ඉතිරි මෙටි්‍රක් ටොන් 6000ක් පමණයි – පෙට්‍රල් සංචිත අඩියටම බහී – ෂෙඩ්වලින් 80%ක් වැහිලා

314

මේ වන විට රටේ ඇත්තේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් හයදහසක් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් දොළොස්දහසක පමණ ප්‍රමාණයක් යැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා අලෙවි අංශ වාර්තා සඳහන්කරයි.

කෙසේ වෙතත් සියලු ඩීසල් මෙටි්‍රක් ටොන් හතළිස්දහසක් අඩංගු ඩීසල් නෞකාව අද (16 දා) කොළඹ වරායට ඒමට නියමිතය. එය ඉන්දීය ණය පහසුකම යටතේ ලැබෙන අවසන් නෞකාවයි.

මෙරට දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් පන්දහසක් පමණ වන අතර දෛනික ඩීසල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් හයදහසක් පමණ දක්වා වැඩිවී ඇත. දිනක භූමි තෙල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 800කි.

දැනට තෙල් සංස්ථාව සතුව තිබෙන ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ දින දෙක තුනකට පමණි. හේතුව ඉල්ලුම සපුරාලීමට තරම් ඉන්ධන නිකුත් නොකර සීමාසහිතව නිකුත් කිරීම යැයි තෙල් සංස්ථා උසස් නිලධාරීහු පවසති.

මේ අතර තෙල් සංස්ථාව සතුව රුපියල් ශත නොමැතිවීම නිසා ඉන්ධන බෙදුම්කරුවන්ට (ඉන්ධනහල්) අත්පිට මුදලට ඉන්ධන ලබාදීමට සංස්ථාව පියවර ගැනීමෙන් බොහෝ ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීම නවතා දමා ඇතැයි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.

ඉන්ධන වර්ග දෙක ඇණවුම් කිරීමට රුපියල් ලක්‍ෂ පනහක් පමණ වැයවන බවත් අඩුම තරමින් අත්පිට මුදල් ගෙවා ඇණවුම් කළ සැණින් එම තොග ලැබෙන්නේ නම් ප්‍රශ්නයක් නැති බවත් හෙතෙම කීය.

කෙසේ වෙතත් මේ හේතුව නිසාද බොහෝ ඉන්ධනහල් වසා දමා තිබිණි. මෙරට ඉන්ධනහල් 1190ක් තිබෙන අතර ඉන් 250ක් ඉන්දීය තෙල් සමාගමට අයත්ය.

මෙම සියලු ඉන්ධනහල්වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනයේ වසා දමා තිබිණි.

කෙසේ වෙතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දිනකට ඩීසල් මෙටි්‍රක් ටොන් 825ක්, පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 320ක් සහ භූමිතෙල් මෙටි්‍රක් ටොන් 620ක් සංස්ථාවට ලබාදෙයි. බොරතෙල් යළි නොලැබී ගියහොත් ලබන 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පිරිපහදුව යළි වසා දැමීමට සිදුවේ. ඒ එසේ වුණොත් සිව්වන වතාවටය. නොවැම්බර් මස සිට තුන්වරක් බොරතෙල් නොමැතිව පිරිපහදුව වසා දැමිණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment