ඉතාලි ගියා කිව්ව කෝටිපති ඉංජිනේරුවාගේ සිරුර කළපුවේ… වසර තුනක් සැඟවුණු අභිරහසක්…

1654

පොලීසිය පැමිණිල්ල ගැන නිසි පරීක්‍ෂණයක් කර නෑ

ඝාතනය වු කෝටිපතියා ‘මරුයාමා’ ගොයම් කපන යන්ත‍්‍රය හැදූ ඉංජිනේරුවාය

දේපළ ගන්න කළ වැඩක්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති තනතුරට අලූතින් පත් වූ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල සිල්වා මහතා බෙහෙවින් කාර්යබහුල වී සිටියේය. වැළලී ගිය අබිරහස් මිනී මැරුම්, අතුරුදන්වීම් පාතාල අපරාධ රාශියක් සම්බන්ධයෙන් මෙම ඒකකය වෙත ලැබී තිබූ පැමිණිලි විශාල ප‍්‍රමාණයක් මංජුල සිල්වා විසින් එකින් එක පිරික්සන්නට විය.

මේ අතර මෙම ඒකකය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රසන්න මහතාගෙන් මංජුල සිල්වාට කැඳවීමක් ලැබුණේය.

මංජුල ඞී. අයි. ජී. මහත්තය අපට අලූත් කේස් එකක් භාර දුන්නා. මේක සී.අයි.ඞී. එකට ටික කාලයකට උඩදී ආව කම්ප්ලේන් එකක්. පොලිස් කමිෂන් එක හරහා ඇවිත් තියෙන්නේ. හලාවත කාකපල්ලිය පැත්තෙ පදිංචි සමන් විජේසිරි කියලා කෙනෙක්ගෙ අතුරුදන්වීමක් ගැන කම්ප්ලේන් එකක්….

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රසන්න මහතා මෙම අතුරුදන්වූ බව කියන පුද්ගලයාගේ පැමිණිල්ල මංජුල සිල්වා වෙත භාර දුන්නේය. සමන් විජේසිරි කියන ඉංජිනේරුවරයා ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියට පත්වෙච්ච කෙනෙක්. ඒ වගේම ලොකු දේපොළක අයිතිකාරයෙක්. මේ කේස් එක පිටිපස්සෙ මොකක්හරි ලොකු දෙයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ කේස් එක අදම ඉන්ක්වයරි කරන්න පටන් ගන්න. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රසන්නගෙන් මංජුල සිල්වාට උපදෙස් ලැබුණේය.

හලාවත කාකපල්ලිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ධනවත් ව්‍යාපාරිකයකු මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වූ ඉංජිනේරුවරයකු වූ සමන් විජේසිරි අතුරුදන් වන්නේ 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වැනිදා ය.

මෙම අතුරුදන්වීම පිළිබඳ මුල්ම පැමිණිල්ල හලාවත පොලිසිය වෙත කර තිබුණේ සමන් විජේසිරිගේ ඉඩකඩම් බලාකියාගත් මුරකරු වූ ප‍්‍රියන්ත විසින්ය. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු හලාවත පොලිසිය මගින් සිදුකළ ද සමන් විජේසිරි පිළිබඳව හෝඩුවාවක් ලබා ගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් වී තිබුණේ නැත. සමන් විජේසිරිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හලාවත පොලිසිය සිදුකළ මූලික විමර්ශන වාර්තාවලට අදාළ ලිපිගොනු සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වාගත් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල සිල්වා මහතා ඒ සියල්ල පියවරෙන් පියවර අධ්‍යයනය කරන්න පටන් ගත්තේය.

සමන් විජේසිරි 2018 වර්ෂයේ දී ඉතාලියට ගිය බවට අදාළ ආගමන විගමන වාර්තා මෙන්ම එරටට ඇතුළුවීමට ලබාගත් වීසා බලපත‍්‍ර ද මෙම විමර්ශන වාර්තා අතර තිබී මංජුල සිල්වා සොයා ගත්තේය. හලාවත ප‍්‍රදේශය පුරාම ප‍්‍රසිද්ධියට පත්වී තිබුණේ සමන් විජේසිරි නැවත රට හැර ගොස් ඇති බවය. එහෙත් තම සොහොයුරා වන සමන් විජේසිරිගේ අතුරුදන්වීම සැක සහිත බව කියමින් ඔහුගේ සොහොයුරකු විසින් ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබුණේ මේ සම්බන්ධයෙන් හලාවත පොලිසිය නිසි විමර්ශනයක් නොපවත්වන බව කියමින් ය.

පොලිස් කොමිසම විසින් මෙම විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන්නේ ඉන් අනතුරුවය.

‘‘අපි මුලින්ම හොයන්න ඕනෙ සමන් විජේසිරි ඔය කියන දවස්වල රටින් පිටවුණාද කියන එක. එතකොට අපට හොයාගන්න පුළුවන් මේ මනුස්සය ලංකාවෙ ඉන්වද, පිටරටකට ගියාද එහෙමත් නැත්නම් ජීවතුන් අතර නැද්ද කියන එක.’’

මංජුල සිල්වා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පොලිස් කණ්ඩායමක් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට ගුවන් මගීන්ගේ ආගමන විගමන වාර්තා පරීක්‍ෂා කළහ. එම විමර්ශනයෙන් අනාවරණය වූයේ සමන් විජේසිරි 2018 වර්ෂයේ විදෙස්ගත වී නොමැති බවය. හලාවත පොලිසිය සොයාගෙන තිබූ ආගමන විගමන වාර්තා ව්‍යාජ ඒවා බව ද හෙළිවුණේය.

‘‘අපට දැන් පැහැදිලියි සමන් විජේසිරිගේ ජීවිතේට අනතුරක් වෙලා කියන එක. එයා ළඟින්ම ආශ‍්‍රය කරපු කීපදෙනාව ගෙන්නලා ආපහු ප‍්‍රශ්න කරන්න ඕනෙ.’’

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික සිල්වාගේ උපදෙස් මත සමන් විජේසිරිගේ වතුපිටි දේපොළ බලාකියාගෙන ඔහු සමීපයේම සිටි මුරකරු ප‍්‍රියන්ත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන්නේ ඉන් අනතුරුවය.

සමන් විජේසිරි යනු සාමාන්‍ය පුද්ගලයකු නොව මහා උගත්කමක් අසීමිත දැනුමක් ඇති වටිනා අයකු බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා තේරුම් ගත්තේ මේ විමර්ශනය කරගෙන යද්දීය. මුරකරු පි‍්‍රයන්තගෙන් ප‍්‍රශ්න කිරීමේදී සමන් විජේසිරි පිළිබඳ බොහෝ දේ හෙළිදරව් වන්නට පටන් ගත්තේය.

‘‘සර්….. සමන් මහත්තයා කියන්නේ දෙවිකෙනෙක්. මහා උගතෙක්. ඒ වගේම එයාට මහා විශාල ධනයක් තිබුණා.’’

1955 වර්ෂයේ ජනවාරි මාසයේ 05 වැනිදා බිංගිරිය පානවැව දී උපත ලැබූ සමන් විජේසිරි සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් යුත් පවුලේ බඩපිස්සා ය. කුඩා කල සිටම අධ්‍යාපන කටයුතුවලට උපන් හපන්කම් දැක්වූ සමන් මූලික අධ්‍යාපනය ලැබුවේ සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයෙන් ය. ශිෂ්‍යත්ව විභාගය මහ ඉහළින් සමත් වූ සමන් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය.

‘‘මං කවදහරි ඉංජිනේරුවෙක් වෙනවා. රටේ නමක් තියෙන වැඩක් කරන්න ඕනෙ. හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඕනෙ….’’

සමන් විජේසිරි කුඩා කල සිටම තම අනාගත සිහින ගැන කීවේය. සමන් විජේසිරි කිසියම් දිනක රටේ මහා උගතකු වන පෙර ලකුණු කුඩා කල සිටම පෙන්නුවේය. ඔහුගේ දෙමාපියන් ගුරුවරුන් මෙන්ම පවුලේ සමීපතමයන් ද ඒ බව හොඳින් දැන සිටියහ. අ.පො.ස. උසස් පෙළ විභාගය උසස් අන්දමින් සමත් වූ සමන් මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේය. ඉංජිනේරු උපාධිය ලබා ගැනීමෙන් පසුව සමන් විජේසිරි මහඉලූක්පල්ලම කෘෂිකර්ම අංශයේ නව නිර්මාණ පරීක්‍ෂක අංශයට සම්බන්ධ වුණේය. සමන් විජේසිරි විසින් නිර්මාණය කළ ‘මරුයාමා’ ගොයම් කපන යන්ත‍්‍රය ඔහු ජාත්‍යන්තර පිළිගැනීමක් දක්වා රැගෙන යන්නට සමත් වුණේය. සමන් විජේසිරිට තිබූ මේ අසීමිත දැනුම් සම්භාරයෙන් ප‍්‍රයෝජන ගන්නට ශ‍්‍රී ලංකාවට වාසනාවක් තිබුණේ නැත.

මේ අසාමාන්‍ය දැනුමක් ඇති පුද්ගලයා පිළිබඳව තොරතුරු සොයාගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉහළ වැටුපක් යටතේ ඔහුගේ සේවය එම සංවිධානය වෙත ලබා ගත්තේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වූ සමන් විජේසිරි තම අසීමිත දැනුම සැම්බියාව, ඇෆ්ගනිස්ථානය, බෲනායි, ඔස්ටේ‍්‍රලියාව වැනි රටවලට ලබා දුන්නේය. ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමන්ට මාසිකව රුපියල් ලක්‍ෂ ගණනක විශාල වේතනයක් ද ගෙව්වේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරමින් සිටි කාල සීමාවේ සමන්ට ජපන් ජාතික යුවතියක් දැන හඳුනාගන්නට ලැබුණේය. මේ හඳුනාගැනීම කෙළවර වන්නේ ඔවුන් දෙදෙනා අතර විවාහය සිදුවීමෙන් ය. විවාහයෙන් පසු ඔවුන් ස්ථිර පදිංචිය සඳහා ඔස්ටේ‍්‍රලියාව තෝරා ගත්හ. ඒ වන විට සමන්ට ඔස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචිය ද ලැබී තිබුණේය. දැනුම එකතු කර ගැනීමේ පිපාසාවෙන් සිටි සමන් විජේසිරි ක්වින්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිය ද ලබා ගත්තේය. සැප සම්පත්වලින් පිරුණු රටවල කරක් ගැහුවද සමන් තම උපන් බිම, මව්පියන්, පවුලේ සාමාජිකයන් අමතක කළේ නැත. බිංගිරිය බෝඅත්ත ගම්මානය, තම පවුලේ අහිංසක මිනිසුන් ඔහු කිසිවිටෙකවත් අමතක නොකළේය. ඉඩක් ලද හැම විටම ඔහු සිය ජපන් ජාතික බිරිඳ සමඟ උපන් බිමට ආවේය. බිංගිරිය බෝඅත්ත ප‍්‍රදේශයේ විශාල ඉඩමක් මිලට ගත් සමන් එහි සුවිසල් නිවසක් ඉදිකර මහලූ මව්පියන් පදිංචි කිරීමට කටයුතු කළේය. තම පවුලේ සහෝදර සහෝදරියන්ට අත දිගහැර වියදම් කළ සමන් හැම විටම ඔවුන්ගේ දුක සැප බැලූවේය. විවාහ වී වසර ගණනක් ගත වුවද සමන්ට දරු සුරතල් බලන්නට වාසනාව තිබුණේ නැත. රට රාජ්‍යවල කරක් ගසමින් ගෙවූ අතිසුඛෝපභෝගී ජීවිතය ඒ වන විට සමන්ට නීරස වෙමින් තිබුණේය.

‘‘ජීවිතේ අන්තිම කාලෙ මට මගේ රටේ ගත කරන්න ඕනෙ. අපි ආපහු ලංකාවෙ පදිංචියට යමු.’’

සමන් තම ආදරණීය බිරිඳ වූ ජපන් ජාතික කාන්තාවට කීවේය. එහෙත් ඇය ඊට කොහෙත්ම කැමති වුණේ නැත. ඔස්ටේ‍්‍රලියාවේ ගෙවන ජීවිතය අතහැර යන්නට ඇය කැමති නොවුවාය. මේ ප‍්‍රශ්නය උඩ දෙදෙනා අතර නිතර නිතර නොහොඳ නෝක්කඩු වීම් ඇතිවන්නට පටන් ගත්තේය. අවසානයේ සමන් තීරණයක් ගත්තේය. ඔස්ටේ‍්‍රලියාවේ තිබූ නිවාස ඇතුළු සියලූ දේපොළ ජපන් බිරිඳට භාර දී තනිවම ශ‍්‍රී ලංකාවේ පදිංචි වන්නට තීරණය කළේය. බිංගිරිය ඌරාවත්ත රන්බිම ප‍්‍රදේශයෙන් අක්කර පනස්අටක විශාල පොල්වත්තක් මිලට ගත් සමන් එහි සියලූ සැප පහසුකම්වලින් සමන්විත නිවසක් ඉදිකර පදිංචි වුණේය.

‘‘වත්ත බලාකියාගෙන මෙහෙ පදිංචි වෙන්න කැමැති කෙනෙක් හොයලා දෙන්න. හොඳ පඩියකුත් ගෙවනවා. ජීවිත කාලෙම උනත් ඉන්න පුළුවන් කෙනෙක් හිටියොත් හොඳයි’’

සමන් තම පවුලේ ඥාතීන්ට මෙන්ම හිතවතුන්ට මේ ගැන කියමින් තම වතුපිටි බලාකියා ගැනීමට සුදුසු පුද්ගලයකු සොයන්න ගත්තේය. ප‍්‍රියන්ත නමැති මුරකරු සමන් විජේසිරිට සම්බන්ධ වන්නේ එතැන් සිටය. ප‍්‍රියන්ත තම තරුණ බිරිඳ ද සමඟ සමන් විජේසිරිට අයත් බිංගිරිය ඌරාවත්ත රන්බිම වත්තේ පදිංචියට ආවේය. එතැන් පටන් සමන්ගේ සුවච කීකරු සේවකයා මෙන්ම සමීපතමයා වූයේ ප‍්‍රියන්තය. සමන්ගේ විශ්වාසය දිනාගෙන ඔහුට ඉතාම ළෙන්ගතුව රැකියාව කිරීම ඊට හේතුව විය. කාලයක් යද්දී සමන් විජේසිරිට ප‍්‍රියන්ත තම පවුලේ සාමාජිකයකුගේ තත්ත්වයට පත්ව සිටියේය. සමන්ගේ සුවිසල් නිවස ප‍්‍රියන්තටත් ඔහුගේ බිරිඳටත් දරු දෙදෙනාටත් ඕනෑම වේලාවක විවෘතව තිබුණේය. උතුර – නැෙඟනහිර යුද්ධය නිම වීමෙන් පසු උතුරු පළාත සංවර්ධනය කිරීමේ කාර්යය එවකට රජය විසින් ආරම්භ කළේය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා මෙම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුවය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සමන් විජේසිරිගේ අසීමිත දැනුම උතුරු වසන්ත සංවර්ධනය සඳහා යොදා ගැනීමට තීරණය කර තිබුණේය.

උපදේශකයකු ලෙස මෙම සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කළ ආරාධනය සමන් විජේසිරි පිළිගත්තේය. එතැන් පටන් උතුරු වසන්ත සංවර්ධන ව්‍යාපෘතියට සිය දායකත්වය දුන් මේ දැනුමින් පිරිපුන් ඉංජිනේරුවරයා විශාල වැඩකොටසක් කළේය. ඒ සඳහා ඔහුට විශාල වැටුපක් ද ලබාදී තිබුණේය. මඟනැඟුම සංවර්ධන වැඩසටහනට ද සම්බන්ධ වූ සමන් විජේසිරි උතුර – නැගෙනහිර මාර්ග සංවර්ධනයට සිය දැනුම ලබා දුන්නේය. වසර කිහිපයකට පසු මේ සියලූ රාජකාරිවලින් ඉවත්වීමට සමන් විජේසිරි තීරණය කළේය. ඒ ඔහුට ඇති වී තිබු කිසියම් කලකිරීමක් නිසාය.

‘‘මං ටික කාලෙකට ආපහු ඔස්ටේ‍්‍රලියාවට යනවා. මං ආපහු එනකල් වතුපිටි ටික බලාගෙන ඉන්න ඕනෙ.’’

තමන්ට අයත් වතුපිටි දේපොළ සියල්ල බලා ගැනීම පවුලේ සමීපතමයන්ට මෙන්ම සුවච කීකරු සේවක ප‍්‍රියන්ත වෙත බාරදුන් සමන් විජේසිරි ඔස්ටේ‍්‍රලියාවට පිටත්ව ගියේය. ටික කාලයක් ඔස්ටේ‍්‍රලියාවේ ගත කරද්දී සමන් විජේසිරිට මහනුවර ජලසම්පාදන මණ්ඩලයේ විධායක තනතුරක් භාරගන්නා ලෙස ඇරයුමක් ලැබුණේය. තම උපන් බිමට සේවය කිරීමේ ඇල්මෙන් පසු වූ සමන් විජේසිරි ඒ ආරාධනය පිළිගෙන නැවත ශ‍්‍රී ලංකාවට ආවේය. මහනුවර ජල සම්පාදන මණ්ඩලයට අලූත් ව්‍යාපෘති හඳුන්වා දෙමින් ඒ කටයුතු ඉතාම සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය දැනුම සමන් විජේසිරි නොඅඩුව ලබා දුන්නේය. ජල සැපයුම අඩාළ වන අවස්ථාවන්වලදී ඒ පිළිබඳව ඉංජිනේරුවරුන්ට ක්‍ෂණික දැනුම්දීම් කිරීම සඳහා ඔහු අතින් නිර්මාණය වූ කෙටි පණිවිඩ යැවීමේ ව්‍යාපෘතිය ඉතාම සාර්ථක විය. ඔස්ටේ‍්‍රලියාවේ සිට නැවත මව්රටට එද්දී තමන්ට අයත් දෝපොළ නිසි ලෙස පරිපාලනය කර නොතිබූ බව සමන් විජේසිරි දුටුවේය. තම පවුලේ සමීපතමයන් තම දේපොළ තමන්ට රිසි සේ පරිහරණය කර ලාභ ප‍්‍රයෝජන ලබාගෙන ඇති බව තේරුම්ගත් සමන් දැඩි කලකිරීමකට පත් වුණේය.

‘‘බිංගිරියෙ ඉඩකඩම්ටික විකුණලා මං වෙන කොහේහරි පදිංචියට යනවා. මං හිතුව තරම් මිනිස්සු සාධාරණ නැහැ.’’

තම සමීපතම සේවකයා වූ ප‍්‍රියන්තට පැවසූ සමන් විජේසිරි බිංගිරියේ පිහිටි අක්කර පනස්අටක පොල් ඉඩම සහ සුවිසල් නිවස විකුණා දැම්මේය.

‘‘මං හලාවත පැත්තෙ පදිංචියට යනවා. හලාවත ගියාම ඔයාවයි දරුවොයි එහෙට ගන්නම්. මේ ගම්වල ජීවත්වෙන්න අමාරුයි.’’ සමන් විජේසිරි ප‍්‍රියන්තට කීවේය. බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් හලාවත ප‍්‍රදේශයේ ඉඩමක් හොයාගත් සමන් එය මිලට ගත්තේය. හලාවත ඉනිගොඩවිල ප‍්‍රදේශයෙන් ඉඩමක් මිලට ගත් සමන් එහි තුන්මහල් ගොඩනැඟිල්ලක් ඉදිකළේය. එම ගොඩනැඟිල්ලේ පහළ මාලයේ වාහන සර්විස් ආයතනයක් ආරම්භ කළ සමන් විජේසිරි ඉහළ මාලය තම පදිංචිය සඳහා වෙන්කර ගත්තේය.

සමන් විජේසිරිගේ ජිවිතයට හෙනහුරා පාත්වන්නට පටන් ගත්තේ හලාවත පදිංචියට පැමිණීමෙන් පසුවය. මේ අතර සමන් හලාවත පුත්තලම මාර්ගයේ ද තවත් අක්කර භාගයක ඉඩමක් මිලට ගත්තේය. එම ඉඩමේ ද ගොඩනැඟිල්ලක් ඉදිකළ සමන් එහි පහත මාලයේ ප‍්‍රියන්ත සහ ඔහුගේ දරු පවුල පදිංචි කරනු ලැබුවේය. ප‍්‍රියන්ත ඔයා මෙහෙ පදිංචි වෙන්න. මේ කඩ කාමරයෙ මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න. ඕනෙ උදව්වක් මං කරන්නම්. දරුවො දෙන්නටත් අපි හොඳට උගන්වන්න ඕනෙ. ඒ අය අපි ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාමු.’’

සමන් විජේසිරි තම සමීපතම සේවකයා වූ ප‍්‍රියන්ත සහ ඔහුගේ පවුල හලාවත පුත්තලම පාරේ ඉදිකළ ගොඩනැඟිල්ලේ පදිංචි කරමින් කීවේය. සමන්ට දරුවන් නොසිටි නිසා ඔහු ප‍්‍රියන්තගේ දරුවන් දෙදෙනාට අසීමිතව ආදරය කළේය. පුංචි දරුවන්ගේ සියලූ අවශ්‍යතාවන් සොයා බැලූවේ සමන් විජේසිරි ය. තමන්ගේම දරුවන් දෙදෙනකු ලෙස ඔවුන් ඇතිදැඩි කිරීමට සමන් වගබලා ගත්තේය. සමන් විජේසිරිගේ සමීපතම ඥාතියකු වු රත්නප‍්‍රිය ඔහුගේ ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටියේය. රත්නප‍්‍රියට හලාවත පැත්තේ සම්බන්ධකම් රැසක් තිබුණේය. හලාවත චණ්ඩියකු වූ ඩන්කන් නමැත්තා ද ඔහුගේ සමීපතම මිතුරකු විය. සමන් විජේසිරි හලාවතට අලූත් පුද්ගලයකු නිසා ඔහුට ඒ ප‍්‍රදේශය ගැන, පදිංචිකරුවන් ගැන වැඩි දැනීමක් සම්බන්ධයක් තිබුණේ නැත.

‘‘සමන් අයියා කිසි දේකට බයවෙන්න එපා. මං මේ පැත්තෙ ඉන්න වැඩකාරයො සේරම අඳුනනවා. ඒ අයව ඔයාට සෙට් කරලා දෙන්නම්.’’

රත්නප‍්‍රිය සමන් විජේසිරිට කීවේය. අඩියක් ගසා විනෝදයෙන් කාලය ගත කිරීමට සමන් බෙහෙවින් ආශා කළ පුද්ගලයෙකි. ඔහු බොහෝ විට අඩියක් ගැසුවේ රත්නප‍්‍රිය සමඟය. හලාවත පදිංචියට පැමිණ වැඩිකල් යන්නට පෙර රත්නප‍්‍රිය හලාවත චණ්ඩියකු වූ ඩන්කන් කැඳවාගෙන ආවේය.

‘‘සමන් අයියා මේ තමයි ඩන්කන්. මෙයා අඳුනගත්තා කියන්නේ හලාවත ඕනෙ වැඩක් කරගන්න පුළුවන්. මෙයා කලින් හලාවත බිස්නස්කාරයෙක්.’’

රත්නප‍්‍රිය තමන් කැඳවාගෙන ආ පුද්ගලයන් දෙදෙනා සමන් විජේසිරිට හඳුන්වා දෙමින් කීවේය. එතැන් පටන් ඩන්කන් සහ නලින් සමන් විජේසිරිගේ සමීප මිතුරන් වුණේය. ඔවුන් සතියකට දෙතුන් වතාවක් අඩියක් ගසා විනෝදවීමට අමතක කළේ නැත. මේ අතර ජාඇල නගරයේ ද සමන් ගොඩනැඟිල්ලක් මිලට ගත්තේය. ඒ ගොඩනැඟිල්ලේ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට රත්නප‍්‍රියට ලබා දුන්නේ මාසික කුලියක් ගෙවීමේ පොරොන්දුව මතය. ලෝක බැංකුවේ ශ‍්‍රී ලංකා ශාඛාවේ ඉහළ තනතුරක් සඳහා සමන් විජේසිරිට ඇරයුමක් ලැබෙන්නේ ඔය අතරතුරදීය.

‘‘මට මේ රස්සාව ටික කාලයක් කරන්න වෙනවා. හලාවත සර්විස් එක ඕගොල්ලො කරගෙන යන්න. ලාබෙන් කොටසක් මාස්පතා මට දෙන්න.’’ සමන් විජේසිරි හලාවත සර්විස් ආයතනය කරගෙන යෑමේ කාර්යය ඩන්කන් සහ නලින් වෙත බාර දී ලෝක බැංකුවේ රැකියාවට සම්බන්ධ වුණේය. කාලයක් ගතවිය. හලාවත සර්විස් සෙන්ටර් එකේ ලාභය නිිසි පරිදි සමන්ට ලැබුණේ නැත. ජාඇල ගොඩනැඟිල්ල සඳහා රත්නප‍්‍රිය ගෙවීමට පොරොන්දු වූ කුලිය ද දිනෙන් දිනම පැහැර හරින්නට වුණේය.

‘‘මේ වැඬේ හරියන්නේ නැහැ. මිනිස්සු විශ්වාස කරලා බිස්නස් භාර දුන්නම අන්තිමේදී අපට මොකුත් ලැබෙන්නේ නැහැ. මං මේ ව්‍යාපාර ටික විකුණලා දානවා. ඒක ඔළුවට නිදහස්…’’

ව්‍යාපාර පවත්වාගෙන යෑම කෙරෙහි දැඩි අවුලකින් පසු වූ සමන් තම සමීප මිතුරන්ට ඒ බව කීවේය. ඒ වන විට තම සමීපතමයන් ලෙස සැලකූ මිතුරන් තමන්ට අයත් දේපොළ අත්පත් කරගැනීම සඳහා සැලසුමක් සකස් කරමින් සිටින බව සමන් දැන සිටියේ නැත.

‘‘සමන්ට තියෙන කෝටි ගණනක දේපොළ කවදහරි පිට යනවා. ඔස්ටේ‍්‍රලියාවෙ ඉන්න ගෑනි මේව බලන්න එන්නෙ නැහැ. කවදහරි ඔය යකා ඒ හැම දෙයක්ම මුරකාරයගෙ කොල්ලො දෙන්නට ලියලා දෙයි.’’

රත්නප‍්‍රිය තම සමීප මිතුරන්ට කීවේය.

‘‘අපි මොකක්හරි ගේමක් ගහලා මේ දේපොළටික ලියව ගන්න ඕනෙ. සමන් ඒව අද හෙටම විකුණල දායි. ඊට ඉස්සර අපි ක‍්‍රියාත්මක නොවුනොත් පසුතැවිලි වෙන්න වෙනවා.’’සමන්ට අයත් දේපළ තමන් සතුකර ගැනීමේ සැලසුම ඔහුගේ සමීපතම මිතුරන් තිදෙනා විසින් සකස් කරන්නේ ඔය අතරතුරදීය.

‘‘සමන්ව ඉවරයක් කරලා දාමු. මිනිහ හිටි හැටියෙම රට ගිහින් කියලා කියන්න පුළුවන්. ඉමිගේ‍්‍රෂන් එකේ මගේ යාළුවෙක් ඉන්නවා. එයාට කියලා සමන් රට ගිය විදිහට ඩොකියුමන්ට් හදාගන්න පුළුවන්.’’ ඩන්කන් කීවේය.

සමන්ගේ දේපොළ විකිණීමේ බලතල අපට පැවරුවා කියලා ඇටර්නි බලපත‍්‍රයක් අරගමු. මං දන්න හොඳ ලෝයර් මහත්තයෙක් ඉන්නවා. මිනිහට ගානක් දීලා මේක කරගන්න පුළුවන්. රත්නප‍්‍රිය ඉදිරි සැලසුම් පිළිබඳව තම සගයන් දැනුවත් කළේය.

‘‘අද හවස ළමයි දෙන්නා මා එක්ක හිටියාවෙ. කාලෙකින් ඒ දෙන්නත් එක්ක ඉන්න බැරිවුණා. මං හවස්වෙලා එන්නම් එයාලව ගෙනියන්න.’’

සමන් තම සුවච කීකරු සේවකයා වූ ප‍්‍රියන්තට කීවේය. එදින සවස 4.30ට පමණ සමන් හලාවත පිහිටි ප‍්‍රියන්තගේ වෙළෙඳසලට ආවේය. තේ කෝප්පයක් පානය කළ සමන් දරු දෙදෙනා කැඳවාගෙන තම නිවසට යන්නට සූදානමින් සිටියේය. ඒ අතරතුර සමන්ගේ ජංගම දුරකතනයට රත්නප‍්‍රියගෙන් ඇමතුමක් ලැබුණේය.

‘‘අපි මේ වැඬේට වෙන දවසක් දාගමුද? අද මං පොඩිඋන් දෙන්න එක්ක ඉන්න කියලා බැලූවේ.’’

සමන් සිය මිත‍්‍රයා වූ රත්නප‍්‍රියට දුරකථනයෙන් කීවේය. එහෙත් රත්නප‍්‍රිය ඔහුට පැමිණෙන ලෙස දිගින් දිගට ආයාචනා කරන්න වුණේය.

‘‘හරි හරි මං ඇවිත් යන්න එන්නම්. දුරකථනය විසන්ධි කළ සමන් විජේසිරි ප‍්‍රියන්තට කතා කළේය.

‘‘මගේ යාළුවෝ ටික සෙට්වෙලා බෑ කියන්නත් බැහැ. ඔය ළමයි දෙන්න ලෑස්ති කරලා තියන්න. මං යාළුවෝ එක්ක ටිකක් සෙට් වෙලා එන්නම්.’’

එසේ කියූ සමන් විජේසිරි ප‍්‍රියන්තට සමු දී ඔහුගේ මෝටර් රථයෙන් පිටව ගියේ නැවත පැමිණෙන බව කියමින් ය. එදින රාත‍්‍රියේ සමන්ගේ වැඩිමහල් සොහොයුරිය ඔහුට දුරකථනයෙන් කතා කළාය.

‘‘අක්කෙ මං යාළුවො එක්ක පොඞ්ඩක් සෙට්වෙලා ඉන්නෙ. හෙට කතා කරන්නම්.’’ සමන් විජේසිරි සිය සොහොයුරියට කීවේය. ඒ වන විට රත්නප‍්‍රිය, ඩන්කන් සහ නලින් හොඳ පදමට මත්පැන් පානය කර සිටියහ. සමන් විජේසිරිට පදම ඉක්මවා යන ලෙස මත්පැන් ලබාදීමට ඔවුන් වගබලා ගත්හ.

මාරයාගේ හෝරාව උදාවෙමින් තිබුණේය. සමන් විජේසිරි මේ කිසිවක් දැන සිටියේ නැත. ඔහු වෙනදා මෙන් තම මිතුරන් සමඟ උසුළුවිසුළු කරමින් විනෝද වුණේය. සමීප මිතුරන් ලෙස වෙස්වලාගෙන සිටි සාහසිකයන් ක‍්‍රියාත්මක වූහ. ගතවුණේ නිමේෂයකි. සාහසිකයන් විසින් සමන් විජේසිරිගේ ප‍්‍රාණය උදුරා ගත්තේය. ඔහුගේ ප‍්‍රාණය නිරුද්ද වූ නිසල සිරුර සාදය පැවැත්වූ ස්ථානයේ බිම පතිත වී තිබුණේය.

‘‘අපි මූව රෑම ගෙනිහින් කලපුවට දාමු. මෙතන ඉඳලා අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ. කාටවත්ම සැක නොහිතෙන විදිහට මේ වැඩ ටික කෙරෙන්න ඕනෑ’’

ඩන්කන් සිය සගයන්ට කීවේය. සමන්ගේ සිරුර ඔහුගේම මෝටර් රථයේ පටවාගත් සාහසික මිතුරන් තිදෙනා එය හලාවත කලපුව දෙසට රැගෙන ගියහ. ඝන අන්ධකාරය මැදින් සමන්ගේ සිරුර ඔසවාගෙන ගිය පාපතරයන් කලපුවේ මඩ ගොහොරු අතරේ එය සැඟවීමට කටයුතු කළෝය. ඔවුන් සිතා සිටියේ සමන්ගේ මරණය සදාකාලික අබිරහසක් වන මරණයක් වනු ඇතැයි කියා ය. පසුදා එනම් ඔක්තෝබර් 13 වැනිදා උදෑසන රත්නප‍්‍රිය සමන්ගේ මෝටර් රථය රැගෙන ඔහු පදිංචි ගොඩනැඟිල්ල වෙත ආවේය. ඒ වන විට ප‍්‍රියන්ත එහි පැමිණ සිටියේය.

‘‘සමන් මහත්තය කෝ.’’ ප‍්‍රියන්ත රත්නප‍්‍රියගෙන් විමසුවේය.

‘‘මහත්තයා උඩ නිදාගෙන ඇති. මං වාහනේ ඊයේ රෑ හදිස්සියකට ඉල්ලගෙන ගියා. ඒක දාල යන්න ආවේ. ’’ එසේ පැවසූ රත්නප‍්‍රිය මෝටර් රථය සමන් පදිංචි ගොඩනැඟිල්ලේ පහළ මාලයේ ගාල් කර පිටව ගියේය. මෝටර් රථය පුරා මඩ තැවරී තිබෙන බව ප‍්‍රියන්ත දුටුවේය. සමන් විජේසිරි නිවසේ සිටින බවට සාක්‍ෂියක් නොමැති බව ප‍්‍රියන්ත තේරුම් ගත්තේය. සමන් මහත්තයට මොනවා වුණාද? කොහේ ගියත් දරුවෝ දෙන්න බලන්න නෑවිත් ඉන්නෙ නෑනෙ. ප‍්‍රියන්ත සිටියේ දැඩි අවුලකින් යුතුවය. එදින සවස් වනතුරු ප‍්‍රියන්ත වරින්වර සමන්ගේ නිවස වෙත පැමිණ සොයා බැලූවේය. එහෙත් කිසිම හෝඩුවාවක් නැහැ. ඔහු ඩන්කන් සොයා ගියේය.

‘‘අපේ සමන් මහත්තයා කොහෙද ගියේ?’’ ප‍්‍රියන්ත ඔහුගෙන් විමසුවේය.

‘‘සමන් මහත්තයා හදිසියේ බණ්ඩාරවෙල යනවා කිව්වා. එයා එහෙ සැප ගන්නවා. දවසක් දෙකක් යද්දි ආපහු එයි.’’ ඩන්කන් කීවේය. එහෙත් සමන් මහතා කොහේ හෝ යනවා නම් තමන්ට ඒ බව දැනුම් දෙන බව ප‍්‍රියන්ත හොඳාකාරවම දැන සිටියේය. සමන් විජේසිරිගේ ජංගම දුරකථනය එදින අලූයම සිට ක‍්‍රියාවිරහිත කර ඇති බව ප‍්‍රියන්ත දුටුවේය. සමන් අතුරුදන් වී දින කීපයකට පසු ප‍්‍රියන්ත ඒ පිළිබඳව හලාවත මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කළේය. පොලිසිය අඳුරේ අතපත ගාමින් සමන්ගේ අතුරුදන්වීම ගැන සොයන්නට වුණේය.

‘‘සමන් මහත්තයා හදිසියෙම ඉතාලියට ගිහින්. අපේ යාළුවෝ කීපදෙනෙකුටම එහෙදි සමන් මහත්තයව හම්බවෙලා.’’

ඩන්කන් සහ රත්නප‍්‍රිය සමන්ගේ ඥාති හිතවතුන්ට එසේ පැවසුවෝය. සමන්ගේ අතුරුදන්වීම ගැන නිවැරදි තොරතුරු සොයා ගැනීමට ඕනෑතරම් සාක්‍ෂි තිබියදීත් පොලිසිය ඉන් ප‍්‍රයෝජන ගත්තේ නැත. එය හිතාමතාම කළේද එසේත් නැත්නම් පොලිසියේ තිබූ අකාර්යක්‍ෂමතාව නිසා වුණේ ද යන්න කිසිවකුත් දන්නේ නැත. මේ අතර රත්නප‍්‍රිය ඇටෝර්නි බලපත‍්‍රයක් රැගෙන ප‍්‍රියන්ත සොයා ආවේය.

‘‘සමන් මහත්තයා රට යන්න ඉස්සර මේ දේපොළ අපට පවරලා ගියේ. දැන් මේවා එකලාසයක් කරලා දාන්න ඕනෙ.’’

සමන් විජේසිරිට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩකඩම් 3ක්, වාහන, ව්‍යාපාරික ස්ථාන ඒ වන විට රත්නප‍්‍රිය, ඩන්කන් සහ නලින් වෙත පවරා තිබුණේය. තම සොහොයුරාට කිසියම් අනතුරක් සිදු වී ඇති බව සමන්ගේ පවුලේ ඥාතීහු විශ්වාස කළහ. එහෙත් පොලිසියෙන් ඒ විමර්ශනයන්ට සාධාරණයක් නොලැබෙන බව ද ඔවුන් හොඳාකාරවම දැන සිිටියේය. සමන්ගේ සොහොයුරකු මේ පිළිබඳව පොලිස් කොමිසම වෙත පැමිණිලි කරන්නේ ඔය අතරතුරදීය. පොලිස් කොමිසමෙන් ලැබුණු පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල සිල්වා සමන් විජේසිරිගේ සමීපතම සේවකයා වූ ප‍්‍රියන්තගෙන් ප‍්‍රශ්නකර මේ අතුරුදන්වීමේ අගමුල සොයා ගත්තේය. සමන් විජේසිරිගේ අතුරුදන්වීම පිළිබඳව මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ඉතාම රහසිගත විමර්ශනයක් පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රසන්න, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල සිල්වා ඇතුළු නිලධාරීන් කටයුතු කළහ.

මේ කේස් එක පිටිපස්සේ රත්නප‍්‍රිය, ඩන්කන්, නලින් කියන තුන්දෙනා ඉන්නවා. සමන් විජේසිරිගෙ කෝටි ගණනක් වටිනා දේපොළ ලබා ගන්න තමයි මේ වැඬේ කරලා තියෙන්නේ. ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල සිල්වා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සමන් විජේසිරි අතුරුදන්වීමේ විමර්ශනයේ ප‍්‍රගතිය පැහැදිලි කළේය. ඒ වන විට රත්නප‍්‍රිය ඇතුළු පිරිස සකස් කර තිබු ඇටෝර්නි බලපත‍්‍රය ද ව්‍යාජ එකක් බව රහස් පොලිසිය සොයාගත්තේය. ඒ ඇටෝර්නි බලපත‍්‍රය සකස් කිරීම වෙනුවෙන් නීතිඥවරයකුට රුපියල් ලක්‍ෂ 5ක මුදලක් ලබා දී ඇතිි බව ද සොයාගෙන තිබුණේය. සමන් විජේසිරි ඉතාලියට ගිය බව හැඟවීමට ආගමන විගමන වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමට එහි නිලධාරියකුට රුපියල් ලක්‍ෂ තුනක මුදලක් ලබා දී ඇති බව ද රහස් පොලිසිය ඒ වන විට සොයාගෙන තිබුණේය. මාස ගණනක් තිස්සේ සිදුකළ විමර්ශනවල ප‍්‍රගතිය වාර්තා කිරීමෙන් පසු එකම දිනයකදී රත්නප‍්‍රිය, ඩන්කන් සහ නලීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එහෙත් ඒ වන විට ශ‍්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයාටම වැඩදායක මිනිසකුව සිටි සමන් විජේසිරි අවසන් ගමන් ගොස් සිටියේය. හලාවත කලපුවේ මඩ ගොහොරු අතරේ ඔහු සදාකාලික නින්දට වැටී සිටියේය. සමීප මිතුරන් වේෂයෙන් පැමිණ සිටි යක්‍ෂයන් විසින් ඒ වටිනා ජීවිතය විනාශකර දමා තිබුණේය. වසර 3කට වැඩි කාලයක් අබිරහසක්ව පැවති සමන් විජේසිරිගේ ඝාතනයේ සුලමුල හෙළිකර ගෙන ඊට සම්බන්ධ සැබෑ අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රසන්න, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල සිල්වා ඇතුළු නිලධාරීන්ගේ දක්‍ෂතාව, කැපවීම නිසාය. එසේ නොවන්නට සමන් විජේසිරි තවමත් හලාවත කලපුවේ මඩගොහොරු අතරේ සැඟවී සිටිනු නොඅනුමානය.

ඉතාලි ගියා කිව්ව කෝටිපති ඉංජිනේරුවාගේ සිරුර කළපුවේ… වසර තුනක් සැඟවුණු අභිරහසක්…

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment