ඉඩම ලියා නොදුන්නාට උරණ වී දොස්තර මුණුබුරා 93 හැවිරිදි ආච්චිට ගහලා

467

පොලිසියටත් පාට් දාලා

ඉඩමක් ලියා නොදුන්නාට උරණ වී 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකිරීම හා රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට ද බාධා කර සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත දොස්තර මුණුබුරකු තිස්සමහාරාම පොලිසිය මගින් ඊයේ (09 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව මූලික රෝහලේ කටයුතු කරන තිස්සමහාරාම, පදිංචි 42 හැවිරිදි වෛද්‍යවරයෙකි.

සැකකාර වෛද්‍යවරයා ඉඩම් ආරවුලක් මුල්කර ගනිමින් පසුගිය 07 වැනිදා සිය 93 හැවිරිදි මිත්තණියට (දොස්තරගේ මවගේ මවට) පහරදී තුවාල සිදුකර තිබේ. එහිදී දොස්තර මුණුබුරාගෙන් පහර කෑ මිත්තණිය වු 93 හැවිරිදි දෝන තිමාරා හෙට්ටිආරච්චි නමැති අය තමන්ට මුහුණ පෑමට සිදු වූ සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු සඳහා තිස්සමහාරාම පොලිස් කණ්ඩායමක් සැකකාර වෛද්‍යවරයාගේ නිවසට ගොස් තිබේ. එහිදී අදාළ වෛද්‍යවරයා පැමිණිල්ල විමර්ශනය කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පා තිබේ. පොලිසියට ලද පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු සඳහා ගිය පොලිස් නිලධාරීන්ට දිගින් දිගටම එම කටයුතු සිදු කිරීමට නොදී පරුෂ වචනයෙන් බැන වැදී බලහත්කාරය පෑම හා 93 හැවිරිදි මිත්තණියට පහරදීම යන චෝදනා මත සැකකාර වෛද්‍යවරයා තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment