ඉතාලි අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වෙයි

72

සිය සභාග රජයේ හවුල්කාර පක්ෂයක් රජයේ ආර්ථික ආධාර වැඩපිළිවෙළකට සහාය ලබා දීම නතර කිරීම හේතුවෙන් ඉතාලි අගමැති මාරියෝ ඩ්රැගි අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. කෙසේ වුවද අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලා අස් වීමේ ලිපිය පිළිගැනීම ඉතාලි ජනාධිපති සර්ගියෝ මට්ටරෙල්ලා විසින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

යුරෝපා මහ බැංකුවේ හිටපු සභාපතිවරයෙකු වන ඩ්රැගි කොරෝනා වසංගත සමයෙන් පසු ඉතාලිය මුහුණ දුන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් මුදා

ගැනීම සඳහා 2021 වසරේ පෙබරවාරි මාසයේදී රටේ අගමැති ධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මට්ටරෙල්ලා විසිනි. ඉතාලියේ පවතින සභාග රජයට නායකත්වය දුන් ඩ්රැගි හට සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට හේතු වී ඇත්තේ සභාග රජයේ හවුල්කාර පක්ෂයක් වන ‘ෆයිව් ස්ටාර්’ ව්‍යාපාරය ඩ්රැගි විසින් ඉතාලියේ පවුල් හා ව්‍යාපාර සඳහා ලබා දීමට සැලසුම් කර තිබූ ආධාර පැකේජයකට සහාය දිය නොහැකි බව නිවේදනය කිරීමයි.

ඉතාලියේ පවුල් හා ව්‍යාපාර සඳහා යුරෝ බිලියන 23ක ආර්ථික ආධාර පැකේජයක් ලබා දීමට අගමැතිවරයා විසින් සැලසුම් කර ඇති අතර ඒ සඳහා වන ජන්ද විමසීමේදී සිය සහාය ලබා නොදෙන බවට ‘ෆයිව් ස්ටාර්’ ව්‍යාපාරයේ නායක ගියුසෙප්පේ කොන්ටේ විසින් නිවේදනය කර තිබිණි. එසේ සිය සහය අගමැතිවරයාට ලබා නොදෙනුයේ ඔහු විසින් රටේ ඉහළ නගිමින් පවතින ජීවන වියදම පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නොතිබීම නිසා බව කොන්ටේ සඳහන් කර ඇත. කෙසේ වුවද අගමැතිවරයාගේ ඉල්ලා අස් වීම ජනාධිපතිවරයා විසින් පිළිනොගැනීම හේතුවෙන් ලබන බදාදා නැවත පාර්ලිමේන්තුවට ගොස් තමාට අගමැතිවරයා වශයෙන් බහුතරයකගේ සහාය පවතින්නේදැයි විමසා බැලීමට අගමැති ඩ්රැගි තීරණය කර ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment