ඉදල්ගස්හින්නට පෙර… හල්දුම්මුල්ල ඔසු උයනේ දවසක්

308
ඉදල්ගස්හින්නට පෙර… හල්දුම්මුල්ල ඔසු උයනේ දවසක්

හැමදාමත් නැවුම් සංචාරක අත්දැකීම් විඳීමට කැමැති, නැවුම් සංචාර සොය සොයා යන අපිට මෙවර අත්විඳින්නට ලැබුණේ හරිම අපූරු සංචාරයක අත්දැකීමකි. උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රකට දුම්රිය ස්ථාන 4 ක් කේන්ද්‍ර කරගනිමින් “ඉදල්ගස්හින්න” නමින් පැවැත්වීමට නියමිත ඡායාරූප වැඩමුළුවකට සම්බන්ධ වෙමින් මින් පෙර කිසිදා නොවිඳි අත්දැකීමක් ලබන්නට සැලසුම් කරන ලද මෙම සංචාරය ඇසුරෙන් සංචාරක විශේෂාංගයක් ලියන්නට අපට ආරාධනය කරන ලද්දේ “කැලණිය ඡායාරූප සහ කලා සංගමය” මගිනි. සැබැවින්ම මේ සඳහා කල්තියාම අපට ආරාධනය කර, “දිවයින”-හරිත-සංචාරේ කණ්ඩායම ඒ සඳහා සහභාගී කරගැනීම වෙනුවෙන් අදාළ දින වෙන්කර තබාගන්නා ලෙස සංගමයේ සභාපති ලක්ෂ්මන් පන්තියදේව, එම ප්‍රධාන ලේකම් සුජීව ජිනේන්ද්‍ර, එම භාණ්ඩාගාරික රජීව් ඇලෙක්සැන්ඩර්, උප සභාපති කමල් සූරියආරච්චි, උප ලේකම් රෝහණ පෙරේරා, ප්‍රධාන සංවිධායක කුමාර දහනායක, හිටපු සභාපති කීර්ති අමරසේකර යන ප්‍රකට වන ජීවී හා කලාත්මක ඡායාරූප ශිල්පීන් ඇතුළු සංගමයේ විධායක කමිටු සාමාජිකයින් විසින් අපට ආරාධනය කරන ලද අතර, මෙම චාරිකාවේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබාගැනීමට ද “දිවයින-සංචාරේ” අපව උනන්දු කරවීම ගැන අප “කැලණිය ඡායාරූප සහ කලා සංගමය” ට මෙන්ම, කිරිබත්ගොඩ “ලක්සේයා කලර් ලැබ් – (Lakseya Colour Lab – Kiribathgoda and Matara) අධිපති නිමල් උඳුගොඩ මහතාට මේ මොහොතේ අප “සංචාරේ” කණ්ඩායමේ ස්තුතිය පුද කළ යුතු වෙමු.

දින යොදා ගත් පරිදි චාරිකාව ආරම්භ කරන ලද්දේ කිරිබත්ගොඩ නගරයෙනි. ඒ අලුයම 4 ට පමණය. 25 දෙනකුගෙන් පමණ සමන්විත “කැලණිය ඡායාරූප සහ කලා සංගමයේ” සම්පූර්ණ සාමාජික කණ්ඩායමට ඇතුළත් වූ “සංචාරේ” අපගේ කණ්ඩායම ද සහිත අප රැගත් මිනි බස් රථය ගමන් ගත්තේ කිරිබත්ගොඩ සිට මාකොළ-කරාබුගස්හන්දිය-දොම්පේ පූගොඩ-කොස්ගම-අවිස්සාවේල්ල ඔස්සේය. අනතුරුව රත්නපුර-පැල්මඩුල්ල-බෙලිහුල්ඔය-බලන්ගොඩ සුන්දර කඳු හා වංගු සහිත මාර්ගය ඔස්සේ බෙරගල-හපුතලේ පාරේ පිහිටි හල්දුම්මුල්ලට ළඟා වන විට දහවල් 11 ට ආසන්න වී තිබිණි. නොයෙක් (කයි) කතාන්දර, සුන්දර මතකාවර්ජනා, කොක් හඬලා නැගෙන සිනා රැලි සහ සවන් පිනවන ගී පද වැල් මැදින් මෙන්ම, කඳුකරය පිසගෙන එන සිහිල් සුළං දහරාවල හා නෙත පිනවන දසුන් විඳිමින් පැමිණි ඒ හෝරා කිහිපය අතිශයින්ම වින්දනීය එකක් විය.

එසේ ආ ගමනේ අපගේ පළමු නවාතැන බවට පත්වූයේ හල්දුම්මුල්ල බත්ගොඩ පිහිටා ඇති සුන්දර හා අද්විතීය වූ ඖෂධ උද්‍යානයේ පිහිටි සංචාරක නවාතැනයි. රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් රට පුරා පිහිටි ඖෂධ උයන් අතරින් සුවිශේෂී මධ්‍යස්ථානයක් වන බත්ගොඩ ඖෂධ උද්‍යානය හා පුහුණු මධ්‍යස්ථානය, සැබැවින්ම මිහි පිට පිහිටි පාරාදීසයක් යැයි කීම වරදක් නොවේ.

අක්කර 64 කින් පමණ සමන්විත මෙහි භූමි ප්‍රමාණය තුළ, අගනා සංචාරක නිවහනක්, නේවාසික පුහුණු මධ්‍යස්ථානයක්, ශ්‍රවණාගාරයක්, බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගත හැකි ස්ථානයක්, බීජ බැංකුවක්, පැළ තවාන් සමූහයක්, ඇතුළු ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සියලුම ඖෂධ වර්ග පාහේ ඇතුළත් ඖෂධ උද්‍යානයක් ස්ථාපිත වී ඇත. මේ නොබෝදා නැසී ගිය ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට හා ප්‍රවීණම කෘෂි විද්‍යාඥ ආචාර්ය පියල් මාරසිංහ මහතා විසින් මහත් පරිශ්‍රමයකින් ගොඩනංවන ලද මෙම උද්‍යානය සහ ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථානය අප යන මොහොත වන විටත් හඳුන්වන ලද්දේ “හල්දුම්මුල්ල-බත්ගොඩ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා පිළිබඳ ජාතික ඔසු උයන” ලෙසිනි. නමුත්, ඉකුත් 10 වැනිදාට යෙදුණු ආචාර්ය පියල් මාරසිංහ මහතාගේ තෙමස් පූර්ණ අනුස්මරණ පිංකම නිමිත්තෙන් ඒ මහතා නිර්මාතෘත්වය දරන ලද මෙම මධ්‍යස්ථානය “පියල් මාරසිංහ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා පිළිබඳ ජාතික ඔසු උයන” ලෙස නම් කරනු ලැබීය. ආචාර්ය පියල් මාරසිංහ මහතාට හිමි විය යුතු එම ගෞරවය ද පුදකරමින් බත්ගොඩ පිහිටි මෙම ඔසු උයන කේන්ද්‍ර කරගනිමින් අපගේ තෙදින ඡායාරූපකරණ වැඩසටහන මෙතැන් සිට මෙහිදී ආරම්භ කරන්නට “කැලණිය ඡායාරූප සහ කලා සංගමය” යුහුසුළු විය.

බෙරගල නැරඹුම් පොළට නුදුරු හල්දුම්මුල්ලේ අතිශය සුන්දර වටපිටාවක පිහිටි අපගේ නවාතැනේ සිට පසුදා අලුයම ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි ප්‍රකට දුම්රිය ස්ථාන 4 ක පැවැත්වෙන ඡායාරූපකරණ ක්ෂේත්‍ර වැඩමුළුවට අදාළ සියලු කතා බහ මෙන්ම, ආහාර පාන ඇතුළු නවාතැන් පහසුකම් ද අඩුවක් නැතිව මෙම ඔසු උයන පරිශ්‍රයේ දී සපුරාගන්නා අතර, තම තමන්ගේ නවාතැන් පහසුකම් පිළියෙල කරගන්නා අතරේ සංගමයේ මෙන්ම, අපගේ මෙම චාරිකාවේද ප්‍රධාන සංවිධායක තනතුර භාරව කටයුතු කළ ප්‍රකට ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂ හා ඡායාරූප ශිල්පී කුමාර දහනායක සියලු අවශ්‍යතා දුව-පැන සොයා බලමින් කණ්ඩායම එක මිටකට තබාගන්නට මහත් කැපකිරීමක් සිදු කළේය.

ඉදල්ගස්හින්නට පෙර… හල්දුම්මුල්ල ඔසු උයනේ දවසක්

අප අද දිනය ගතකරන හල්දුම්මුල්ල ඔසු උයනේ අනෙකුත් අංග පසෙක තබා, කාරණා දෙකක් ගැන පැවසීම අතිශයින්ම ප්‍රයෝජනවත් යයි සිතමි. එනම්, අපට නවාතැන් හිමිවූ 40 දෙනකුට එකවර නවාතැන් ගන්නට හැකි ලෙස පිළියෙල කර තිබූ නවීන පුහුණු මධ්‍යස්ථානයේ කදිම නවාතැන් ගොඩනැගිල්ල සහ එම ස්ථානයට දර්ශනය වන පුළුල් දර්ශන තලය එම කාරණා දෙකයි. නවාතැන් ගොඩනැගිල්ල ඇඳන් 20 බැගින් කාන්තා සහ පිරිමි ලෙස දෙකොටසකට බෙදා ඇති අතර, එහි මධ්‍යය ආහාර ගන්නට සකසා ඇත. මේ “ඩොමිටි්‍ර” දෙක සඳහාම වෙන වෙනම නාන කාමර, වැසිකිළිවලින් යුත් සනීපාරක්ෂක පහසුකම් පවතින අතර, දෙකොටසටම වෙන වෙනම ඩබල් රූම් දෙක බැගින් හතරක්ද ඇත. පසුපසින් කාර්ය මණ්ඩලයද සහිත මුළුතැන්ගෙය පිහිටයි. මේ සියල්ලටම ඉදිරිපසින් එළියේ වෙනම ලොබියකි. අනතුරුව ඇත්තේ පෙරකී පරිදි අනන්තය දක්වා දිව යන දර්ශන තලයයි. ඈත ක්ෂිතිජ ඉමේ කෙළින්ම ඉදිරියෙන් ඇස් මට්ටමේ කිලෝමීටර් 10 ක් පමණ අහස් දුරින් දර්ශනය වන්නේ සුප්‍රකට “කූරගල” බෞද්ධ සිද්ධස්ථානය යයි. ඈත ඉමේ ක්‍රමයෙන් දකුණට උඩවලව ජලාශය, හම්බන්තොට ප්‍රදේශය, චන්ද්‍රිකා වැව යනාදියද වම් පසට සොරබොර වැව, මහියංගණ ප්‍රදේශය ද අපූරුවට දර්ශනය වේ. ඒ මදිවාට ගිරුවාපත්තුව, දිගාමඩුල්ල, වෙල්ලස්ස හා බින්තැන්න පිසගෙන එන සුළඟ හල්දුම්මුල්ල බෑවුමෙන් බත්ගොඩ ඔසු උයන පිසගෙන අප සිටින නවාතැනට කඩා වදින්නේ අප ගත හිරිගඩු නංවාලමිනි.

මෙවන් අපූරු පාරාදීසයක සිට හෙටින් ඇරඹෙන “ඉදල්ගස්හින්න” නම් සුන්දර හා අත්දැකීම් බහුල දුම්රිය ස්ථාන චාරිකාවට අප “කැලණිය ඡායාරූප සහ කලා සංගමයේ” සාමාජික කණ්ඩායම හා එක්වන්නේ ප්‍රීති ප්‍රමෝදයකිනි.

හල්දුම්මුල්ලෙන් ඇඩිසන් බංගලාවට ගොස්…
හපුතලෙන් දුම්රියේ නැගී ඉදල්ගස්හින්නට ගිය ගමන ලබන සතියේ…
විශේෂ ස්තුතිය – පාලිත හපුආරච්චි මහතාට සහ ඔසු උයන කාර්ය මණ්ඩලයට.

සැරිසර – ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස – කැලණිය ඡායාරූප සහ කලා සංගමය
“සංචාරේ” අනුග්‍රහය –
Lakseya Colour Lab

advertistmentadvertistment
advertistmentadvertistment