ඉදිකිරීම් කර්මාන්තයේ 70%ට රැකියා අහිමි වෙලා…

රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් 3000ට අඩු වෙයි…

රජයේ ඇතැම් නිලධාරීන්ට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ගැන දැනුමක් නෑ…

විශ්වවිද්‍යාවල ඉංජිනේරු සිසුන්ට ප්‍රායෝගික පුහුණුව ලබාගන්න වැඩබිමක් නෑ…

අනාදිමත් කාලයක සිට පැවැත එන මෙරට ඉදිකිරීම් කර්මාන්තය දෙඅංශයකි. රජයේ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාදාමයේ නිරත රාජ්‍ය ඉදිකිරීම් සහ පෞද්ගලික ගොඩනැඟිලි, නිවාස හෝ වෙන යම් ඉදිකිරීම් පෞද්ගලික ඉදිකිරීම් අංශය යටතට අයත් වේ. එමෙන්ම 2019 වර්ෂය වන විට මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය තුළ පැවැති දැවැන්ත පිබිදීම සමඟ මෙරට දළ ජාතික නිෂ්පාදනයට 7% – 8% ක් අතර සංඛ්‍යාවක දායකත්වයක් ලබාදී ඇති බව ද වාර්තා වේ. එමෙන්ම කොවිඩ් වසංගතයෙන් මෙරට වෙළාගැනීමට පෙර ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම රැකියාවල නිරතව සිටි පිරිස ලක්‍ෂ දොළහකට වැඩිය. ඒ අතර සෘජු රැකියා අවස්ථා ලක්‍ෂ හතහමාරකි. වක්‍ර රැකියා අවස්ථා ලක්‍ෂ පහකට වැඩිය. උගත්, නූගත් විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටි බව ද සැබෑය. මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දුප්පත් පවුල්වල දරුවො තම වියදම් සොයාගැනීමට ඉදිකිරීම්වල අත්උදව්කරුවන් ලෙස සේවය කරමින් මුදල් උපයාගත් බව ද රහසක් නොවේ. ඇතැම් ළමයි අධ්‍යාපන වියදම් පියවාගෙන ඉතිරි මුදල සහෝදර, සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ බව ද විටින්, විට වාර්තා වී තිබේ.

එහෙත් ලොවම වෙළාගත් කොවිඩ් වසංගතයත්, මෙරට ක්‍රියාත්මක වැරැදි ආර්ථික කළමනාකරණය, ඇතැම් පාලකයන්ගේ මන්දබුද්ධික තීන්දු, තීරණ නිසා උද්ගත වූ ආර්ථික අර්බුදය තුළ සියලු ක්‍ෂේත්‍ර කඩා වැටිණි. මෙරට ආර්ථික අර්බුදයට ගොදුරු වන විට 178 ට පැවැති ඩොලරයේ අගය තුන්සිය හැත්තෑගාණට වැඩිවීම, රුපියල් 87 ට පැවැති ඩීසල් ලීටරය පන්සියට කිට්ටු කිරීම, රුපියල් 800 ට තිබුණු සිමෙන්ති කොට්ටය තුන්දාහස් ගාණට මිල ඉහළ යෑම, රුපියල් එක්ලක්‍ෂ විසිහයදහසට පැවැති යකඩ ටොන් එක පන්ලක්‍ෂ විසිපන්දහස දක්වා වැඩිවීම, රුපියල් 12000 ට පැවැති වැලි කියුබ් එක 30,000 දක්වා වැඩිවීම සහ මිල ඇසෙනවිට හදවත් ගල් වෙන තරමට කළු ගල් මිල වැඩිවීම, විදුලි උපකරණ, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ හා සේවා මිල 2019 අවුරුද්දට සාපේක්‍ෂව 100% න් ඉහළ යෑම තුළ චීනය හෝ වෙනත් රටකට හැර මෙරට ව්‍යාපෘති කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. නිවසක්, ව්‍යාපාරික ස්ථානයක් ගොඩනැඟීම මිනිසුන්ට සිහිනයක් පමණක් විය. සමස්ත ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ම කොට උඩ ගියේය.

සුළු, මධ්‍ය සහ මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්, විවිධ වෘත්තිකයන් සහ අත්උදව්කරුවන් නන්නත්තාර විය. ඇතැම් මහා පරිමාණ ඉදිකිරීම් කර්මාන්තශාලාවල කාර්යමණ්ඩලය නඩත්තු කරගැනීමට නොහැකිව විශාල වශයෙන් සේවකයන් අඩු කිරීමට සිදු විය. රුපියලක ආදායමක් නොමැතිව කාර්යමණ්ඩලය සහ වැඩ බිම් සේවකයන් හැකි පමණින් ජීවත් කරවීමට ඇතැම් මහ පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සංවේදී වූ බවද ද අපට වාර්තා විය. එමෙන්ම ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටි ඉංජිනේරුවො 60% ක් පමණ පිටරට රැකියාවලට ගියහ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කම්කරු රැකියාවල නිරතව ආදායම් ඉපැයූ විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැතිව අධ්‍යාපනය ද අතරමඟ නතර කිරීමට සිදු වූ අවස්ථා වාර්තා විය. විශ්වවිද්‍යාලවල ඉංජිනේරු උපාධි, හදාරණ, පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ විවිධ උපාධි හදාරන ළමයින්ට මෙන්ම කාර්මික විද්‍යාලවල ළමයින්ට ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට වැඩ බිමක් නැති තත්ත්වයට පත් විය. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා අහිමිවීමත් සමඟ කාර්මික විද්‍යාලවලින්, විශ්වවිද්‍යාල තුළින් ඉංජිනේරු උපාධිය ලබාගෙන පිට වූ ළමයි නගරයේ ත්‍රිරෝද රථ හයර් කරන, ගමේ කුලී වැඩ කරන තත්ත්වයට පත් සිටින බව ද වාර්තා විය. කොළඹ ඉදිකිරීම් වැඩ බිම්වල විවිධ කාර්මික වෘත්තීය කටයුතුවල නිරත වෙමින් විශාල වේතන ලබමින් සිටි වෘත්තිකයින් මේ වනවිට ණයකාරයන් බවට පත්ව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති.

අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර ප්‍රදේශවල ජීවත්වන පිරිමි බහුතරය ගොවිතැන් කටයුතු අවසාන වීමෙන් පසුව ඉතිරි මාස කිහිපයේදී කොළඹ ඉදිකිරීම් වැඩබිමක සේවය කිරීම පුරුද්දක් කරගෙන සිටියහ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දැවැන්ත කඩා වැටීමත් සමඟ ඔවුන්ට ද රැකියා අහිමි වී තිබේ. එහෙයින් මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීමේ හානිය ප්‍රබලව දැනෙනුයේ කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට පමණක් නොව තම පවුල් ජීවත්කරවීමට ඈත ගම්මානවලින් කොළඹට පැමිණ වැඩබිම්වල සේවය කරන අසරණ මිනිසුන්ට ද ඉදිකිරීමේ ක්‍ෂේත්‍රයේ කඩා වැටීම දැඩිව දැනෙන බව සැබෑය. ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පීන්, වැඩ පරීක්‍ෂකවරු, විවිධ කාර්මික නිලධාරීන්, අත්උදව්කරුවන් පමණක් නොව ඉදිකිරීම් කර්මාන්තයේ කඩා වැටීමත් සමඟ නැකත් හදන කෙනා දක්වා විශාල පිරිසකගේ ආදායම් මාර්ග අහිමි වී තිබේ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අමුද්‍රව්‍ය සැපයීම සඳහා රට පුරා ක්‍රියාත්මක වූ වෙළෙඳසැල් විශාල සංඛ්‍යාවක් මේ වනවිට වසා දමා තිබේ. 2019 වර්ෂය වන විට කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව සිටි ඉදිකිරීම්කරුවො 6000 ට වැඩි සංඛ්‍යාව මේ වෙනකොට 3000 ට වඩා අඩු වී තිබේ. පෞද්ගලික ඉදිකිරීම් ක්‍ෂේත්‍රය 75% න් පමණ අකර්මණ්‍ය වී තිබෙන බව ද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩැරින්ටන් පෝල් මහතා අප සමඟ පැවසුවේය. එමෙන්ම මෙරට ඉදිකිරිම් ක්‍ෂේත්‍රයට අත්ව ඇති ඉරණම ගැන හේ දුක හිතෙන කතාවක් කීවේය.

ඉදිකිරීමට හදි කරන පිල්ලියක්

“මේ රටේ සියලු පුරවැසියන් දුක්විඳින්නෙ පසුගිය කාලය පුරාවට පාලකයන් විසින් ගත්ත වැරැදි තීන්දු, තීරණ නිසා. යුද්ධයෙන් පසු මෙරට සිදු කළ ඇතැම් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රටට පලදායී ද යන්න අදටත් ගැටලුවක්. රටට නොගැළපෙන ව්‍යාපෘති සහ ඒ තුළ පැවැති දූෂණ වංචා උද්ගතව ඇති ආර්ථික අර්බුදයට ප්‍රබල හේතුවක් වෙලා තියෙනවා. මේ වෙනකොට ආර්ථික අර්බුදයෙන් මෙරට නිදහස් වෙමින් තිබෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒත් ඉදිකිරීම් කර්මාන්තයේ 80% ක කඩා වැටීම අදටත් ඒ තත්ත්වයේ ම පවතිනවා. ඉදිකිරීම් කර්මාන්තයේ කඩා වැටීමට ප්‍රධාන හේතුව අර්ථික අර්බුදයත් සමඟ මෙරට සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතරවීම. ඒ වගේම 2021, 2022 අවුරුදුවල කරපු ව්‍යාපෘතිවලට මුදල් ලැබෙන්න පටන්ගත්තේ 2023 අවුරුද්දෙ ජනවාරි, පෙබරවාරි මාසවල. මේ වෙනකොට හිඟ මුදල්වලින් 80% ක් විතර ගෙවලා ඉවර කරලා තියෙනවා. ඒත් මග නැගුම, විවිධ නිවාස ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්වලට තවම මුදල් ගෙවලා නෑ. ඒ වගේම බැංකුවලට ණය වෙලා කොන්ත්‍රාත් කරගෙන ගිය ඉදිකිරීම්කරුවන්ට ඒ ණයවලට අවුරුදු එකහමාරක්, දෙකක් අමතර පොලී මුදලක් ගෙවන්න වුණා. සමහර කොන්ත්‍රාත්කරුවො බැංකු ණය ගෙවන්න ඉඩම්, වෙනත් දේපළ විකුණන තත්ත්වයට පත් වුණා. ඒ අල්ලපනල්ලේ 2022 වර්ෂයේ 10 වැනි මාසෙ 01 වැනිදා ක්‍රියාත්මක කරපු සමාජ ආරක්‍ෂණ බද්ධ නිසා 2.5% ක අමතර බද්ධකුත් අපිට ගෙවන්න වුණා. ඔක්තෝබර් 01 වැනිදට පෙර ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ගිවිසුම්ගත ව්‍යාපෘතිවලටත් එම බද්ද ගෙවන්න වුණා. මේ වෙනකොට භාහණ්ඩයෙන් භෘහණ්ඩයට, සේවාවෙන් සේවාවට බදු ගෙවන්න සිද්ධ වෙලා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා. ඒ තුළ අපේ ඉදිකිරීම්කරුවො දැඩි මූල්‍ය අර්බුදයකට පත් වුණා. මේ වෙනකොට පහුගිය කාලේ කොන්ත්‍රාත්වල හිඟ මුදල් ලැබුණත් බැංකුවට ලැබුණු හැටියේ පරණ ණයවලට කපා ගන්නවා. කොන්ත්‍රාත්කරුවන්ගේ වියදමට රුපියලක්වත් ලැබෙන්නෙ නෑ…”

“ඒ වගේම අදටත් රට තුළ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘති 20% ක් නෑ. ඒ ව්‍යාපෘති බොහෝමයක් ක්‍රියාත්මක වෙන්නෙ විදේශීය ණය ආධාර යටතේ. 2024 අය වැයෙන් ප්‍රාග්ධන වියදම්වලට බිලියන 1200 ක් වෙන් කිරීමත්, දැනට නතර වී තිබෙන ව්‍යාපෘතිවලට බිලියන 55 ක් වෙන් කිරීම සමඟ යම් මට්ටමකින් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන තිබෙනවා. ඒ සමඟ ඇතැම් ඉදිකිරීම් සමාගම් ඇස්තමේන්තුගත මුදලටත් වඩා පහළ මිල ගණන් යටතේ කොන්ත්‍රාත් ඉල්ලුම් කරන්න පටන්ගෙන තියෙනවා. මම දකින විදිහට මේක වැරැදි පූර්වාදර්ශයක්. මූල්‍යමය අර්බුදයෙන් නිදහස්වීම සඳහා තිබෙන සුළු ව්‍යාපෘතිවලට කරන්න බැරි මිල ගණන් යටතේ ලංසු ඉදිරිපත් කිරීම තුළ ඉදිකිරීම් කර්මාන්තය නැවතත් අර්බුදයකට තල්ලු වෙනවා. ඒ වගේම අඩු මිල ගණන් යටතේ ව්‍යාපෘතියක් භාරගෙන පවතින ආර්ථික ක්‍රමය තුළ කරගෙන යන්න බෑ. ඒ තුළින් නැවතත් රටේ ජනතාවගේ මුදල් අවභාවිතා වීමක් සහ නාස්ති කිරීමක් වෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමට තිබෙන ව්‍යාපෘති කිහිපය ඉදිකිරීම් කර්මාන්තය තුළ සිටින කර්මාන්තරුවන් අතර බෙදී යන ක්‍රමයක් නිර්මාණය කිරීම සහ තාක්‍ෂණික ඇගැයීම් කමිටු හරහා නිවැරැදිව ලංසු තෝරාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම ගැන අවස්ථා කිහිපයකදී රජයත් සමඟ අපි සාකච්ඡා කළා. අපේ එම යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළ මේ කර්මාන්තයේ දැනට ඉතිරි වෙලා ඉන්න සමස්ත කොන්ත්‍රාත්කරුවන් ආරක්‍ෂා කරගන්න පුළුවන්…”

“ඒ වගේම ලාභයක් නැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. රජයට බදු වශයෙන් ගෙවන්නෙත් එම ලාභයෙන් කොටසක්. පෞද්ගලික ඉදිකිරීම් සමාගම් 30% ක්, තනි හෝ හවුල් ඉදිකිරීම් ව්‍යාපාර 36% ක් වශයෙන් රජයට බදු ගෙවනවා. අඩු ලංසුවට කොන්ත්‍රාත් අරගෙන පාඩු ලබනකොට රජයට එම බදු ආදායම ලැබෙන්නෙත් නෑ. මෙවර අයවැයෙන් සෘජු බදු විදිහට බිලියන 800 ක් බලාපොරොත්තු වෙලා තියෙනවා. එවැනි බදු මුදලක් ලබා ගන්න නම් රට තුළ ක්‍රියාත්මක සමස්ත ව්‍යාපාරවලට සාධාරණ ලාභාංශයක් තියෙන්න ඕනෑ. වෙනත් කර්මාන්ත වගේ නෙමෙයි, ඉදිකිරීම් කර්මාන්තයේ කොන්ත්‍රාත්කරුවන්ට තියෙන ලාභාංශය 10% යි. ඉදිකිරීම් සඳහා භාණ්ඩ සපයන ආයතනවලට 60% ක් යනවා. එම ව්‍යාපෘතිය තුළ සේවය සපයන ශ්‍රමිකයන් අතර 30% ක් බෙදී යනවා. කොන්ත්‍රාත්කරුට ලැබෙන 10% ක ලාභයෙන් රජයට බදුත් ගෙවන්න ඕනෑ. මේවා ගැන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අණපනත්වල පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එම අන පනත්වලට අනුකූලව තමයි දෙපාර්ශ්වයක් අතර කොන්ත්‍රාත්තුවක් ගිවිසුම්ගත වෙන්න ඕනෑ. රාජ්‍ය නිලධාරීන්ට ඕන විදිහට එම අණපනත් වෙනස් කරන්න බෑ. 2014 ඉදිකිරීම් පනතේ ඒ ගැන පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒත් මේ වෙනකොට සමහර රාජ්‍ය නිලධාරීන්ගෙන් එම වගකීම නිසියාකාරව ඉටු වෙන්නෙ නෑ. රාජ්‍ය ආයතනවල චක්‍රලේඛන ගහන සමහර නිලධාරීන්ට මේ ක්‍ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නෑ. වැරැදි පරිපාලන ක්‍රමය සහ දේශපාලන අතපෙවීම් නිසා ඉදිකිරීම්කරුවන් විශාල ලෙස ආතිතයට පත්ව සිටිනවා. මේ ක්‍ෂේත්‍රයට අලුතින් එකතු වන ව්‍යවසායකයන් අඩු වෙලා තියෙනවා. විවිධ අකටයුතුකම් නිසා විනාශ මුඛයට තල්ලු වෙන ඉදිකිරීම් ක්‍ෂේත්‍ර නඟාසිටුවීමට නම් ඉදිකිරීම් සංවර්ධන කර්මාන්ත අධිකාරියට වැඩි බලතල ලබාදෙන්න ඕනෑ. ඉදිකිරීම් කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න ඕනෑ. වැටුණු තැන ගැන හිතලා ඵලක් නෑ. රටක් විදිහට දැන් අපි නැඟිටින්න ඕන. මොන දේශපාලන පක්‍ෂය බලයට පත් වුණත් මේ රට ගොඩනැඟීමට අපේ උපරිම ශක්තිය ලබා දෙන්න ඕනෑ…” ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා ගැටලු එකිනෙක විග්‍රහ කළා පමණක් නොව විසඳුම් ද ලබා දුන්නේය.

මුළු ලෝකයම වෙළාගත් කොවිඩ් වසංගතයත් සමඟ බොහෝ රටවල් ආර්ථික අතින් කඩා වැටුණු බව සැබෑය. එහෙත් එම රටවල් මේ වනවිට එකී ආර්ථික අර්බුදයෙන් නිදහස් වී තිබෙන බව ද වාර්තා වේ. අසල්වැසි රටවල් වන ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය, මැලේසියාව සහ තායිලන්තය යන රටවල ඉදිකිරීම් කර්මාන්තයේ දැවැන්ත දියුණුවක් පෙන්නුම් කරති. රටක ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ යම් පිබිඳීමක් ඇති නම් එරට තුළ යටිතල පහසුකම් සංවර්ධනය වේ. දේශීය, විදේශීය ආයෝජකයන් විසින් එරට තුළ විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම එරට සංවර්ධනයේ පෙර ලකුණු පහළවීමකි. එහෙත් 2020 වර්ෂයේ සිට 2022 වර්ෂය වන විට 80% න් කඩා වැටුණු මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සංවර්ධනය තවමත් ඉබි ගමනේය. කඩා වැටුණු ඉදිකිරීම් ක්‍ෂේත්‍රය නැංවීමට දේශපාලන මැදිහත්වීම සහ අදාළ නිලධාරීන්ගේ මැදිහත්වීම පවතිනුයේ ද මන්දගාමී තත්ත්වයක ය.

එමෙන්ම මෙරට ඉදිකිරීම් කර්මාන්තය කොට උඩ තිබෙන පසුබිමක කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සුළු පරිමාණ ඉදිකිරීම්කරුවන් 3000 ට නොදී ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රජා පාදක සංවිධානවලට ලබාදීමට රජය කටයුතු කරගෙන යන බව වාර්තා වේ. එම කොන්ත්‍රාත් පැවරීම සිදු වෙන්නේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට වාසි වෙන ආකාරයට ඔවුන්ගේ කැමැත්ත මතය. වැඩි වාසි ලබාගැනීමට එම ගොඩනැඟිලි ප්‍රමිතිගතව අලුත්වැඩිය නොකර බව ද වාර්තා වේ. එමෙන්ම ප්‍රාදේශීය මට්ටමේ කොන්ත්‍රාත්කරුවන්ට තම වෘත්තියෙන් ඈත් වීමට සිදු වී තිබේ. තවමත් මෙරට දේශපාලන අතපෙවීම් නතර වී නැත. එවැනි පසුබිම ඉදිකිරීම් කර්මාන්තය පමණක් නොව මෙරට සමස්ත කර්මාන්ත සංවර්ධනය ගැන අපට ඇත්තේ ගැටලුවකි. සහ අපේ රට ගැන දුකකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment