ඉදිකිරීම්කරුවොත් හාන්සියි

171

● ගල්, වැලි, සිමෙන්ති සියල්ල දැරිය නොහැකි ලෙස මිල ඉහළ ගිහින්

● රජයේ සෘජු මැදිහත් වීමක් අවශ්‍යයි.

ඩොලරය පාකර හැරීම සමග සිරිලක ජනතාවගේ සිතුම් පැතුම් ක්‍රියාකාරකම් ද ඉහළ අහසටම පාවී ගියේය. සූප්පුවේ සිට ගිනි පෙට්ටිය මිනී පෙට්ටිය දක්වා වූ සබ්බ සකල පාරිභෝජන භාණ්ඩ මිල ද ඒ හා සමග ඉහළ කක්ෂ දක්වා ඉහළ ගියේය. ආර්ථික වශයෙන් පහත මටටමක පොළවේ රැඳී සිටින ජනතාවට ඉහළ ගිය භාණ්ඩ මිල අල්ලා ගැනීමට, නැතිනම් ඊට ඔරොත්තු දීමට නම් කිසිසේත් නොහැකිව තිබේ.දෛනික පාරිභෝජන ද්‍රව්‍ය වූ හාල්, සීනි, පිටි, පාන්, පරිප්පු ආදී ආහාර ද්‍රව්‍ය ද, ඉන්ධන, රෙදි පිළි ඇතුළු සමස්ත භාණ්ඩ, ද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා සෑම ස්ථරයකම පිරිස් දැඩි ලෙස පීඩාවට පෝඩාවට පත් වී සිටිති. ගොවි, ධීවර, කාර්මික හා දෛනික කුලී මත දිවි ගෙවන පිරිස් මින් වඩාත් සුවිශේෂී වෙති.ඉදිකිරීම් ක්ෂේත්‍රයට අනුබද්ධව දිවි ගෙවන පිරිස් මේ “ආර්ථික කුණාටුව” හමුවේ පීඩාවට පත් වී ඇත අයුරු ද මේ කුණාටුවම සිහිල් මන්දමාරුතය කට පෙරළාගෙන සුර – සැප විඳින සල්ලි පොදි ගසන “ආර්ථික ඝාතක” පිරිස් ගැන ද සොයා බැලීමට “ඉරිදා දිවයින” වැඩ බිමට ගියේය.රාජ්‍ය හෝ පෞද්ගලික වේවා මාර්ග, ගොඩනැඟිලි, වාරි හා තවත් ඉදිකිරීම්වලදී පෙරමුණ ගන්නේ පිළිගත් කොන්ත්‍රාත්කරුවෙකු, සමාගමක් හෝ එවන් ඉදිකිරීම් දැනුම් සම්භාරයක් සතු අයවලුන්ය. මේ සෑම දෙනාගේ සමස්ත අදහස වී ඇත්තේ මේ වකවානුවේදී ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙන් තාවකාලිකව හෝ සදාකාලිකවම සමුගත යුතු බවයි. ඔවුහු ඒ පිළිබඳව දැඩි සේ කලකිරී සිටිති.

කවම කවරදාවත් අපේ මේ කර්මාන්තයට මේ තරම් හෙනහුරා ලබලා නෑ. අපට මේ මිල ඉහළ යෑම් ඔරොත්තු දෙන්නේ නෑ. අපි දැන් බංකොලොත් වෙන්නයි යන්නේ. ඒ හින්දා ණය තුරුස්වලින් බේරිලා සැනසිල්ලේ මැරෙන්න ඕනි හින්දා අපි මේ කර්මාන්තයට ආයුබෝවන් කියන්නයි හදන්නේ.ඉදිකිරීම්කරුවන් බහුතරයකගේ අදහසයි ඒ.
ඉදිකිරීම්කරුවන් කොන්ත්‍රාත්කරුවන් කේන්තියෙන්ම පවසන්නේ රටේ මිල පාලනයකින් තොරව ඉදිකිරීම් ද්‍රව්‍ය වන, වැලි, ගල්, සිමෙන්ති, යකඩ, තීන්ත, දැව, වහල උළු, තහඩු, වයර්, විදුරු සියලු පිත්තල උපකරණ, සෞඛ්‍යාරක්‍ෂිත සනීපාරක්‍ෂක උපකරණ, ටයිල්ස්, ඇණයේ සිට සියලුම ගොඩනැඟිලි ද්‍රව්‍යද යාන්ත්‍රික උපකරණද සියයට පනහකින් (50%) හෝ ඇතැම් දෑ සියයට සියයකින් පමණ ද මිල ඉහළ ගොස් ඇති බවයි. එමතුදු නොව ඊයේ තිබූ මිල අද කීප ගුණයකින් වැඩිවී ඇති බවත් දිනෙන් දිනම උදේ මිල, දවල් වැඩිවී ඇති බවත්, දවල් මිල රාත්‍රියේදී යළි වැඩිවී ඇති බවත්, රාත්‍රියේ නිදා සිට අලුයම අවදි වූ විට තවත් අලුත් මිලක් ලෙස වැඩිවී ඇති බවත්ය. ඩොලරයට වඩා මීට වගකිවයුත්තේ භාණ්ඩ, ද්‍රව්‍ය සඟවමින්, ව්‍යාජ හිඟයක් මවා පාන මහා පරිමාණ ව්‍යාපාරිකයන් බව ඔවුහු පවසති. මේ ලැබුණු මහඟු ‘මරාගෙන කෑමේ’ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ඉහළ ව්‍යාපාරිකයන්ද ඔවුන් හා සබැඳුණු කූට දෙස්පාලුවන්ද කිව නොහැකි තරමේ අධික ලාභ ලබා මුදල් අට්ටි ගසන බව ඔවුහු පෙන්වා දෙති.වසර 50-60 ක් පමණ ඉහළ නොගිය තරමේ ‘මිල ඉහළ යාමක්’ පසුගිය සතිය දෙකේදී සිදුවූ බව පෙන්වා දෙන ඔවුහු එය හුදෙක් දේශපාලනමය යටි කූට්ටු ‘වෙළෙඳ කුමන්ත්‍රණයක්’ බව සඳහන් කරති. භාණ්ඩ හිඟයක්, ඩොලරය ආශ්‍රයෙන් මවා පාමින්, සඟවන ලද භාණ්ඩ තොග අධික මිලකට නිකුත්කොට අධික අසීමිත ලාභ ලැබීම මෙම කූට ජාවාරම්කරුවන් හා අත්වැල් බැඳගත් මගඩි දේශපාලුවන්ගේ අරමුණ හා ක්‍රියාව බැව් ඉදකිරීම්කරුවෝ පෙන්වා දෙති.

ව්‍යාජ සිමෙන්ති හිඟයක් මවා පා රු. 1050 ට තිබූ සිමෙන්ති කොට්ටයක් රු. 1350 ට දේශපාලකයෙකුට අයත් යයි පැවසෙන සිමෙන්ති සමාගකින් නිකුත්කිරීමට සැලසුම් සකස් කර එයම අද දවසේ රු. 1850 ට මිලකර ඇති බව ද පෙන්වා දෙන ඔවුන් එවන් අධික මිලකට සිමෙන්ති මිලදී ගෙන ඉදිකිරීම් කළ නොහැකි බව පවසති. මි.මී. 10 කම්බියක් ගිය සතියේදී රු. 850 යි. මේ සතියේදී ඒකම රු. 1450 යි. රු. 600 කින් පමණ ඉහළ ගිහින්. හෙට දවසේ… (නැහැ අද රෑ) ඒ කම්බියම කීයකින් වැඩි වෙයිද දන්නේ නෑ. අනික් කම්බි මිලත් ඊට හපන්. අනික… බඩු නැහැ… නැහැ… කියන්නේ හෙට දවසේ මිල වැඩි වනවා කියන එකයි. මිල අඩුවීමක් නම් වෙන්නේ නැහැ. වැඩිවීමක් මිසක. එක එක කඩවල එක එක මිල ගණන්…. බාල කම්බිත් වැඩි මිලට විකුණනවා. දැන් ණයටත් නැහැ. මනුස්සකම් දැන් නැතිවෙලා. මොකා මරලා හරි මෙවෙලේ මුදල් ගොඩ ගහන්නයි ඔවුන්ට ඕනෑ.
අලුත් වෙළෙඳ මගඩිය ගැන කලකිරුණු ඉදිකිරීම්කරුවෙක්. කෝපයෙන් යුතුවම කීය.

‘ඔන්න මනුස්සකම් නැතිවුණු හැටියක්’ ඔහු සිද්ධියක් පැවසීය.
‘ප්ලාස්ටික් වතුර බැරලයක් හාඩ්වෙයාර් එකකින් රු. 1800 ට මිලදී ගත්තා. එවෙලේ ගෙනයන්න බැරි නිසා පසුව ආවා. සුදු ඇඳගෙන උදේ හවා පන්සිල් රකින හාඩ්වෙයාර්කාරයා මාරුවෙලා එයාගේ බිරිඳ එව්වා. එයා කිව්වා ‘දැන් මිල වැඩියි. ඒක දැන් වැඩි මිලට විකිණුවා. මෙන්න සල්ලි 1800’ කියලා…. මුන්ගේ මනුස්සකම් බල්ලට ගිහින් මේ පෙරේත වෙළෙඳාම් නිසා ඔහු පැවසුවේ තිත්ත බැණුම් බනිමිනි.

අපි රජයේ පිළිගත් කොන්ත්‍රාත්කරුවෝ. වැට් බදු ඇතුළු වෙනත් මට්ටමේ බදු ගෙවමින් අපි දහසක් දුක් විඳිමින් බාධක මධ්‍යයේයි මේ කාර්යය ඉටුකරන්නේ. එක අතකට එය ලොකු වගකීමක්. අදාළ සැලසුම් හා පිරිවිතරයන් අනුව රාජ්‍ය ඉදිකිරීම් නිමකොට අප භාරදිය යුතුයි. මාස 3, 6 වගේ කෙටි කාලයකදී අප උපදෙස් පරිදි,මේසන්වරුන්, වඩුවන්, කම්කරුවන් හා තව පිරිස් යොදා ගල්, වැලි, සිමෙන්ති, යකඩ හා තවත් ද්‍රව්‍ය යොදා ඉදිකිරීම් කරනවා. අපට මේ සඳහා මුදල් ලැබෙන්නේත් ප්‍රමාදවෙලා. සමහර විට වසරක් හමාරක් ද පහුවෙලයි. අතේ තිබෙන මුදල් ද කනකර උගස් කර ඒ මුදල් ද ඒත් නොහැකිව බැංකුවලින් වැඩි පොලියට ණයට මුදල් රැගෙන මේ ඉදිකිරීම් කරන්නේ අප ගත් වගකීම හරිහැටි ඉටු කරන්නයි. මුදල් ආපසු නොලැබෙන විට බැංකු ණය, පොලී උකස් පොලී අපව ගිල ගන්නවා. බැංකුවලින් කරදර කරනවා. උගස්කරුවනට කනකර සින්න වෙනවා. දහසක් දුක් විඳගෙන මේ වගකීම ඉටුකරන්නේ අපට වෙන රස්සාවකුත් නැති නිසා. අපි වෙන ඒවා කරන්න දන්නෙත් නැහැ.
ඒ මදිවාට අපට දඩ ගහන අය වැඩියි. පින් පත්තර ද පන්සල්, පල්ලි ඉදිකිරීම් ද විවෘත කිරීම්ද හැමදාම ලැබෙනවා. හැමෝම හිතාන ඉන්නේ ලක්‍ෂ දහයක වැඩ කළොත් ලක්‍ෂ පහක්ම ලාභයි කියලා. සමහර විට ලාභය සොච්චමයි. බැංකු ණය පොලී ගියාම අපට ඉතිරිවෙන්නේ වේදනාව, දුක විතරමයි. සමහර විට අප ලෙඩත් වෙනවා. මානසික කායික පීඩාවන් සෑම විටම… මේක කරදර රස්සාවක් නේ. ඔක්කොටම වැඩිය හිරිහැරේ දේශපාලකයන්ගෙන් හා එයා වටේ ඉන්න පිරිසෙන් කොමිස් ඉල්ලනවා. කප්පම් ඉල්ලනවා. නැතිනම් වැලි, සිමෙන්ති, යකඩ, උළු ඉල්ලනවා. ඒවා දුන්නේ නැතිනම් තර්ජනය කරනවා. ‘උඹ ආයෙත් මෙහෙ බත් කාලා ඉවරයි කෙන්ත්‍රාත් කරලා ඉවරයි’ කියලා මැර තර්ජන දානවා. අපි අසරණයි එවෙලාවට.
‘ටෙන්ඩර් ඉදිරිපත් කරලා අඩු මිලට අරගෙන සමහර විට කරන්නේ. සමහර විට ඇස්තමේන්තු පරණයි. පරණ මිල ගණන් :ඍ්ඔෑී* තියෙන්නේ. අටසිය පනහට (850) සිමෙන්ති තිබෙන කාලේ ඇස්තමේන්තු කළ වැඩ සිමෙන්ති කොට්ටක් රුපියල් 1850/= – 2000/= ට ඉෂ්ඨ කරන්න පුළුවනිද?
මේ ඔවුන්ගේ තොර තෝංචියක් නැති දුක් ගැනවිලිය.

සැබැවින්ම ඔවුන් තම වෘත්තිය ගැන දැඩි කලකිරීමෙන් පසුවෙයි. එසේ තිබියදී දහසක් හිරිහැර, බාධක මැදින් අසීරුවෙන් ද, මානසික, කායික පීඩනයෙන්ද ඉදිකිරීම් කරගෙන යෑමේදී මෙම ද්‍රව්‍ය මිල ඉහළ යෑම් හරියට ‘ගහෙන් වැටුණ මිනිහාට ගොනාත් ඇණ, සර්පයෙකුත් දෂ්ට කිරීමක්’ වැනිය.අරුණ බිල්ඩර්ස් අයිතිකරු අරුණ චමින්ද පවසන්නේ දැන් නම් කොන්ත්‍රාත්වලට සමුදීමේ කාලය එළැඹී ඇති බවයි.මම වසර තිහක් පමණ මේ සේවයේ යෙදී සිටිනවා. අපි මහන්සි වෙලා හම්බ කළ දේවල් දැන් කොන්ත්‍රාත් කිරීමට ගොස් නැති වෙන්නයි හදන්නේ. අපි මේකෙන් අධික මානසික කායික පීඩාවන් ලබනවා. අසනීප වනවා. හිටිහැටියේ ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල ඉහළ යනවා. ඉන්ධන මිලත් ඒ වගේ. දවස් 3-4 ලොරි පෝලිමේ තියාගෙන රියැදුරනට උදේ, දවල්, රාත්‍රි කන්න දීලා රස්තියාදු වෙනවා. මේක මහ වධයක්. හිරිහැරයක්. භාරගත්තු වැඩ ඉවරවෙලා ආයේ ගන්නේ නැහැ. සමුදෙන්න හිතා ඉන්නවා.තරිඳු කන්ස්ට්‍රක්ෂන් අයිතිකරු සුනිල් විජේසුන්දර ද පවසන්නේ එවැනිම වූ කතාවකි.අපට දැන් මේ ව්‍යාපාරයෙන් ඉවත්වෙන්න කියා බල කෙරෙනවා. අධික ද්‍රව්‍ය මිල සමග ලාභ තියා වියදම් කළ මුදල්වත් බේරගන්නේ කොහොමද කියා අපි බලනවා. කලට වෙලාවට ඉදිනොකළොත් දඩ මුදල් ද අය කරනවා. අපි කොන්ත්‍රාත් සංගමය තීරණය කර තිබෙනවා ඉදිරියේදී රජය සහන හෝ නොදුන්නොත් මේ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්නට. දැනටත් මේ ව්‍යාපාරයේ යෙදුණු අය බොහොමයක් ඉවත්වෙලා වෙන වෙන ව්‍යාපාර කරනවා. එසේ නැතිනම් නිහඬව ඉන්නවා. රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි. නැතිනම් මේ වෙළෙඳ මාෆියාවට අපවත් ගොදුරු වේවි. ඒකේ පාඩුව රටටයි ජනතාවටයි. ඔහු වේදනාවෙන්ම පැවසීය.ඔහු පවසන කරුණ සැබවි. ඉංජිනේරුමය ක්‍ෂේත්‍ර ක්‍රියාකාරකම්වලදී සාමාන්‍යයෙන් සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවකු යටතේ යැපෙන පිරිස සෘජුව හා වක්‍ර ලෙසින් (500) පන්සීයක් පමණ වෙතැයිද මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවෙකු යටතේ සෘජු හා වක්‍රව යැපෙන පිරිස් 1500-3000 අතර වෙතැයි ගණන් බලා තිබේ. මේසන්, වඩු බාස්වරුන්, කොන්ක්‍රිට් අනන කම්කරුවන්ගේ පටන් සියලු කටයුතුවලට සහාය කර ගන්නා කම්කරුවන් යන්ත්‍රකරුවන්, රියැදුරන්, ගල්, වැලි, බොරළු, යකඩ, දැව සපයන්නන්, භාණ්ඩ විකුණන්නන්, විදුලි තතැදුම්කරුවන්, වෑද්දුම් ශිල්පීන්, පිංතාරුකරුවන් හා තවත් බොහෝ පිරිසක් සෘජුවම ඉදිකිරීම්වලට දායක වන අතර ගඩොල් පෝරණුකරුවන්, දර කපන්නන්, වැලි පටවන්නන්, පලංචි බඳින්නන්, වැනි පිරිස් අනියම්ව දායකත්වය දරති. අඹු දරුවන්ද විශාල පිරිසකි.මහ නුගයක් කඩා වැටෙත්දී ඒ යට සෙවණ, සරණ, පෝෂණය, ලැබූ දහස් සංඛ්‍යාත පැළෑටි විනාශ වන බව මියයන බව නම් කවර කතාද?
ඉදිකිරීම්කරුවන් යටතේ සේවය කළ වැටුප් ලැබූ අයට ඔවුන්ගේ පවුලේ අඹු දරුවන් කෑම බීම, දරුවන්ගේ අධ්‍යාපනය, ණය තුරුස් ආදී දහසක් අභියෝගයන් දිනීමට හැකිවේද?
හාඩ්වෙයාර්කරුවන්, කලදුටු කල වළ ඉස ගැනීමේ අවස්ථාවාදීව හා කූට, කෲර ලෙස ‘මනුස්සකම්’ ඉවතලා (MONEY COME) මුදල් ළඟා කර ගැනීමේ අමානුෂික ක්‍රියා මාර්ගවලට එළැඹී ඇත්තේය. භාණ්ඩ සඟවා ගෙන තිබූ මිල මෙන් දෙතුන් ගුණයකින් මිල ඉහළ නංවමින් ඔවුන් මේ යන ගමන අපායෙන් (අවීචි මහා නරකයෙන්) නොනැවතී සිව්මහ අපාය කරා ද ගමන් කරනු ඇති බව පීඩාවට පත් පාරිභෝගිකයනගේ අදහසයි.මම සල්ලි අමාරුවෙන් එකතු කරලා ගේ හදන්න පටන්ගත්තා විතරයි. ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල දවසින් දවස අහසේ ඉහළටම නගිනවා. වෙනදා වැය කළ මුදලට වඩා දෙතුන් ගුණයක් මුදල් වැය වෙනවා. මම ගෙයි වැඩ නතර කළා. කුණාටු සුළං හමද්දී ඒකට මූණ නොදී පැත්තකට වෙන්න ඕනි. හැබැයි මගේ විවාහයට තව වසරක් කල්ගත වෙනවා.. මේ වැඩෙන්.සහසක් අපේක්‍ෂා පෙරදැරිව නිවසක් තැනීමට සූදානම් වූ යෞවනයෙක් මා සමග එසේ කීය. ඉදිකිරීම්කරුවන් පවසන්නේ එකම එක දෙයකි.

‘මේ මොහොතේදී වෙළෙඳුන්ගේ හිතු මනාපෙට භාණ්ඩ මිල ඉහළ නැංවීම මැඩ පැවැත්වීමට රජය මැදිහත් විය යුතුයි. භාණ්ඩ සැඟවීම, සඟවා වැඩි මිලට විකිණීම වැනි ක්‍රියා වැළැක්වීමට මිල නියාමනය, කඩා පැනීම්, අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ආදී දැල් එළා එමඟින් වෙළෙඳුන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් පාලනය කළ යුතුයි. තමනට අතින් පාඩු විඳගෙන තවදුරටත් ඉදිකිරීම් කළ නොහැකි බවත් ඊට වැඩපළවල් වසා දැමීම සුදුසු බවත් නුවනට හුරු බවක් ඔවුන් පවසන්නේ අගාධයට වැටීමට පෙර සිටය.අසල හාඩ්වෙයාර් කීපයකට ගියේ ඔවුනට ද යමක් පැවසීමට ඇති බව සිතාය. කීපයක් වසා තිබුණි. කාන්තා හාඩ්වෙයාර්කාරියක් හදිසියේම දරුවන් සමග කතරගම බලා ගොස් තිබුණි. දින දෙකකට පසු ඇය පැමිණ හාඩ්වෙයාර් සල විවෘතකර තිබුණි. යෑමට පෙර මි.මී. 10 කම්බියක් විකුණූ මිලට වඩා පැමිණි පසු (කතරගම දෙවි හමුවීමෙන් පසු) එම කම්බියම ඇය රු. 580/= ට මිල කොට තිබුණි. දෙවියන් ඇයට හමුවීදැයි නොදනිමි. එසේ වුවද ‘දෙවියන්ගේ මල්ලී’ නම් හමුවී තිබේ. ‘උන්නත් දාහයි මළත් දාහයි’ යනුවෙන් දළ ඇතුන් මවා පැරණි කල යෙදී තිබූ උපමාව හාඩ්වෙයාර් සම්බන්ධයෙන් වර්තමානයේදී අලුතින් පැවසිය හැක්කේ ‘ඇරියොත් දාහයි වැසුවොත් දසදහසයි’ යනුවෙනි.

ඉදිකිරීම්කරුවන් බිමටම සමතලා වුවහොත් එය රජයට ද රටට ද මහත් විපත්තියකි. ඔවුන් සංවර්ධනයේ පමණක් නොව නිෂ්පාදනයේ ද පවුල් රැසක් ජීවත්කරවීමේද පුරෝගාමීන්ය. ඔවුන් ව්‍යාපාර අත්හැර දැමූ පසු ඔවුන් යටතේ සේවය කළ යැපෙන පවුල් දහස් සංඛ්‍යාවකට කන්නට අඳින්නට දෙන්නේ රජයෙන් ද, දරුවන් පෝෂණය කරන්නේ රජයෙන්ද? රජය ඉදිරියේදී ඔවුනට පණවන වැට් බදු ගෙවීම් සමග ඉදිකිරීම්කරුවන් දණින් මුණින් වැටෙනු ඇත. මකරුන්, රාක්‍ෂයන් ඔවුන් මරා කන්නට සූදානම් මොහොතක රජය ද ඔවුන්ගේ රුධිරය උරාබීමට සූදානම් වන්නේද?

ටෙරන්ස් වනිගසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment