ඉතියෝපියාවේ සිට ටෝකියෝවට දෛවයේ මාවත දිගේ දිව ගිය රන් දෙපය…සියවසේ කියාදුන් ධෛර්යවන්තකමේ ගැඹුරු පාඩම

1431

ඇය දෛවයේ මාවත දිගේ දිව ගියාය. ගිනි ගහන අව් කූටකේ කාන්තාර බඳු පොළවේ දිව ගියාය. වෙහෙස නොබලා බාධක නොතබා දිව ගියාය. දරා ගැනීමේ හැකියාව සහජයෙන්ම හිමි අප‍්‍රිකානු මහාද්වීපයේ කළු ජාතිකයන්ට සහජයෙන්ම හිමි ජානවල වෙළුම ඇගේ ශරීරය ද වෙලාගෙන තිබිණ. ඉතින් ඉතියෝපියාවෙන් අරඹා දෛවයේ මාවත දිගේ දිව ගිය ඒ දිවිල්ල නතර වූයේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් දෙකක් ඇය සතු කරගනිමින් ය.

ඇය දිගු දුර ධාවන ශූරී සිෆන් හසන්ය. මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා සැණකෙළියේ කාගෙත් අවධානය දිනාගත් එම රන්පදක්කම් දෙකකම හිමිකාරිය වූයේ ඇයයි. මිනිසකුට දින අටක් වැනි කෙටි කාල පරාසයක් තුළ මීටර් 24500 ක් දිවීමට කොතරම් ආත්ම ශක්තියක් තිබිය යුතුද. හසන් ඔලිම්පික් සැණකෙළියේදී තමන්ගේ රන් සිහිනය සැබෑ කරගැනීමට එම කෙටි කාලය තුළ කිලෝ මීටර් 24. 5 දුරක් දිවීමේ අභියෝගය කල් තියාම භාරගත්තාය. ඒ එම දින අටක කාලයේදී පැවති මීටර් 3000, 5000 සහ මීටර් 10000 තරඟ ඉසව් සඳහා තරඟ වැදීමෙනි.

‘‘ මට මගේ හදවත අනුගමනය කිරීම වැදගත්. රන් පදක්කම්වලට වඩා එය කිරීමයි වැදගත්. ඒ සඳහා මාව ධෛර්යමත් කරන අතර මේ සුන්දර ක‍්‍රීඩාව භුක්ති විඳීමට එය ඉවහල් වේවි.’’ සිෆන් හසන් එලෙස එම දුෂ්කර අභියෝගයට මුහුණ දීමට පෙර මාධ්‍ය හමුවේ තම සිතැ`ගි පවසා තිබුණාය. ඇත්තෙන්ම ඇයට එම ධෛර්ය සම්පන්න සිතුවිලි කාන්දු වී තිබුණේ සිය ජීවිතයේ මුල් කාලයේ සිටමය.

ඇය ලෝකයේ පහළ වූ විශිෂ්ටතම දිගු දුර ධාවන ශූරියක ලෙස ගරු බුහුමන් ලබද්දී ඇගේ හිසට ඉහළින් ලෙළ දුන්නේ නෙදර්ලන්ත ජාතික කොඩිය වුවත් ඇය මීට වසර දහයකට පෙර තෙක්ම ජීවත් වූයේ ඉතියෝපියානු ජාතික කාන්තාවක් ලෙසය. දර්ද්‍රතාවයේ සංකේතයක් බඳු ඉතියෝපියාවේ දුප්පත්කමේ අඳුරු අහුමුල්ලක ගමක් වන අදාමා ප‍්‍රදේශයේ ඇය උපත ලබා ඇත්තේ 1993 වසරේ ජනවාරි 07 දිනය. ඇගේ නියෝජනය වන්නේ සංස්කෘතික විවිධත්වයෙන් යුතු ඉතියෝපියාවේ ජනගහනයෙන් වැඩිම පිරිසක් නියෝජනය කරන ඔරමෝ ගෝත‍්‍රයයි. ඇගේ දෙමාපියන් පිළිබඳ තවමත් අන්තර්ජාතික මාධ්‍යයේ පවා කිසිදු සඳහනක් නැතත් ඇය කුඩා කල ජීවත්ව තිබෙන්නේ කෙසේවත් සුබ දායක වටපිටාවක නම් නොවේ. මිලියන 117 තරම් ජනගහනයක් වෙසෙන ඉතියෝපියාව දළ දේශීය නිෂ්පාදිතය අනුව මේ වන විට නැගෙනහිර අප‍්‍රිකාවේ විශාලතම අර්ථිකය හිමි රට ලෙස පරිවර්තනය වි තිබුණ ද සයිපන් හසන්ලාට එහි ප‍්‍රතිලාභ හිමි නොවුණාය. නිමක් නැති දූෂණ, සාගිනි සහ දුප්පත්කම හේතුවෙන් ඉතියෝපියාව ලෝකයේ පවතින අන්ත දුප්පත් රටක් ලෙස තවමත් සැලකෙන්නේ ඒ නිසාය. 1970 වසරේ එරට ඇරඹි සිවිල් අරගලය හේතුවෙන් රට තව තවත් දුප්පත්කමේ පතුලටම ඇද වැටුණා පමණක් නොව එම අරගලයට තවත් පැත්තකින් සම්බන්ධ වූ ටයිග‍්‍රයිස් ත‍්‍රස්තවාදීන් නිසා ඉතියෝපියාවේ මිලියන 1.4 ක ගේ ජීවිත විනාශ වී තිබෙන බව වාර්තාවල සඳහන්ය. දීර්ඝකාලිනව පැවති එම සිවිල් අරගලය යම් තාක් නිමා වී ඇත්තේ 2010 වසරේදී පමණ වන අතර සයිපන් හසන් 2008 වසර වන තුරුම හැදී වැඞී ඇත්තේ එම සිවිල් අරගලයේ ගිනියම් ගිනි පුපුරු මැදය. එහෙත් දෛවය විසින් ඇයට උරුම කර තිබුණේ එම සිවිල් අරගලයට මැදිව ජීවත්වන ඉතියෝපියානු වැසියෙකුගේ ඉරණම නොවේය. ඇය අවට තිබුණේ කුසගින්නත් යුද බියත් රජයන රටකි. පහලොස් හැවිරිදි තරුණියක වන විට ඇයට මේ වේදනාකාරී පරිසරයෙන් පලායාමේ උවමනාව ඇති විය. ජීවිතය පරදුවට තැබූ ඇය උපන් බිමෙන් පලායෑමට සිතුවාය. සිෆන් හසන් ද ඒ සඳහා යොදා ගත්තේ බොහෝ අප‍්‍රිකානු කළු ජාතිකයන් යුරෝපයට පලායෑමට යොදා ගන්නා උපක‍්‍රමයයි. 2008 වසරේ එක්තරා දිනක සරණාගතයෙකු සේ ජීවිතය බේරාගෙන ඇය යුරෝපීය රටක් වන නෙදර්ලන්තට පලා ආවාය. එතැන් පටන් ඇය ඉතියෝපියාවේ ගත කළ අඳුරු අතීතය සිතින් අමතක කර හෙදියක වීම සඳහා ඉගෙන ගත්තාය. එහෙත් ඒවන විට සිෆන්ගේ අභ්‍යන්තරයේ සැඟව පැවති සහජ දිගු දුර ධාවන හැකියාවට ද පණ දෙන්නට ඕ කල්පනා කළාය. හෙදියක් වීමට වෙහෙසෙන අතරම මැරතන් ධාවනය සඳහා ද ඇය පුහුණු වීම්වල නිරත විය. සිෆන්ට 2011 වසර එම පුහුණු වීම්වලත් උත්සහයෙත් ප‍්‍රතිඵල ගෙනදුන් වසරක් විය. යුරෝපයේ ප‍්‍රකට ධාවන තරඟයක් වන ‘‘ එයින් බෝඩින් හාෆ් මැරතන් තරගයට ඉදිරිපත් වූ ඇය එම තරගය ජයග‍්‍රහණයෙන් නිමා කළේ විනාඩි 77 තත්පර 10 වැනි කාලයකදීය. එය තම හැකියාව ගැන තක්සේරුවකට පැමිණිමට උදව් වූ සිදුවීමක් වූ අතර ඇය 2012 වසරේ ලෙඩින් ගෝල්ඞ් ස්පයික් තරගාවලිය ඉලක්ක කර තම පුහුණු වීම් තවත් වැඩි කළාය. ඒ අතරතුර කාලයේදී නෙදර්ලන්තයේ රට හරහා දිවීමේ මැරතන් තරගවලදි බොහෝ ජයග‍්‍රහණ තමන් සතු කරගත්තද ඇය එතෙක් ජීවත්වූයේද සරණාගතයෙකු ලෙසය.

සිෆන් හසන්ගේ මුළු ජීවිතයම වෙනස් කළ වසර වන්නේ 2013 වසරය. එම වසරේ බෙල්ජියමේ පැවති කේ.වි. සී. නයිට් ඔෆ් ඇත්ලටික් තරගාවලියේදී මීටර් 800 ඉසව්ව නියෝජනය කළ සිෆන් හසන් එම ඉසව්ව විනාඩි 2 යි තත්පර 00 දශම 86 කින් නිමා කරමින් තමන් ධාවන ශූරියක බව ලෝකයාට ඔප්පු කළාය. එම සිදුවීමත් ආසන්න හේතුවක්ව පස් වසරක සරණාගත ජීවිතය නිමා කමින් ඇයට නෙදර්ලන්තයේ පුරවැසිභාවය ලැබුණාය. පසුව අවස්ථා ගණනාවකදීම නෙදර්ලන්තය නියෝජනය කරමින් ලෝක ශූරතා මැරතන් ශූරතාවලි වලට සහභාගි වූ ඇය එම ජයග‍්‍රහණවල අභිමානය නෙදර්ලන්තයට අත්කර දුන්නාය. ඒ නිසාම ඇය මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පැමිණියේ ඩැෆ්නි ෆිගාඞ්ට පසු ඕලන්දයේ පහළ වූ විශිෂ්ටතම ධාවන ශූරිය ලෙසය.

නමුත් ඔලිම්පික් රන් පදක්කමක් කරා ළඟා වීම සිෆන්ට හසන්ට දෛවය එතරම්ම සරල කළේ නැත. ඇයගේ ජීවිතයේ ඉලක්කවලට ළඟා වීමට සැම විටම ඉමහත් ධෛර්යයක් සිෆන් ප‍්‍රකට කර ඇත. එය යළිත් අභියෝගයක් සේ මෙවර ඇය ඉදිරියට පැමිණියේ මීටර් 5000 ඔලිම්පික් රන් පදක්කම අත පොවන මානයේදීය. මුළු ලෝකයම දෑස් දල්වා බලා සිටියදිම මීටර් 5000 ඉස්ව්ව අතරමගදී ඇය අසලින් ධාවනයේ යෙදුණු කෙන්යානු ක‍්‍රීඩිකා ජෙබ්ටොක් පය පැකිලී බිම ඇද වැටුණේ සිෆන් හසන් ද ධාවන පථයේ ඇද වට්ටවමින්ය. ඒ ඇසිල්ලෙන් අනෙක් තරගකාරියන් ඇය පසුකර ඉදිරියට ඇදුණාය.

සිෆන්ට ‘‘එපා’’ කියා කෑ ගැසිණ. නමුත් ඉන් එහා සිතන්නට හෝ නිදහසට හෝ කාරණා නොතිබුණ බව තරගයෙන් පසුව ඇය මාධ්‍යයට පවසා තිබිණ. තවත් තත්පර දෙකක් වැනි කාලයක් ගතවෙන ඇය නැවතත් නැගිට්ටේ දෛවයේ මහා බාධක හමුවේ නැගිට පරිද්දෙන්මය. ඇය දිව්වාය. ඇයට උරුම දෛවයේ මාවත දිගේ දිව්වාය. දිණුම් කණුව පසු කරන විට සෙසු ක‍්‍රීඩිකාවන් සිටියේ ඇය පසුපසින්ය. එය ඔලිම්පික් ඉතිහාසයේ සිදු වූ අපූර්වතම ලස්සන දසුනක් වූවේය. මේ ධෛර්යමත් ක‍්‍රීඩිකාවට මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා සැණකෙළියේදී පදක්කම් ත‍්‍රිත්වයකින් තම රටට අභිමානය ළඟා කර දීමට හැකිවිය. එම පදක්කම් තුළ නිදන්ව ඇත්තේ ලෝකයාට කියා දෙන ධෛර්යවන්තකම පිළිබඳ ගැඹුරු පාඩමකි.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment