ඉතිරි ඩොලර් මිලියන 300 ලැබෙනවා: විදේශ සංචිත ඉහළ යනවා – මහ බැංකුව කියයි

961

චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකම් ඉතිරි ප‍්‍රමාණය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් නුදුරේදීම ලැබෙන බවත් එසේම පසුගිය දිනවල සිදුවූ විදේශ විනිමය ලැබීම් සමග රටේ විදේශ සංචිත තත්ත්වය තවත් වැඩිදියුණු වනු ඇති බවත් මහ බැංකුව පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙසේ ද කියයි.

2021 වසරේ අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය විශේෂ ගැනුම් හිමිකම් කිරීම යටතේ ලැබීමට නියමිත වූ ප‍්‍රමාණය සහ ශී‍්‍ර ලංකා මහ බැංකුව හා බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශී‍්‍ර ලංකාව වෙත ලැබුණි.

එ.ජා. ඩොලර් මිලියන 787කට සමාන විදේශ ගැනුම් හිමිකම් වෙන් කිරීමක් ශී‍්‍ර ලංකාව වෙත ලැබුණු අතර බංගලාදේශ බැංකුව සමග වන විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ එ.ජා. ඩොලර් මිලියන 150ක් ලැබිණි.

2021 අගෝස්තු 23 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එහි දැනට පවතින සාමාජිකයන්ගේ කෝටා ප‍්‍රමාණයෙන් සමානුපාතික වන ලෙස එ.ජා. ඩොලර් බිලියන 650කට සමාන විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීමක් සිය සාමාජික රටවල් අතර බෙදාහරින ලදී. මෙමගින් කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් ඇති වූ පෙර නොවූ අර්බුදකාරී අවස්ථාව හමුවේ රටවල විදේශ විනිමය සංචිතවලට අතිරේකව මුදල් සපයමින් සහ වඩා අධික පිරිවැයකින් යුතු දේශීය හා/හෝ විදේශීය ණය මත යැපීම අඩු කරමින්, ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවයක් සැපයෙයි. වසංගතය හේතුවෙන් ඇති වන අහිතකර බලපෑම්වලට එරෙහි කි‍්‍රයාමාර්ග වේගවත් කරමින් සිය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශේෂ ගැනුම් හිමිකම් ප‍්‍රතිපාදන මගින් ලබා දී ඇති අවස්ථාව භාවිත කිරීමට රටවලට හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම යනු එම අරමුදල වෙතින් ලබා දෙන ණයක් නොවන අතර ඒ හා බැඳුණු විශේෂ කොන්දේසි නොමැත. මීට පෙර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009, 1979-81 සහ 1970-72 යන කාල වකවානුවලදී සාමාජික රටවලට විශේෂ ගැනුම් හිමිකම් ප‍්‍රතිපාදන වෙන්කර තිබිණි.

බංගලාදේශ බැංකුව සමග ඇතිකරගත් එ.ජා. ඩොලර් මිලියන 200ක් වන විදේශ විනිමය හුවමාරු පහසුකම දෙරට අතර ආර්ථික හා මූල්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඇතිකර ගත්තකි. මාස 3ක කාලයක් සඳහා ලබාදී ඇති මෙම මුදල් හුවමාරු පහසුකම, අනතුරුව සමාන අනුරූප කාලපරිච්ෙඡ්ද දෙකක් යටතේ යාවත්කාලීන කිරීමට හැකියාවක් පවතින අතර එය එ.ජා. ඩොලර් මිලියන 50, එ.ජා. ඩොලර් මිලියන 100 සහ එ.ජා. ඩොලර් මිලියන 50ක් වශයෙන් කොටස් තුනකින් ලබාදෙනු ඇත. මින් පළමු කොටස් දෙක දැනටමත් ලැබී ඇත.

චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගත් ඒකාබද්ධ ණය පහසුකමේ ඉතිරි ප‍්‍රමාණය වන එ.ජා. ඩොලර් මිලියන 300කට ආසන්න මුදලක් නුදුරේදීම ශී‍්‍ර ලංකාවට ලැබීමට නියමිතය. මෙම ලැබීමත් සමග චීන සංවර්ධන බැංකුවේ එ.ජා. ඩොලර් බිලියන 1.3ක ඒකාබද්ධ ණය පහසුකම යටතේ වන ලැබීම සම්පූර්ණ වේ.

මෙම විදේශ විනිමය ලැබීම් රටේ දළ නිල සංචිත වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, මෙමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයන් තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඉඩ සලසයි. රජය වෙත ලැබෙන ණය නොවන විදේශ විනිමය ලැබීම් ඇතුළු අපේක්‍ෂිත ලැබීම් හේතුවෙන් ඉදිරි කාලය තුළ දී ශී‍්‍ර ලංකාවේ විදේශ විනිමය සංචිත තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment