ඉඩි – අමීන් කුමාරසිංහ

1651

කුරුණෑගල යක්ගහපිටියේ ඉන්ධන පිරවුම්හලකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් විසින් දෑත්වලින් අල්ලාගෙන සිටින තරුණයකුට හමුදා ලෙෆ්ටිනන්වරයකු පයින් පහරදීමේ දර්ශන පෙළක් අඩංගු වීඩියෝවක් මේ දිනවල ප්‍රචාරය වන බව අපේ පාඨකයෝ දනිති. අන්තර්ජාලය යනු කුණුම කුණු තැනකි. එසේම හොඳ හොඳ තැනකි. එය කුණුම කුණු තැනක් වන්නේ නිරපරාදේ මිනිසුන්ට මඩ ගහන බොරු ආරංචි පතුරුවන ප්‍රසිද්ධියේ කුණුහරුප කියන digital platform එකක් ලෙස පාවිච්චි කළ හැකි නිසාය. එසේම එය හොඳම හොඳ තැනක් වන්නේ සමාජයේ තිබෙන දූෂණ වංචා සහ වෙනත් කැත සෙල්ලම් ක්ෂණිකව හෙළිදරව් කර වාර්තා කරන වේදිකාවක් වන නිසාය. යූ ටියුබ්, ෆේස්බුක්, වට්ස්ඇප් යන අන්තර්ජාල ඩිජිටල් කවුළු නොතිබෙන්නට යුද හමුදා ලුතිනන් විසින් පෙර කී තරුණයාට පයින් ගහන ආකාරය කවදාවත් හෙළිවන්නේ නැත.

අන්තර්ජාලය නිසා පුරවැසි වාර්තාකරණය නමැති සංකල්පය ප්‍රවර්ධනය වී තිබේ. කිසියම් සිද්ධියක් වාර්තා කර එය ගුවන්විදුලියකට රූපවාහිනියකට හෝ පුවත්පතකට යැවීමට නම් එම වාර්තාකරණය සිදුකරන තැනැත්තා අනිවාර්යයෙන්ම මාධ්‍යවේදියකු විය යුතු වෙයි. එයට හේතුව මේ රටේ ගුවන්විදුලි රූපවාහිනි සහ පත්තර කන්තෝරු මහජනතාවට වගකියන ආයතන වීමය. අන්තර්ජාලය සහ එහි සන්නිවේදන කවුළු වන සමාජ මාධ්‍ය ජාලාවලට මොන මළ යකෙක්වත් වගකියන්නෙත් නැත; වගවන්නේත් නැත. ඒ නිසා සමාජයේ සිදුවන අසාධාරණයක් දකින ඕනෑම පුරවැසියකුට තමන් අතේ ස්මාර්ට් දුරකථනයක් තිබේ නම් එමගින් අදාළ දූෂණය හෝ වංචාව රූපගත කර ක්ෂණිකව අන්තර්ජාලයට upload කළ හැකිය.

ඉන්ධන හලේ සිටි තරුණයාට පහරදුන් ලුතිනන්වරයාගේ නම විරාජ් කුමාරසිංහ බව දැනගන්නට තිබේ. යූ ටියුබ් එකට ගොස් ඉඩි අමීන් ගේ පැරණි වීඩියෝ බලන කෙනකුට අත්‍යන්තයෙන්ම පැහැදිලි වන දෙයක් නම් ලුතිනන් විරාජ් කුමාරසිංහගේ සහ ඉඩි අමීන් ගේ හැසිරීම සමාන බවය. මෙහිදී ඉඩි අමීන් ගැන සුළුවෙන් කියමු. උගන්ඩාවේ යුද හමුදාවේ නිලධාරියකුව සිටි ඉඩි අමීන් හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණ රට කෑවේය. ඉඩි අමීන් ගේ හිසේ ද කෙස් නැත. විරාජ් කුමාරසිංහ ද තට්ටයෙකි. ඉඩි අමීන් ද උස මහතය. විරාජ් කුමාරසිංහ ද උස මහතය. කෙසේ වුවද මේ හමුදා නිලධාරියාගේ ක්‍රියා පිළිවෙත ඉතා ධීන තුච්ඡ සහ නින්දිත එකක් බව කිව යුතුය. වටේ රැස්ව සිටි ජනයා විසින් කළ යුතුව තිබුණේ ලුතිනන් අල්ලාගෙන ඔහුගේ කකුල කරකවා සපත්තුව පිටින්ම එය ඔහුගේ කටේ එබීමය. තරුණයාට පහරදෙන වීඩියෝව දෙස බලන විට පැහැදිලි වන්නේ ලුතිනන් විරාජ් කුමාරසිංහ කිසියම් සිහිමද ගතියකින් හෝ අවිඥ්ඥනිකව හැසිරෙන බවය. යුද හමුදා සෙබළුන් විසින් තරුණයා අල්ලාගෙන සිටියදී කොහේදෝ සිට එතනට එන ලුතිනන් කුමාරසිංහ එකෙනෙහිම තරුණයාට පා පහරක් දී ඔහු පසුකර එහා මෙහා ඇවිදිමින් විකාරයක් සේ දඟලනු අපි දුටිමු. මේ තරුණයා ලුතිනන්ගෙන් බේරා ගන්නා ලද්දේ පෙට්‍රල් ෂෙඩ් එකේ සිටි පොලිස් නිලධාරීන් විසිනි.

අප දන්නා හැටියට කිසියම් නොසන්සුන්කාරී තත්ත්වයකදී පොලිසියට කළ හැකි මැදිහත්වීම කරන්නට යුද හමුදාවට බලය නැත. ඉහත සඳහන් සිද්ධියෙන් ප්‍රශ්න සහ ස්ථාවර කීපයක් මතුවේ. ප්‍රශ්නය නම් 88, 89 භීෂණ කාලයේදී ලුතිනන් කුමාරසිංහ යුද හමුදාවේ සිටියේ නම් මියගිය තරුණයන්ගේ ගණන මීට වඩා බෙහෙවින් ඉහළ යෑමට ඉඩ තිබූ බවය. මෙයින් හටගන්නා ස්ථාවරය නම් යුද වැදීම සහ කොවිඩ් වැක්සීන විදීමේ කාර්යයයේදී හැර වෙනත් සිවිල් කටයුතු සඳහා යුද හමුදාව සම්බන්ධ කරගැනීමෙන් වැළකී සිටීමට ආණ්ඩුව තීරණය කළ යුතු බවය. මේ අතර ගාල්ලේ දෙවට නමැති ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලකදී යුද හමුදා නිලධාරියකු විසින් බස් ඩ්‍රයිවර් කෙනකුට පහර දුන් බව දැනගන්නට තිබේ. යුද හමුදාව මෙවැනි ගොන් වැඩ නොකළ යුතුය. මේ රටේ ජනයා මේ මොහොතේ සිටින්නේ මරාගෙන මැරෙන තරම් කෝපාග්නියක දැවෙමිනි. ගින්දරවල පිළිස්සීමට ඔවුන් ඔරොත්තු දෙන්නට පටන්ගෙන තිබේ. නැතිවීමට බොහෝ දේවල් යුද හමුදාව සතුය. එහෙත් ගින්නෙන් පිළිස්සෙන සිවිල් ජනයාට නැතිවෙන්නට දෙයක් නැත. මේ අතර කුමාරසිංහ සිද්ධිය ස්වකීය ස්මාර්ට් ෆෝන් එකෙන් වීඩියෝ කළ රසික හේරත් නමැති පුද්ගලයාට මරණ තර්ජන එල්ලවී තිබේ. සිද්ධිය වනවිට ඔහු සිටියේ යක්ගහපිටියේ තෙල් පෝලිමේය. තමන්ට මරණ තර්ජන කරන්නේ ලුතිනන් කුමාරසිංහ බව ඔහුගේ මතයයි. ඒ සම්බන්ධයෙන් ඔහුට සාක්ෂි ද ඇත.

ලුතිනන්ගේ නින්දිත හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කිරීමට අදහස් කරන්නේ කුමක්ද? සිද්ධිය ගැන ප්‍රකාශයක් නිකුත් කරන ලුතිනන් කුමාරසිංහ කියන්නේ තමන් තරුණයාට පයින් ගැසුවේ ඇඟේ නොවදින්නට බවය. ඒ අනුව කුමාරසිංහ යනු පිස්සුම ඩයල් එකක් බව අප මතක තබාගත යුතුය. ඇඟේ නොවදින්නට නම් ඔය තරම් කකුල උස්සා රඟන්නේ කුමකටද? ඒ කකුල ඉස්සිල්ලේ හැටියට ලුතිනන්ගේ කලිසම පස්සා පැත්තෙන් පුපුරා ගියේද යන්න සොයා බැලිය යුතුය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක නිලන්ත ප්‍රේමරත්න විසින් ඉතාම විකට ප්‍රකාශයක් නිකුත් කර තිබේ. යන්නේ කොහේදැයි ඇසූ විට මල්ලේ පොල් යැයි කීමෙනුත් එහාට ගොස් මල්ල වියා ඇති පන් වර්ගය ගෙනා ස්ථානය පිළිබඳව ඔහු පැහැදිලි කිරීමක් කර ඇත. ඔහුගේ ප්‍රකාශයද දැනට අන්තර්ජාලයේ තිබේ. මෙබඳු දුෂ්කර අවස්ථාවකදී ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍යවලට ප්‍රචණ්ඩ ප්‍රවෘත්ති සපයන වේදිකාවක් නොවිය යුතු බව අප විශ්වාස කරමු. ලුතිනන් විරාජ් කුමාරසිංහ ක්ෂණිකව වැඩ තහනමකට ලක්කර සිද්ධියේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට නොහැකි වන ලෙස නිහඬ කිරීම ආරක්ෂක ලේකම්ගේ සහ යුද හමුදාපතිගේ වගකීමය. මේ රටේ ජනතාව මෑත කාලීන ලංකා ඉතිහාසයේ වඩාත්ම දුෂ්කර අවධිය ගෙවමින් සිටිති. ඒ මිනිසුන්ට ඕනෑවට වඩා රිදවන්නට ගියහොත් සමස්ත ශ්‍රී ලංකාව විශාල අරගල භූමියක් බවට පත්වීමට ඉඩ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment