ඉඩෝරයට  අනෝරා වැස්සක්

732

ඉඩෝරයට පොද වැස්සක් නොව, මහා වරුෂාවක්ම ඇදහැලී ඇත. ඒ අපේ ක්‍රීඩක – ක්‍රීඩිකාවන් විසින් ආසියානු කුසලාන දෙකක්ම එක දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන දීමෙනි.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සිංගප්පූරුවේ පැවති 12 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේදී සත්කාරක සිංගප්පූරු පිල පරදා ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු ශුරතාව ගෙන දෙනු ලබන්නේ 6 වැනි වතාවටය. එසේම, ඩුබායි හි පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානු පිල පරදා පහසු ජයක් වාර්තා කරමින් ක්‍රිකට් කණ්ඩායම  ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ගෙන එන්නේද 6 වැනි වරටය.

එසේම, ඉන්දියාවේදී පැවැත්වෙන Road Safety World Serious නම් ලොව පුරා ඇති කැඩුණු පාරවල් හදන්නට ආධාර පිණිස පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලියක පළමු තරගයේදීම ඔස්ටේ්‍රලියාව පරදා ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී ඇත. ඉඩෝරයට පොද වැස්සක් නොව, මහා වරුෂාවක් ඇද වැටී ඇති බව අප කියන්නේ ඒ නිසාය. එකම දිනකදී (11) සිදුවූ මෙම ජයග්‍රහණ ත්‍රිත්වය නිසා ගෙවී ගිය ඉරිදාව Super Sports Sunday ලෙස ඇතැම් ක්‍රීඩා විචාරකයන් විසින් හඳුන්වනවා අපි දුටිමු.

සත්‍ය ලෙසම අපි ඉඩෝරයකට හසුව සිටින්නෙමු. ඉඩෝරයකට හසුව සිටිනවා පමණක් නොව, ඒ ඉඩෝරයෙන් ජීවිත ඉරිතලා, කේඩෑරි වී, කරකුට්ටන් වී සිටින ජාතියක් බවට අපි මේ මොහොතේ පත්ව සිටින්නෙමු. ඒ ගැන යළි යළිත් කතාකරන්නට ගියහොත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක ගේ සිට රාජපක්ෂවරුන් දක්වා මේ රටේ දේශපාලන පට්ටන්දරය පට්ටා ගසා අපේ සිත් යළිත් දූෂණය කරගැනීමට අපට සිදුවේ. එනිසා ඒ ගැන වැඩිපුර කතා නොකර සිටීම නුවණට හුරුය.

කොවිඩ් වසංගතය කියා මහා වසංගතයක් පැමිණ අපගේ රට පමණක් නොව, මුළු ලෝකයම උඩු යටිකුරු කළ කාලයක් තිබූ තැනින් අප මේ කතාව පටන් ගෙන ඉඩෝරය ගැන කතා කරන්නට ඕනෑ නම් පුළුවන. සැබවින්ම අපේ රටේ 17,000 ක් දෙනා මිය පරලොව ගිය, තවත් ලක්ෂ ගණනක් ආසාදනයට පත්වූ මෙම කොවිඩ් කාලය අපට තනිකරම ඉඩෝරයක් වූයේ ක්‍රීඩා, විනෝදාංශ, අධ්‍යාපන ඇතුළු සියලු අංශ මුළුමනින්ම කඩාවැටීම නිසාය.

රස්සාවල්, දරුවන්ගේ පාසල් සමය, තරුණන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණක් නොව ඉඳහිට ක්‍රිකට් මැච් එකක් බලා ගත්ත “ත්‍රිල්” එක්කවත් නැත්තටම නැති වූවේ මේ කොවිඩ් වසංගත ඉඩෝරය නිසාය. දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග අන්ත පරාජයකට ලක්ව අපට ක්‍රිකට් එපාකිරීම නිසාද මේ අතර අපට තවත් ඉඩෝරයක් හට ගත්තේය. ඒ නිසා අපි ක්‍රිකට් උන්මාදයෙන් ගැළවී වෙනත් සිහින ලෝකවල අතරමංව සැරිසැරුවේ අපට සැනහෙන්නට වෙනත් යමක් නොතිබූ නිසාය.

කෙසේ හෝ කොවිඩ් ඉඩෝරය නිමාවී යාන්තම් හුස්ම ගන්නට හදන විටම රට ආර්ථික පරිහානියකට පත් විය. ඒ ගැන කතා කරන්නට ගියොත් යළිත් අපට දේශපාලන පට්ටන්දරය මතක් වන බැවින් ඉතා ආයාසයෙන් ඒ කතා අමතක කර දමමු.

පසුගිය කාලයේ ජනතාව වැඩි පුර හිටියේ තෙල් පෝලිම්වලය. නැත්නම් ගෑස් පෝලිම්වලය. හිටියා පමණක් නොව, සමහරු දින ගණන් උයාගෙන කෑවේද මේ පෝලිම් තුළය. ඒ පෝලිම් මොනතරම් අපායක් වීද යත් 25 දෙනකුට වඩා පෝලිම් තුළ මිය ගියේ ඒ ඉඩෝරයට පොද වැස්සක් වස්සා මේ දැවී ගිය ජීවිත ගොඩදාන්නට එදා වසන්තයක් නොපැමිණි නිසාය. අඩුම තරමින් භානුක රාජපක්ෂගේ, වනිදු හසරංගගේ පිති ප්‍රහාරයක් එදා බලන්නට තිබුණානම් මෙසේ පෝලිම් තුළ මිනිසුන් මිය යන්නේ නැත.

සැබවින්ම ආර්ථික අර්බුදය නැට්ටටම නැග ඇති මේ මොහොතේ ජනතාවගේ ජීවන පීඩනය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. ජනතාවට කර කියා ගන්නට දෙයක් නැතිව උපරිම පීඩාවක සිටින මේ මොහොතේ දසුන් ශානකගේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ගයාන්ජලී අමරවංශගේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම රටට, ජනතාවට සැනසිල්ලක් ගෙන දී තිබේ. සැබැවින්ම මේ නම් කලකින් ඉඩෝරයකට වැටුණු වැස්සකි. නිකම් නොව අනෝරා වැස්සකි. එයින් ජනතාව හිතේ හැටියට තෙමී නාගත් බව අපගේ විශ්වාසයයි. දේශපාලකයන්ට නොහැකි වූ ජනතාවගේ හිත් සුවපත් කිරීම අපේම කොල්ලන් කෙල්ලන් පිරිසකට හැකි වීම සැබෑම සතුටකි. සැබෑම අරගලයකි.

advertistmentadvertistment
advertistmentadvertistment