ඉතිං මීට පස්සේ…. හාල් මිල ඉහළ යන්නේ නැහැ… නාඩු තොග මිල 110 සම්බා 140 කීරි සම්බා 165 යි සිල්ලර වැඩිවීම රු. 5 යි

1030

රජය සහල් සම්බන්ධයෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම නිසා වෙළෙඳපොළේ සහල් මිලෙහි විශාල වැඩිවීමක් වනු ඇතැයි ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැතැයි එම සහල් මෝල් හිමියෝ ඊයේ (28දා* පොලොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියහ.

ඒ අනුව නාඩු වර්ගයේ සහල් කිලෝවක තොග මිල රුපියල් 110ක්, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 140 ක්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165 ක් නියම කරන අතර එයට සාපේක්‍ෂව එම සහල් වර්ග සඳහා සිල්ලර මිල කිලෝවකට රුපියල් 05 ක් පමණක් එක්වනු ඇති බවද එම සහල් මෝල් හිමියෝ පෙන්වා දෙති.

වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමේදී එම සහල් නිෂ්පාදන ඇසුරුම්වල සිල්ලර මිල සඳහන් ස්ටිකරයක් අලවන බවත් ඒ මිලට වඩා වැඩි මිලක් කිසිවකුත් ගෙවිය යුතු නැති බවත් එම මාධ්‍ය හමුවේදී සහල් නිෂ්පාදකයන් ප‍්‍රකාශ කළහ.

ඉදිරියේදී ගොවි ජනතාවගේ වී වලට මිල තීරණය වන්නේ මේ සහල් මිලට අනුව බවත් එය ගොවියාත්, පාරිභෝගිකයාත් සහල් නිෂ්පාදකයාත් සුරක්‍ෂිත වන වැඩපිළිවෙළක් බවද සඳහන් කළහ.

එහිදී අදහස් දැක්වූ මෙරට ප‍්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයකු වන අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා

‘‘සහල් සහ වී සම්බන්ධයෙන් මේ රටේ ගොවි ජනතාවත් පාරිභෝගිකයනුත් ඒ අතර මැද සිටින අපිවත් ආරක්‍ෂාවන ආකාරයේ යෝජනා කිහිපයක් මීට පෙර අවස්ථා කිහිපයකදීම අපි රජයට ඉදිරිපත් කළා. රජය ඒ තත්ත්වය තේරුම්ගෙන ගනු ලැබූ තීරණයක් මෙය. මේ පිළිබඳව යම් යම් පාර්ශ්ව විවිධ කතා කොහොම කිව්වත් රජය ගත් ඒ තීන්දුවට රටේ වගකිවයුතු ව්‍යාපාරිකයන් වශයෙන් මේ රටේ වගකිවයුතු ව්‍යාපාරිකයන් හා සහල් නිෂ්පාදකයන් හැටියට අපි අපේ ප‍්‍රශංසාව පිරිනමන්න ඕන. රජය ගත්තු ඒ වැඩපිළිවෙළ ශක්තියක් වෙලා පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත් අසාධාරණයක් නොවන විදියට වී මිලත් සහල් මිලත් පිළිබඳව අපි එකට එකතුවෙලා සාකච්ඡුා කරලා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවා.

ප‍්‍රධාන සහල් නිෂ්පාදකයෝ හැටියට අපේ සහල් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන්නේ එහි මිල සඳහන් ස්ටිකරයක් සහල් ඇසුරුමේ අලවලා. එහි සඳහන් මිලට වඩා වැඩි මිලක් කිසිම කෙනෙක් ගෙවිය යුතු නෑ.

අපි කියන්නට ඕන වී ගොවියාත්, පාරිභෝගිකයාත් ශක්තිමත් වන ආකාරයට ඉදිරියට කටයුතු කරනවා. මේ අනුව නාඩු කිලෝවක සිල්ලර මිල රුපියල් 115 ක් සම්බා සහල් කිලෝවක් රුපියල් 140 ක්. කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165 ක් වශයෙන් මිල නියම කර තිබෙනවා. මේ සහල් වර්ගවල මිල කිසිසේත්ම මීට වඩා වැඩිවෙන්නේ නෑ. අපි ඒ බව ඉතාමත් වගකීමකින් කියනවා.

කෘති‍්‍රම සහල් හිඟයක් ඇතිකරවන බවට පසුගිය දිනවල රජය පැත්තෙන් ප‍්‍රකාශවීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියකු නැ`ගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් සිරිසේන මහතා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා සහල් මෝල්වලට පැමිණ සහල් තොග රජයට පවරා ගැනීමෙන් පසු සහල් නිෂ්පාදනයේ අඩුවීමක් ඇතිවූ බව කීය. එයට හේතුව ගොවීන් තමන් සතු වී තොග ඒ අවස්ථාවේ පැවැති අඩුමිලට අලෙවි කිරීමට අකමැතිවීම යැයිද ඒ මහතා කීවේය.

නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති මිත‍්‍රපාල ලංකේෂ්වර මහතාද මෙහිදී අදහස් දැක්වීය.

ප‍්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් වන ගාමිණී ලත්පඳුර, ආනන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment