට නොහැකි වී ඇති බව ද සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment