ඉතාලියේ රැකියාවට ගොස් වෙරෝනා නගර සභා මැතිවරණයට තරග කරන… මුත්තෙට්ටුගල බින්දු

870

ඉතාලිය කියූ පමණින් එය බොහෝ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ සිහින දේශය බවට පත්වන්නේ කලක පටන්ය. රටක් ලෙස ඉතාලියේ පවතින සුරක්ෂිත බවත් එහි රැකියාවක් කොට ඉහළ වැටුපක් ලබා ගැනීමට හැකිවීමත් හේතුවෙන් විදේශ රැකියා අපේක්ෂිත බොහෝ දෙනෙක් වැඩි නැඹුරුතාවක් දක්වනු ලබන්නේ ඉතාලි ගොස් රැකියාවක් කිරීම පිණිසය. එම නැඹුරුතාව කොතෙක්ද යත් ඉතාලිය සම්බන්ධයෙන් ලියවුණු ගීතයක් පවා මෑතකදී මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඉතාලියේ රැකියාවක් පිණිස පිටත්ව ගිය තරුණයෙකු පාදක කර ගනිමින් එම ගීතය රචනා කොට ඇත. පහත පළවන්නේ ඊට තරමක් වෙනස් තේමාවකින් යුත් කතා පුවතක්ය. ඒ තුළින්ද කියවෙන්නේ ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳවය. ඔහු සුවිශේෂී වන්නේ රැකියාවක් පිණිස ඉතාලිය බලා පිටත්ව ගොස් කාලයක් ගත වීමත් සමඟ එරට පවත්වනු ලබන මැතිවරණයකට තරග කිරීමට තරම් සුදුසුකම් හිමි කරගත් පුද්ගලයෙකු වීම හේතුවෙන්ය. රැකියාවක නිරතවීම සඳහා පමණක් වුව ද ඉතාලිය බලා පියාසර කිරීම දුෂ්කර කටයුත්තක් ව පවතින වටපිටාවක එරට ප්‍රාන්ත මැතිවරණයකට තරග කිරීම යනු ශ්‍රී ලාංකිකයෙකුට හිමිවන දුර්ලභ වරප්‍රසාදයක්ය. එම වරප්‍රසාදයට හිමිකම් කියනු ලබන ශ්‍රී ලාංකිකයා බවට පත්වන්නේ චින්තක ධනංජය මෙන්ඩිස් අබේසේකර ය. ඉතාලියේ ජීවත්වන බොහෝ දෙනෙක් ඔහු හඳුන්වනු ලබන්නේ “බින්දු” යන අන්වර්ථ නාමයෙන්ය. අදින් වසර ගණනාවකට පෙර දිගු වෙහෙසකර ගුවන් ගමනකින් ඉන්දු සයුර පසුකරන බින්දු පළමුව ස්විට්සර්ලන්තයට ළඟාවන්නේ එරට රැකියාවක නිරතවීමේ අපේක්ෂාවෙන්ය. හිම මිදෙන ස්විට්සර්ලන්ත සිහිනය දින කීපයක් තුළ “හිම” මෙන් දියව යන අතර ඔහු ඉතාලිය බලා පිටත්ව යන්නේ ඉන් අනතුරුවය. අනපේක්ෂිත අයුරින් සිදු වූ ඉතාලි ගමන චින්තක අබේසේකර හෙවත් බින්දු ගේ ජීවිත ගමන තුළ මුන ගැසුන සුවිශේෂී නවාතැන්පළක් බවට පත් වන්නේ එතැන් සිටය. එය කොතෙක් ද යත් තවත් දින කීපයක ඇවෑමෙන් පැවැත්වීමට නියමිත වෙරෝනා නගර සභා මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බින්දු ඒ සඳහා තරග වදින්නේ ආසියානු රටක් නියෝජනය කරමින් ඉදිරිපත් වන එකම අපේක්ෂකයා බවට පත්වීමේ වරමද හිමිකර ගනිමින්ය.

මෙතෙක් දුර පැමිණි පැතුම් සහගත ගමන පිළිබඳ ආවර්ජනයක් ද සහිතව නුදුරු දිනක පැවැත්වීමට නියමිත verona නගර සභා මැතිවරණය පිණිස තමන්ට තරග කිරීමට ඔහුට අවස්ථාව හිමි වූ ආකාරය පිළිබඳවද කතාබහ කිරීම පිණිස අවස්ථාවක් උදා කරගත් චින්තක අබේසේකර (බින්දු) ඒ සඳහා ආරම්භයේ ලබා ගත්තේ තමන් කුඩා කල කෙලි සෙල්ලම් කළ උපන් ගම පිළිබඳ වූ ආදරණීය මතකයන් කිහිපයක් මෙනෙහි කරමින්ය.

ඉතාලියේ රැකියාවට ගොස් වෙරෝනා නගර සභා මැතිවරණයට තරග කරන… මුත්තෙට්ටුගල බින්දු

“…කුරුණෑගල මුත්තෙට්ටුගල කියන ප්‍රදේශය තමයි මගේ ගම. ඒක හරි ලස්සන ගම්මානයක්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ උසස් පෙළ වාණිජ විද්‍යා විෂය ධාරාව යටතේ ඉගෙන ගන්න කුරුණෑගල ශාන්ත ආනා විදුහලට ඇතුළත් වෙනව. වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරුවට කලාව කියන එක පුංචි කාලෙ ඉඳලම මගේ ඇඟේ තිබුණා. ඊට අමතරව සමාජ සුබසාධන කටයුතු ආදියේදී ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබෙනවා. ඒ හින්ද පාසලේදී වගේම සාමාන්‍ය සමාජය තුළත් ලබාගත් යම් ජනප්‍රියත්වයක් එක්ක තමයි මම තරුණ වියට පිවිසෙන්නේ..”

තම පාසල් විය පිළිබඳ මතක ආවර්ජනය කරමින් අප හා කතාබහට එක් වූ බින්දු පවසා සිටි දේ වැඩිදුරටත් සනාථ කිරීම පිණිස ඔහු සතුව සම්මාන සහතික බොහෝ විය. එම සහතික බොහොමයක් ඔහුගේ හැකියාවන් අගයමින් ප්‍රදානය කර තිබූ අතර චිත්‍ර ශිල්පියකු, නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ ක්‍රියාධරයෙකු ලෙස ඔහු විසින් දක්වා තිබූ හැකියාවන් අගයනු පිණිස එම සම්මාන සහතික ආදිය ප්‍රදානය කර තිබූ ආකාරය දැක ගත හැකි විය. එවැනි හැකියාවන් සහිත පුද්ගලයෙකු වූ බින්දු රට හැර ගියේ මන්ද? යනුවෙන් නගන ලද පැනයට පිළිතුරු දුන් ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ රටක් ලෙස තමන්ගේ හැකියාවන්ට නිසි වටිනාකම් ලබා නොදීම හේතුවෙන් උපන් බිම හැර යෑමට සිදු වූ බවත් එම සමුගැනීම අතිශය වේදනාවක් ගෙනදුන් කරුණක් බවට පත්වූ බවත්ය. දුක සතුට සම සමව මුසු වූ අතීතයෙන් වර්තමානයට පැමිණි බින්දු ඉන් අනතුරුව සඳහන් කර සිටියේ රැකියාවක් පිණිස ඉතාලිය බලා පැමිණි ගමනේ සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කරමින් එරට නගර සභා මැතිවරණයට තරග කිරීමේ විරල අවස්ථාව තමන් වෙත හිමි වූ ආකාරය පිළිබඳවය.

“…. රැකියාවක් අපේක්ෂාවෙන් ඉතාලියට එන මට අවුරුද්දක් පමණ කාලයක් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කොහොම වුණත් මාස තුනක පමණ කාලයක් ගතවෙද්දි ඉතාලි භාෂාව තරමක් දුරට ලියන්න කියන්න මට පුළුවන්කම ලැබෙනව. ඇත්තටම මගේ උනන්දුව මත ලබාගත් ජයග්‍රහණයක් ලෙසත් එය හඳුන්වන්න පුළුවන්. වසරක් දෙකක් ගත වෙද්දි ඉතාලි ජාතිකයකු තමන්ගේ භාෂාව හසුරුවන්නේ කෙසේද ඒ තරමටම ඉතාලි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක් ලබා ගන්න මට පුළුවන්කම ලැබෙනව. ඒ විතරක් නොවෙයි. හොඳින් ඉතාලි භාෂාව හසුරුවන්න පුළුවන් වීමත් එක්ක ඒ රටේ ජනතාවත් සමග සමීප ඇසුරක් පවත්වන්නත් මට අවස්ථාව ලැබෙනව. ඒ ජනප්‍රියත්වයත් එක්ක තමයි මැතිවරණයට තරග කරන්න කියල මට ආරාධනා ලැබෙන්නේ. හිටපු නගරාධිපතිවරයා වෙනත් කෙනෙකු මාර්ගයෙන් මාව හඳුනාගෙන මා සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකින් පසු ඔහු විසින් තීරණය කරනව ඔහුගේ කණ්ඩායම යටතේ මෙවර පැවැත්වෙන නගර සභා මැතිවරණය පිණිස මා තරග කළ යුතුයි කියල. ඒ ඉල්ලීම අනුව තමයි මම ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ…”

ඉතාලියේ රැකියාවට ගොස් වෙරෝනා නගර සභා මැතිවරණයට තරග කරන… මුත්තෙට්ටුගල බින්දු

වයස අවුරුදු 23 ක් සම්පූර්ණ වීමත් සමඟ 1999 වසරේදී ඉතාලිය ද බලා පිටත්ව යන අප කතානායක බින්දු හෙවත් චින්තක අබේසේකර එතැන් සිට මේ දක්වා එරට රැකියාවක නිරත වන අතර මේ වන විට ඔහුට වයස අවුරුදු 46ක් සම්පූර්ණ වී ඇත. රැකියාවට අමතරව නිදහස් ජනමාධ්‍ය වේදියෙකු ලෙසත් ප්‍රකට නිවේදකයකු ලෙසත් එරට ජීවත්වන දෙස් විදෙස් ජනතාව අතර ප්‍රකටව සිටින ඔහු මෙවර පැවැත්වෙන වෙරෝනා නගර සභා මැතිවරණය පිණිස ඉදිරිපත් වීමට තීරණය කරනු ලබන්නේ වෙරොනා හි හිටපු නගරාධිපති ෆ්ලාවියෝ තෝසි මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදිය. උතුරු ඉතාලියේ පිහිටි සුවිශේෂී නගර සභාවක් වන වෙරෝනා හි ජනගහනය දෙලක්ෂ පනස් දහස ඉක්ම වන අතර ඔවුන් අතරින් ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් ජයග්‍රාහී අපේක්ෂකයන් 36 දෙනකු පමණ වෙරෝනා නගරසභා මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කර ගැනීමට නියමිතය. එහිදී හිටපු නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම නියෝජනය කිරීමේ වරම චින්තක අබේසේකර විසින් හිමි කර ගන්නා අතර වෙනත් පක්ෂ දෙකක් නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එම මැතිවරණය සඳහා තරග වැදීම මෙවර මැතිවරණයේ දකින්නට ලැබෙන තවත් විශේෂත්වයකි. මෙම මැතිවරණය සඳහා ඉතාලි පුරවැසිභාවය හිමි වෙරෝනා නගර සභා බල ප්‍රදේශය තුළ ජීවත්වන එරට ජාතිකයන්ට මෙන්ම ඕනෑම විදේශීය ජාතිකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක. වෙරෝනා නගරසභාවේ පවතින තවත් විශේෂත්වයක් බවට පත්වන්නේ යුනෙස්කෝව විසින් එම නගර සභා බල ප්‍රදේශය ලෝක උරුමයක් බවට නම් කොට තිබීමය. විශ්ව කීර්තියට පත් විලියම් ශේක්ස්පියර් විසින් රචිත රෝමියෝ ජුලියට් නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක වන රෝමියෝ සහ ජුලියට් උපන් ප්‍රදේශය ලෙස ද වෙරෝනා නගරය ලෝක සම්භාවනාවට පත්ව ඇත.

එවැනි පෞරාණික වටිනාකමකින් යුත් ප්‍රදේශය කේන්ද්‍ර කොට ගනිමින් පවත්වනු ලබන නගර සභා මැතිවරණයක් පිණිසයි පෙනී සිටින චින්තක අබේසේකර එසේත් නැත්නම් බින්දු අප හා සඳහන් කර සිටියේ මේ දිනවල තමන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටින බවත් ඒ සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉතාලි ජාතිකයන් ද ඉතා උනන්දුවෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු පිණිස ඉදිරිපත්ව සිටින බවත්ය. මේ දිනවල වෙරෝනා නගරය පුරා ඔහුගේ රුව සහිත මැතිවරණ පෝස්ටර් සහ අත් පත්‍රිකා ප්‍රදර්ශනය වන බව ද එම මැතිවරණ පෝස්ටර් සිංහල සහ ඉතාලි යන භාෂා දෙකෙන්ම මුද්‍රණය කර ජනතාව අතර බෙදා හැරීමට කටයුතු කර ඇති බවත්ය.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම එරට පුරවැසිභාවය ලෝකයේ වෙනත් ජාතීන් සමග සමීප ඇසුරක් පවත්වන චින්තක අබේසේකර අප හා සිදු කළ කතාබහ නිමා කරමින් අවසන් වශයෙන් සඳහන් කර සිටියේ ඉදිරියේ පැවැත්වෙන නගර සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම පිණිස තමන්ට වැඩි ඉඩක් පවතින බවත් ඒ කෙසේ වෙතත් ඉතාලියේ පවත්වනු ලබන නගර සභා මැතිවරණයකට තරග කිරීම පිණිස තමන්ට අවස්ථාව හිමිව ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඉමහත් අභිමානයට තුඩු දෙන කරුණක් වන බවත්ය.

ශ්‍රී ලාංකිකයකු ලොව කොතැන හෝ යම් ජයග්‍රහණයක් හිමිකර ගන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලෙස අපව සතුටට පත්කරන පුවතක්මය. ඉකුත් දිනක ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු අසුනක් දිනාගැනීම ලාංකිකයන් ලෙස අපව සතුටට පත් කළ පුවතක් විය. ලබන ජුනි මස 21 වන දින පැවැත්වෙන වෙරෝනා නගර සභා මැතිවරණයෙන් චින්තක අබේසේකර යම් ජයග්‍රහණයක් හිමි කර ගනීද එයද ශ්‍රී ලාංකිකයන් ලෙස අපව ප්‍රහර්ෂයට පත් කරවන ආරංචියක් වනු ඇත.

කෙසේ වෙතත් “පැතුම් සහගත මිනිසුන් ලෙහෙසියෙන් පරාජය කළ නොහැක” යනුවෙන් සඳහන් පැරැණි කියමනක් ඇත. චින්තක අබේසේකර හෙවත් බින්දු මෙතෙක් ආ ගමන් මග දෙස අවධානය යොමු කර බලන විට ඔහු ද අයත් වන්නේ පැතුම් සහගත මිනිස්සුන්ගේ නාමාවලියට ය. ඔහු ලබා ඇති සම්මාන සහතික ආදිය ඊට සාක්ෂි සපයනු ඇත. එබැවින් ඈත දුරු රට ඉතාලියේ මහ මැතිවරණයට පමණක් දෙවැනි වන වෙරෝනා නගර සභා මැතිවරණය පිණිස තරග වදින චින්තක අබේසේකරගේ ජයග්‍රහණය ඔහුගේ පමණක් නොව එරට වෙසෙන ශ්‍රී ලාංකික සියලු දෙනාගේම ජයග්‍රහණයක් වනු ඒකාන්තය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment