ඉදිකර වසර 7 ක්වත් නෑ අටබාගේ දෙමහල් හෝටලය නායයයි

1136

හාස්කමකින් මෙන් ජීවිත හතර බේරෙයි

ගම්පොළ නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප‍්‍රදේශයේ සිදු වූ නාය යෑමකින් ව්‍යාපාරික දෙමහල් ගොඩනැඟිල්ලක් කඩා වැටී අටබාගේ ඔයට පෙරළී තිබේ. 04 – පිටුවට

පවතින අධික වර්ෂාව සමග පෙරේදා (10 දා) රාත‍්‍රී මෙම ගොඩනැඟිල්ල නාය ගොස් ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.

මෙහි හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි අයිතිකරු හා ඔහුගේ පුතා රාත‍්‍රී හෝටලය වසා දමා එළියට පැමිණි පසු මෙම ගොඩනැඟිල්ල නාය ගොස් තිබේ.

මේ දෙදෙනා එම හෝටලයට යාබද ඇති නිවෙසේ පදිංචිව සිටින අතර එම නිවසේ ද කොටසක් මෙම නාය යෑමට හසුව තිබේ.

මෙම සිද්ධියෙන් ගොඩනැ`ගිල්ල කඩා වැටුණ ද මෙම දෙදෙනාට මෙන්ම නිවසේ සිටි තවත් දරුවකුට හා හෝටල් අයිතිකරුගේ බිරිඳට කිසිම අනතුරක් වී නැත.

මෙම නායයාම නිසා ගම්පොළ – නුවරඑළිය ප‍්‍රධාන මාර්ගය ද අටබාගේ ප‍්‍රදේශයෙන් පුපුරා ගොස් ඇත. ඒ නිසා වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ගම්පොල මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පවසයි.

නාය අවදානම් සමග එහි සිටින නිවැසියන් ද ඉවත් කළ බව පොලිසිය පවසයි.

මෙම හෝටලය ඉදිකර වසර හතක්වත් නැති බවත් නිවස වසර සියයක් පමණ පැරණි බවත් හෝටලයේ අයිතිකරුගේ සොයුරු සනත් රණසිංහ මහතා පවසයි.

ගම්පොළ සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment