ඉතිරි අවුරුදු 3 නොවේ – මට තව අවුරුදු පහකුත් තියෙනවා – ජනපති සටනට යළි එන බවට ගෝඨාභය ඉගි කරයි

307

* බස්නාහිර කොවිඞ් එන්නත්කරණයත් ළගදීම අවසන් කරනවා

* පුනර්ජනනීය විදුලි ප‍්‍රභවයන්ට වැඩි අවස්ථාවක්

* වස විස නැති ආහාර වෙනුවෙන් කාබනික පොහොරවලට මුල් තැන දෙනවා

කාබනික වගාවට රට හුරු කරවමින් දේශීය කෘෂිකර්මාන්තය මත රට සමෘද්ධිමත් කිරීමට තමන්ට තව වසර තුනක් පමණක් නොව වසර පහකුත් ඉතිරිව තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එසේ ප‍්‍රකාශ කළේ ඊයේ (19දා) පෙරවරුවේ සියලූ මුද්‍රිත මාධ්‍ය හා විද්්‍යුත් මාධ්‍ය හිමිකරුවන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඞ් කුරේ මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

”දේශීය කෘෂිකර්මාන්තය තුළින් රට නගා සිටුවීමට සිරිමා බණ්ඩාරනායක මැතිනිය උත්සාහ ගත්තා. නමුත් එතුමියට ඒ සඳහා කාලය මදි වුණා. නමුත් ඔබතුමාට ප‍්‍රශ්නයක් නැහැ. තව අවුරුදු තුනක් ඉතිරිව තිබෙනවා මේ ඉලක්කය ජයගන්න’’ යනුවෙන් රෙජිනෝල්ඞ් කුරේ මහතා කළ ප‍්‍රකාශයට පිළිතුරු සපයමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.

‘‘මට ඒ සඳහා කාලය තිබෙනවා. අවුරුදු තුනක් නොවෙයි, තව අවුරුදු පහකුත් ඉතිරිව තිබෙනවා’’ යනුවෙන් ජනාධිපතිතුමා කළ ප‍්‍රකාශය තුළ ලබන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන්නේද නැද්ද යන ප‍්‍රශ්නයටද යම් ඉඟියක් තිබිණ.

බස්නාහිර පළාතේ කොවිඞ් එන්නත් කටයුතු ඉතා නුදුරේදීම අවසන් කරන බවත්, අවුරුදු තිහට වැඩි සියලූම දෙනාට එන්නත ලබාදීම සම්පූර්ණ කරන බවත් මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ජල විදුලිය, සුළං බලයෙන් ජනනය කරන විදුලිය, සූර්ය බල විදුලිය යන පුනර්ජනනීය විදුලි ප‍්‍රභවයන් කෙරෙහි තමා බලවත් ලෙස උනන්දු වන බවද සඳහන් කළේය.

රසායනික පොහොර සම්බන්ධයෙන් තම මතය ප‍්‍රකාශ කරමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය. ‘‘අපි පුංචි කාලේ අපේ ගෙවත්තේ ළිඳක් තිබුණා. සාමාන්‍යයෙන් අපේ පළාත්වල කිවුල් වතුර තිබුණත් මේ ළිඳේ තිබුණේ හොඳම පිරිසිදු වතුර. කලක් යනවිට මේ ළිඳේ වතුර විස වෙන්නට පටන් ගත්තා. එයට හේතුව වුණේ යාබද කුඹුරුවලට ඉසින ලද කෘමිනාශක හා පළිබෝධනාශක ඇතුළු රසායනික පොහොර වර්ග. ඒ නිසා කාබනික පොහොර ගැන මට විශාල උනන්දුවක් තියෙනවා’’

advertistmentadvertistment
advertistmentadvertistment