ඉතිහාසයේ වැඩිම මස්, බිත්තර මිල… සපිරි කෑම වේලත් සුපිරිවෙන හැඩ!

474

‘බිස්කට්, බිත්තර කෑම නතර කරමු…’ ඒ අපගේ අදහසක් නොවේ. මේ දිනවල මුහුණු පොතේ නිතර ඇස ගැටෙන පෝස්ටුවකි. අදහස යහපත්ය. නිතර බිස්කට් කෑම ලෙඩ රෝග බොහෝමයක් ඇඟට තුරුළු කරගැනීමක් බව සැබෑය. එහෙත් බිත්තර ශාරීර සෞඛ්‍යයට අත්‍යවශ්‍ය ආහාරයකි. ශරීරයට උරාගැනීමේ ශක්තිය බිත්තරවල 90% කි. උරාගැනීමේ ශක්තියෙන් බිත්තර දෙවැනි වන්නේ මව් කිරිවලට පමණි. එමෙන්ම මෝළේ ශෛල වර්ධනයට මෙන්ම ශරීරයේ ක්‍රියාකාරීත්වයට බිත්තර පරිභෝජනය අත්‍යවශ්‍ය වේ. එමෙන්ම බිත්තර පරිභෝජනය තුළින් මොළේ ක්‍රියාකාරීත්වයට ඔක්සිජන් ලබාදීම කාර්ය්‍යක්‍ෂමව වේ. වැඩ කිරීමේ හැකියාව සහ ඥානවන්ත බව වර්ධනයට බිත්තරවල විශේෂ පෝෂ්‍යදායී සංඝටක ඇතුළත් බව විශේෂඥ මතයකි.

බිත්තර ආහාරයට ගැනීමෙන් නම්‍යශීලී, ජවසම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි බව ද විශේෂඥ මතයකි. වයසට යෑමේදී ගිලිහී යන ශාරීරික නාම්‍යශීලී බව බිත්තර පරිභෝජනයෙන් නැවත වර්ධනය කරගැනීමට හැකියාව ඇත. එමෙන්ම බිත්තරවල පෝෂ්‍යදායී ගුණ බහුලව ඇත්තේ සුදු මදයේය. එහෙත් බිත්තර කහ මදය ඉවත දමන තරමට අගුණ නැති බවත් බිත්තරවල කහ මදයේ ද ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍යදායී සංඝටක රාශියක් ඇති බව පෝෂණවේදීන්ගේ අදහසය.

ෆාම් බිත්තරවලට වඩා ගම් බිත්තරවල පෝෂ්‍යදායි ගුණ බහුල බව සැබෑවකි. කූඩු කර සිටින කිකිළියන්ට ආහාරයට ලැබෙනුයේ සීමිත ආහාර ප්‍රමාණයකි. උන්ගේ වර්ධනයට මෙන්ම බිත්තර දැමීම කඩිනම් කිරීමට විවිධ හෝමන එන්නත් කරුණු බව ද සැබෑය. ඒ සියලු විෂ සහිත බෙහෙත් බිත්තරවල තැන්පත් වේ. ගම් ගොඩේ ඇහිඳ කන කිකිළිය කෘමි සතුන්, පළා වර්ග, පළතුරු වර්ග විවිධ කෑම වර්ග ආහාරයට ගන්නාහ. එම ආහාරවල පෝෂ්‍යදායී කොටස් ගම් කිකිළියන්ගේ බිත්තරවල අඩංගු වේ. ගම් බිත්තරවල කහ මදය තද කහ පැහැයකින් යුක්ත වන්නේ ඒ සතුන් පළා වර්ග බහුලව කෑමට ගන්නා නිසාය. එමෙන්ම ගම් කිකිළින්යට හෝමන වර්ග එන්නත් කරනු නොලැබේ. නියමිත චක්‍රකයට අනුව උන් බිත්තර දමනු ලැබේ. එහෙයින් ගම්බිත්තරවල පෝෂ්‍යදායි ගුණය ඉතාම බහුලය.

ඉතිහාසයේ වැඩිම මස්, බිත්තර මිල… සපිරි කෑම වේලත් සුපිරිවෙන හැඩ!

එමෙන්ම කුඩා දරුවන්, ක්‍රියාශීලී වැඩිහිටියන්, මහලුවියේ පසුවන්නන් යන ඕනෑම කාණ්ඩයක පුද්ගලයන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතාවයේදී සමබල ආහාර වේලක් ගත යුතුය. එම සමබල ආහාර වේලට ප්‍රෝටීන් සහිත ආහාර අනිවාර්යෙන්ම අන්තර්ගත විය යුතුය. ප්‍රෝටීන අපට අවශ්‍ය වන්නේ දේහ වර්ධනය සඳහා ශරීරය තුළ සිදුවන විවිධ ජීව ක්‍රියාවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඇමයිනෝ අම්ල සපයන පෝෂක සංඝටකය ලෙසය. එම ඇමයිනෝ අම්ලවලින් 09 ක් මිනිසාගේ ශරීරය තුළදී නිෂ්පාදනය කරගත නොහැක. එමෙන්ම එම ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය ඒවා ලෙස ද හැඳින් වේ. එම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මිනිස් ශරීරයට ලබාගත හැකි වනුයේ සත්ත්ව ප්‍රෝටීනවලින් පමණි. ඒ අනුව මස් හෝ මාළු නිර්දේශිත ප්‍රමාණවලින් දෛනික ආහාර වේලට එකතු කරගත යුතු බව පෝෂණවේදීන්ගේ අදහසය. එමෙන්ම මිනිසාගේ පෝෂණ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට වඩාත් ආරක්‍ෂාකාරී, සෞඛ්‍යාරක්‍ෂිත සත්ත්ව මාංශ ප්‍රෝටීන සපයන ආහාර ප්‍රභේදය වනුයේ කුකුළු මස්ය. ලාභදායී සත්ත්ව මාංශ ප්‍රෝටීන සපයන ආහාර ප්‍රභේදය ලෙස කුකුළු මස් ලෝකයේ බොහෝ රටවල ප්‍රසිද්ධය. වෙළෙඳපොළේ පවතින ගව, එළු ඌරු මස්වල අඩංගු සංතෘප්ත මේද අම්ලවලට වඩා කුකුළු මස්වල අඩංගු සංතෘප්ත මේද අම්ල ඉතා අවමය. සත්ත්ව මාංශවලින් අවම සංතෘප්ත මේද අම්ල අඩංගු වන්නේ මාළුවලය. සංතෘප්ත මේද අම්ල බෝ නොවන රෝග වර්ධනයට ප්‍රධාන හේතුවකි. එමෙන්ම අසංතෘප්ත මේද අම්ල මිනිසාගේ පෝෂණයට ඉතා වැදගත්ය. සෑම වැඩිහිටි පුද්ගලයෙක්ම සම රහිත කුකුළු මස් සහ මාළු අවුන්ස හයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් දිනක ආහාර වේලට ඇතුළත් කරගැනීම ඉතා වැදගත් ය. ඒ තුළින් මිනිසාගේ පෝෂණයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහිත ප්‍රෝටීන සැපයීමට අමතරව, ඔමේගා 3 වැනි අසංතෘප්ත මේද අම්ල ද විටමින් හා ඛනිජ ලවණ ද නොඅඩුව ලැබේ. විශේෂයෙන්ම සින්ක්, සෙලිනියම් සහ විටමින් බී-12 බ්‍රොයිලර් කුකුළු මස්වල බෙහෙවින්ම බහුලය. සින්ක් සහ සෙලිනියම් මිනිසාගේ ආරක්‍ෂණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බෙහෙවින්ම වැදගත් වන අතර විටමින් බී-12 රතු රුධිරානු නිෂ්පාදනයට දායක වේ.

එහෙත් පවතින වෙළෙඳපොළ මිල යටතේ මස්, බිත්තර ආහාරයට ගත හැක්කේ යහමින් මුදල් ඇති හැකි අයට පමණි. දුප්පත් මිනිසුන්ට මස්, බිත්තර දිහා බලා කෙළ හළනවා විනා මිලදී ගැනීමට නම් අසීරුය. ඉතිහාසයේ වැඩිම මස්, බිත්තර මිල වාර්තා වෙන්නේ මේ දිනවලය. බිත්තරයක් රුපියල් 63 සිට 70 දක්වා මිල වැඩි වී තිබේ. බොයිලර් කුකුළු මස් කිලෝව රුපියල් 1350 කි. අනෙකුත් සියලුම මස් වර්ගවල මිල ඊට වඩා වැඩිය. මාළු සහ කරවල වර්ගවල මිල ද ඊට නොදැවෙනිය. එහෙයින් මේ වන විට මෙරට මස්, මාළු, බිත්තර, කරවල පරිභෝජනය විශාල වශයෙන් අඩු වී ඇති බව ද වාර්තා වේ. 2020 වර්ෂය වන විට කිලෝ දහයක්ව පැවති වාර්ෂික ඒකපුද්ගල කුකුළු මස් පරිභෝජනය මේ වන විට කිලෝ පහකටත් අඩු මට්ටමකට පහළ බැස තිබේ. දිනකට ලක්‍ෂ අසූ පහකට ආසන්නව පැවති බිත්තර පරිභෝජනය මේ වනවිට විශාල වශයෙන් අඩු වී ඇති බව ද වාර්තා වේ. මස්, බිත්තර මිල ඉහළ යෑමට බලපා ඇති ප්‍රධාන සාධකය සත්ත්ව ආහාර, සතුන්ට ලබාදෙන බෙහෙත්, විටමින්, ඉන්ධන මිල ඉහළ යෑමය. තවදුරටත් මස්, බිත්තර මිල වැඩි වී පරිභෝජනය අඩුවීමේ ප්‍රවණතාවය වැඩිය. එමෙන්ම කුකුළු ෆාම් හිමිකරුවන් ද සත්ත්ව ආහාර මිල වැඩිවීම මුල්කොට ගෙන පාරිභෝගිකයන් සූරාගෙන කන ආකාරයට මස්, බිත්තර මිල වැඩි කරන ස්වභාවයක් ද පෙනේ. අසාධාරණ මිල වැඩි කිරීම තුළ මස්, බිත්තරවලින් ස්වයංපෝෂිතව තිබුණු රටේ දරුවන් මන්දපෝෂණ රෝගීන් ලෙස මියැදෙන තත්ත්වයක් මෙන්ම පෝෂණ ඌණතාව සමඟ බෝ නොවන රෝග උත්සන්න වී මියැදෙන වැඩිහිටි ප්‍රජාව ද විශාල ලෙස වැඩි වන බව සැක නැත. එමෙන්ම මහා පරිමාණ කුකුළු ෆාම් හැරෙන්න මෙරට මස්, බිත්තර කර්මාන්තය ද නැත්තටම නැති වන බව ද සැබෑය. එහෙයින් රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් පෙළෙන රෝගීන්වීමට පෙර මේ ගැටලුව විසඳීමට අදාළ බලධාරීන් කඩිනම් විය යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment