ඉතාලියේ පුංචි ඡන්දයට යන ශ්‍රී ලාංකිකයෝ

215

කොමුණේ යනු ඉතාලි භාෂාවෙන් නගර සභාවය. කොන්සිලියෝ කොමුනිලානේ යන ඉතාලි වචනය මේ දිනවල එරට ශ‍්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප‍්‍රියය. ඊට හේතුව පිටුපස තිබෙන්නේ එරට ශ‍්‍රී ලාංකිකයන් හමුවේ උදාව ඇති නව යුගයක කතාවකි. ඒ කතාව ගොනුවන්නේ මෙසේය.

ඉතාලි සිහිනය දිගේ ඉතාලියට පැමිණි ශ‍්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් කාලයක සිට එරට වාසය කරති. ඒ එරට කුමන හෝ රැකියාවක නිරතව වඩා හොඳ ආර්ථිකයක් සහිතව ජීවත්වීමේ අරමුණෙනි. දැන් එම යුරෝ සිහිනයේ පමණක් ගිලී සිටි ශ‍්‍රී ලාංකිකයන් හමුවේ උදාවී තිබෙන්නේ ඓතිහාසික අවස්ථාවකි. ඒ මුලින් රැකියාවක් පමණක් ද පසුව පුරවැසිභාවය ද හිමි වූ ඔවුන්ට දැන් ඉතාලියේ දේශපාලනයට සම්බන්ධ වීමේ වටිනා අවස්ථාවක් උදාවී තිබීමය.

ඉතාලියේ වෙසෙන යුරෝපීය නොවන ආසියාතික සම්භවයක් ඇති ඉතාලි පුරවැසියන් වෙනුවෙන් එරට දේශපාලනය තුළ ලබා දෙන මෙම හිමිකම ඔවුන්ට ලැබී තිබෙන්නෙ ඉතාලියේ නගර සභා මැතිවරණයෙනි. ඔක්තෝබර් 03 සහ 04 දෙදින තුළ පැවැත්වෙන මෙම මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයින් ලෙස ඉතාලියේ දේශපාලන කරළියට පිවිසීමට ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලාංකිකයන් 06 දෙනෙකුට අවස්ථාව ලැබී ඇත. එයින් හතර දෙනකුම තරග වදින්නේ ඉතාලියේ මිලානෝ නගරසභාවට අයත් ඡන්ද කොට්ඨාස නවය අතරින් කොට්ඨාස හතරක් සඳහාය. ඔවුන් අතරින් මිලානෝ නගරයේ අංක 8 ඡන්ද කොට්ඨාසයට තරග කිරීමට ඉදිරිපත්ව තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ සහ ඉතාලියේ ද්විත්ව පුරවැසිභාවය හිමි ධම්මිකා චන්ද්‍රසේකරය.

වසර තිස්පහක පමණ සිට ඉතාලියේ වෙසෙන ඇය 1986 වසරේදී ඉතාලියට සංක‍්‍රමණයව ඇත්තේ බොහෝ දුෂ්කරතා මැදය. ඇයද එරට වෙසෙන බොහෝ ශ‍්‍රී ලාංකිකයන් මෙන් දේශ සීමා තරණය කර ඉතාලි සිහිනය සැබෑ කරගත් ශ‍්‍රී ලාංකිකයෙකි. කඳානේ සෙන් සෙබස්තියන්, ද මැසනොඞ් කොලේජ් සහ රොස්මින්ඞ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය විදේශගත වන විට රැකියාවක නිරතව සිට ඇත්තේ එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ පුද්ගලික ලේකම්වරියක ලෙසය. ඉතාලියට පැමිණෙන ධම්මිකාගේ මුල් වාසස්ථානය නාපොලි නගරයයි. එහිදී මව් රටේ මෙන් සුව පහසු රැකියාවක් හිමි නොවූ ඇයටද නිරත වීමට සිදුවූයේ අනෙකුත් විදේශිකයන් මෙන් පිරිසිදු කිරීමේ රැකියාවකය. පසුව 1990 වසරේදී ඉතාලියේ ධනවතුන්ගේ නගරයක් ලෙස සැලකෙන මිලානෝ නගරයට සංක‍්‍රමණයව විවිධ රැකියාවන් කරමින් අඩියෙන් අඩිය ඉහළට පැමිණි ධම්මිකා දැනට වසර විසිඅටක සිට කෝකියෙකු චෙෆ් ලෙස ආයතනයක සේවය කරන්නීය. මිලානෝ නගරයේ ශ‍්‍රී ලාංකියන්ගේ සුබසාධන කටයුතුවලදී ඉදිරියෙන්ම සිටින කාන්තාවක වන ධම්මිකා චන්ද්‍රසේකරට සක‍්‍රීයව ඉතාලියේ දේශපාලනයට දායක වීමට හැකි වීම සම්බන්ධව ඇය මෙසේ කියන්නීය.

‘‘මට අවශ්‍ය අපේ රටේ නම මේ රටේ තියන්න. ශ‍්‍රී ලාංකිකයන් කියන්නෙ ක්ලීනින් සර්විස් වගේ කුඩා කුඩා රැකියාවලට පමණක් කොටු විය යුතු අය නෙවෙයි. මේ රටේ අනෙකුත් අයට ඒත්තු ගන්වන්න හොඳ අවස්ථාවක් මේක. අපේ අය වෙනුවෙන් යම් හ`ඩක් නගරසභාව තුළ නගන්න මේක අවස්ථාවක්..’’ධම්මිකා පවසන්නීය.

රෝයි අබේසේකර හෙවත් එරට ශ‍්‍රී ලාංකිකයන් අතර ප‍්‍රසිද්ධ රෝයි ගංතා මිලානෝ නගරසභාවේ අංක 05 කොට්ඨාසයට තරග කරන අපේක්ෂකයෙකි. කොළඹ කොලොන්නාව ප‍්‍රදේශයේ උපන් ඔහු වසර 47 ක සිට ඉතාලියේ වාසය කරන්නේය. රැකියාව සඳහා නැවියෙකු ලෙස හැත්තෑව දශකයේදී නැව් නැග ලෝකයේ රටවල් ගණනාවකට යන ඔහුගේ අවසන් නැවතුම්පොළ වන්නේ ඉතාලියේ මිලානෝ නගරයයි. අද ඉතිලියේ දේශපාලනයට පිවිීසීමට වරම් අපේක්ෂාවෙන් සිටින ඔහු එම අරමුණ ගැන කියන්නේ මෙවැන්නක්.

‘‘මම නවසිය හැත්තෑවෙදි ලංකාවෙන් ගියෙත් දේශපාලනය කරල. හත්වෙනි එළිසෙබෙත් රැජනට විරුද්ධව කුමන්ත‍්‍රණය කිරීම මට එල්ල වුණ චෝදනාව වුණේ. අපේ රට ජනරජයක් කරගන්න අපි වැඩකරමින් සිටියෙ. මම ලංකාවේ ඉන්නකොටත් දේශපාලනය කළා. මිලානෝ නගරයේ දැන් මම කාලයක ඉඳන් ජීවත් වෙනවා. මේ අවස්ථාව මා දකින්නෙ විදේශීය සම්භවයක් සහිත ඉතාලි පුරවැසියන් වන අපට ඓතිහාසික අවස්ථාවක් විදියට. නගරසභාවට තේරුණොත් අපිට අපේ ගැටලූ ප‍්‍රශ්න යෝජනා නගරසභාව තුළදී ඉදිරිපත් කරන්න පුළුවන්.’’

රෝයි ගංගාගේ අදහස වන්නේ විශාල කාර්යභාරයක් විදේශීය නගරසභා සභිකයෙකුට කරන්න බැරි වුවද ඉතාලි දේශපාලනය තුළ ශ‍්‍රී ලාංකික ඉතාලි පුරවැසියන් වෙනුවෙන් යමක් කිරීමට ලැබුණු හොඳම අවස්ථාව මෙය බවය. ක‍්‍රිස්ටෝපර් දඹගේ අප හැඳින ගන්නේ මිලානෝ නගරසභා අංක 07 කොට්ඨාසයට ඉදිරිපත්ව සිටින තවත් ශ‍්‍රී ලාංකීය අපේක්ෂකයෙකු ලෙසය. වෙන්නප්පුව ශාන්ත මරියා සහ මාරවිල ශාන්ත සේවියර් පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති ඔහු මෙරට ජාතික තලය නියෝජනය කළ දක්ෂ මලල ක‍්‍රීඩකයෙකි. මීටර් 1500 ඉසව්වෙන් ජාතික මලල ක‍්‍රීඩා ශූරතාව නියෝජනය කර ඇති ක‍්‍රිස්ටෝපර් විදේශගත වන්නේ පවුලේ පැවති දැඩි ආරථික දුෂ්කරතාවට පිළිතුරක් සොයාගෙනය. ස්වකීය නිවස උකසට තබා මුලින්ම යුගොස්ලෝවියාවට පැමිණි ඔහු රටින් රටට දේශසීමා තරණය කර අවසානයේ ඉතාලි සිහිනය සැබෑ කරගත්තේය. මිලානෝ නගරසභා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ විරල අවස්ථාව ඔහුට හිමි වූ අයුරු ක‍්‍රිස්ටෝපර් පැහැදිලි කළේ මෙසේය.

‘‘මට අපේක්ෂකත්වය ලැබෙන්නෙ ඉතාලියේ පවතින විපක්ෂයෙන්. මට ආරාධනාව ලැබෙන්නෙ එම පක්ෂයේ ක‍්‍රියාකාරී ඉතාලි ජාතිකයෙකුගෙන්.

මේක අහම්බයෙන් ලැබුණ අවස්ථාවක්. මම කාලයක ඉඳන් පාපන්දු ක‍්‍රීඩා සමාජයක් පවත්වාගෙන යනවා. ක‍්‍රීඩා සමාජයේ බොහෝ දෙනෙක් ශ‍්‍රී ලංකාව වැනි විදේශීය රටවල සාමාජිකයන්. මගේ බලාපොරොත්තුව මේ අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන ක‍්‍රීඩාව පැත්තෙන් යමක් කිරීමට’’ යැයි ක‍්‍රිස්ටෝපර් පවසන්නේය.

ක‍්‍රිස්ටීනා ගිත්මි මිලානෝ නගරයේ සමස්ත කොට්ඨාස සඳහා තරග වදින තවත් ශ‍්‍රී ලාංකික කාන්තාවකි. භාෂා හයක නිපුනතාවක් ඇති ඇය දක්ෂ තරුණ කාන්තාවකි. මිලානෝ නගරයේ බෙප්පේ සාලා නගරාධිපති සමග ඩෙමොක්ක‍්‍රටික් පක්ෂයෙන් ඇය මිලානෝ මහ නගර සභා මැතිවරණ තරග බිමට පිවිස තිබේ.

මිලානෝ නගර සභා ඡන්දයට ඉදිරිපත්ව සිටින එම ශ‍්‍රී ලාංකික අපේක්ෂක අපේක්ෂිකාවන් හතර දෙනා හැරුණ විට ඉතාලියේ නාපෝලි නගරසභා තරග බිමට පිවිස ඇති අනෙකුත් ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති ඉතාලි පුරවැසියන් වන්නේ අංජලී අලහකෝන් සහ රවීන්ද්‍ර ජෙගන්ය. නාපොලි නගරයේ ජීවත්වන විදේශීය ජාතීන් 105 අතරින් එක් මන්ත‍්‍රී ධුරයක් සඳහා තරග බිමට පිවිස ඇත්තේ රවීන්ද්‍ර ජෙගන්ය. ඔහුගේ ප‍්‍රතිවාදීන් වන්නේ එක් සෙනගල් ජාතිකයෙක් සහ බංගලාදේශ ජාතිකයෙකි. අංජලි අලහකෝන් මැතිවරණයට පිවිස ඇත්තේ ඉතාලියේ උපත ලද ඉතාලි ජාතික අපේක්ෂිකාවක ලෙසිනි. නාපොලි නගරාධිපති අපේක්ෂක ට්ැඒබද ප්බරෙැාස රිපබ්ලිකන් ඩිමොක්ක‍්‍රටික් පක්ෂයෙන් තරග කරන ඇය තවමත් 25 හැවිරිදි යෞවනියකි. ඉතාලියේ බ්චකැි ෙැාැරසජද 11 විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති ඇය දේශපාලනයට පිවිසීමේ අරමුණ පිටුපස ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් දැනගත යුතු බොහෝ කරුණු තිබේ.

‘‘ අවුරුදු තිහක් තිස්සේ ජීවිතය පවා පරදුවට තියල , බෝට්ටු වලින්, කැලෑ මැදින් ඉතාලි සිහිනය සැබෑ කරගත්ත දහස් ගණනක් මම දැකල තියනවා. ඒ අයගේ අයිතිවාසිකම් ගැන හ`ඩක් නගන්න කවුරුත් නෑ. හිටිය නම් ඒ වෙනත් වාසි පසුපස දුවන අය. ඇත්තටම මම මේ ඡන්දයට ඉදිරිපත්වීමේ අරමුණ අවන්හල්වල, නිවෙස්වල, වතුවල වැඩ කරපු පළමු පරම්පරාවේ දහඩිය මහන්සිය අගයට වටිනාකමක් දෙමින් ඔවුනගෙන් බිහිවුණ අපේ දෙවන පරම්පරාවේ කතාව අලූතින් ලියන්නයි.

මම ලංකාවේ දේශපාලනය ගැන ගොඩක් දන්නෙ නෑ. ඒත් කනට දැනෙන ඇහෙන විදියට ඉතාලියේ දේශපාලනය තියෙන්නෙ පක්ෂ පාට වෙනුවට ප‍්‍රතිපත්ති මත ගැටිල වැඩ කිරීම. අපේ අලුත් පරම්පරාව බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ දේවල්. අලූත් පරම්පරාවේ අපේ ශ‍්‍රී ලාංකිකයන් ගෙවල්වල, වතුවල, වැඩ කරනවා වෙනුවට වෛද්‍යවරු, ඉංජිනේරුවරු වගේ වෘත්තිකයන් වෙනවා දකින්නයි මට අවශ්‍ය. ඉතාලියේ නාපොලි දේශපාලනයට එකතුවන පළමු ශ‍්‍රී ලාංකික පුරවැසියා වීම මගේ අරමුණ.’’ යැයි ඇය පවසන්නීය

මව්බිමෙන් එපිට විදෙස් රටක වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ට මෙවැනි අවස්ථාවක් හිමි වීම සුළුවෙන් සැලකිය හැකි නොවේ. ඉතාලියේ සරණාගතයින් සම්බන්ධව ක‍්‍රියාත්මක ලිහිල් ආගමන විගමන නීති නිසා විවිධ දුෂ්කර ක‍්‍රම ඔස්සේ ඉතාලියට ගියද සියයට අනූ නවයකටම තවමත් හිමි වන්නේ වතු ආශී‍්‍රත, ගෘහ සේවය හෝ හෝටල් ආශ‍්‍රීත සේවය කිරීමය. එවැනි පසුබිමක සමෘද්ධිමත් රටක් වන ඉතාලියේ සක‍්‍රීය දේශපාලනයට පුරවැසිභාවය ලද ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රවිශ්ට වී්මේ ප‍්‍රවණතාව නව යුගයක උදාවකි.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment