ඉඩම ඉල්ලා මවගේ ගෙල කැපූ නරුමයා අත්අඩංගුවට – මීට පෙරත් ඉඩමක් ලියා දීලා

261

මව සතු ඉඩම් කිහිපයක් තම පුතා සහ දියණියන් දෙදෙනාට නීත්‍යනුකූලව ලියාදීමෙන් පසුව මවට අයිතිව තිබූ තවත් ඉඩමක් තමාට ලියාදෙන ලෙස පුතා කළ ඉල්ලීම, මව නොසලකා හැරීම නිසා කෝපයට පත් එම අජාසත් පුතා පොල් කඩන පිහියකින් මවගේ බෙල්ල කපා මරාදැමීමේ දුක්මුසු පුවතක් පඬුවස්නුවර ආසනයේ බරම්පොල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෙට්ටිපොල පොලිස් වසමට අයත් බරම්පොල ප‍්‍රදේශයේ පදිංචිව සිටි අප්පුහාමි ආරච්චිලාගේ සුමනාවතී මැණිකේ නමැති හැටඅට හැවිරිදි (68) තිදරු මවකි.

ඝාතනය සිදුකළ පුතා ඔහුගේ බිරිඳ හා දරුවකු ද සමග මවගේ බරම්පොල නිවසේම පදිංචිව සිටි අතර, ඉතිරිව ඇති ඉඩම ද තමන්ට ලියා දෙන ලෙස පුතා නිතරම මවට බලපෑම් කර මව සමඟ ආරවුල් ඇතිකරගෙන ඇයට පහරදීම් පවා සිදුකර තිබෙන බවට පොලිසිය සිදුකර ඇති පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. හෙට්ටිපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත ගුණවර්ධන මහතා පරීක්‍ෂණ මෙහෙයවිය.

තම සැමියා පොල් කඩමින් ජීවත්වන බවත් මෙම ඝාතනය සිදුවූ දින රාත‍්‍රියේ ඔහු මව සමඟ ඉඩම මුල් කරගෙන බහින්බස් වූ බවත් ඔහුගේ බිරිඳගෙන් කළ ප‍්‍රශ්නකිරීමේදී අනාවරණය වු බව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත ගුණවර්ධන මහතා පැවසීය.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත හෙට්ටිපොල පොලිසිය මගින් මෛහි පරීක්‍ෂණ කටයුතු සිදුකර මියගිය කාන්තාවගේ මළ සිරුර මෙම නිවස තුළම තිබියදී සොයාගෙන තිබේ. සැකකාර පුතා මෙම නිවස තුළ නිදාගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනය පිළිබඳව හෙට්ටිපොල පොලිසිය ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙට්ටිපොල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම මරණය පිළිබඳව මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය හෙට්ටිපොල මහෙස්ත‍්‍රාත් දුලංගිකා ජයසිංහ මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.

කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි චන්න අබේරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ හෙට්ටිපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ගුණවර්ධන, පොලිස් සැරයන් (5360) කරුණාරත්න, කුලියාපිටිය අපරාධ ස්ථාන පරීක්‍ෂණ අංශයේ උපපොලිස් පරීක්‍ෂක තිස්ස බණ්ඩාර, පො. සැ. (19081) පත්මකුමාර, පො. කො. (84591) හේරත් යන නිලධාරීහු මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරයි.

හෙට්ටිපොල – ඒ. දසනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment